Main Logo

Friday 24 February 2017

පාර්ලිමේන්තුවේ ස්වාධීන වීම


පාර්ලිමේන්තුවේ ස්වාධීන වීම



දැන් තවත් සංකල්පයක් පාර්ලිමේන්තුවට, පක්‍ෂවලට හා මන්ත්‍රීවරුන්ට තියෙනවා. ඒ පාර්ලිමේන්තුවේ ස්වාධීන වීම. මේ ස්වාධීන වීම මේ රටේ බොහෝ සංකල්ප වගේ ම පැහැදිලි නැහැ. අප පැහැදිලි සංකල්ප ඇතිව කටයුතු කරන ජාතියක් නො වෙයි. සයිටම් ගැන කල්පනා කරල බලන්න. මේ රටේ උගත් ම කියන අය එක එක මත ප්‍රකාශ කරනවා. දේශපාලනඥයනුත් එසේ ම අදහස් ප්‍රකාශ කරනවා. ඒත් වෛද්‍ය සභාවෙ, සෞඛ්‍ය ඇමතිගෙ, උසස් අධ්‍යාපන ඇමතිගෙ, උසස් අධ්‍යාපන අමාත්‍යංශෙ බලතල ගැන ඇත්තේ මේ උගතුන්ට ඇත්තේ අවුලක්. ස්වාධීන වීමත් තවත් අවුලක්. ලක්‍ෂමන් කිරිඇල්ල සරල වීම නිසා ම ඔහුගේ අවුලත් සරලයි.




පළමුවෙන් ම ස්වාධීන වුණෙ රතන මන්ත්‍රී හාමුදුරුවන්. අඩුතරමෙන් ස්වාධීන වන බව ප්‍රකාශ කෙළෙ උන්වහන්සෙ. ප්‍රකාශ කළ පමණින් ම ස්වාධීන වෙන්න පුළුවන් ද? අප යම් තනතුරකින් ඉල්ලා අස්වන බව කී පමණින් ම ඉල්ලා අස්වීම වලංගු ද? රතන මන්ත්‍රී හාමුදුරුවන් ස්වාධීන වුණේ කාගෙන් ද? පක්‍ෂයකින් ද? පක්‍ෂයකින් නම් මොන පක්‍ෂයෙන් ද? උන්වහන්සේගේ පක්‍ෂය කුමක් ද? හාමුදුරුවරුන්ට මන්ත්‍රී හිමිවරුන් වෙන්න පුළුවන් ද? භික්‍ෂු දේශපාලනය ගැන විද්‍යාලංකාර ප්‍රකාශයෙ තියෙන්න මොනව ද? අප ඒ දිනවල ම ඒවා ගැන කතා කළා. එක්තරා පිරිසක් එහි දී මට භික්‍ෂු අභ්‍යාස මධ්‍යස්ථානයේ දි ගහන්නත් ආවා. 



අප දැනගෙන හිටියෙ රතන හාමුදුරුවො ජාතික හෙළ උරුමයෙ සාමාජික නමක් කියලා. ඒත් උන්වහන්සෙ පාර්ලිමේන්තුවෙ නියෝජනය වන්නෙ ජාතික ලැයිස්තුව එක්සත් ජාතික පෙරමුණේ. දැන් ස්වාධීන වුණෙ මොකෙන් ද? උන්වහන්සේ ජාතික හෙළ උරුමයෙන් ඉවතට වැඩම කළ බවක් ප්‍රකාශ කර නැහැ. උන්වහන්සේ අද වන තුරුත් ජාතික හෙළ උරුමයෙන් ඉවතට වැඩම කරවලත් නැහැ. පහුගිය දවස්වල උන්වහන්සේ ගොයම් කපන්න ගිය බවක් සඳහන් වුනා. හාමුදුරුවරු වළඳනවා, සැතපෙනවා, වඩිනවා වගේ ගොයම් කපනවට මොකක් ද කියන්නෙ. ජාතික හෙළ උරුමයෙ සම සභාපති හැඩිගල්ලෙ හාමුදුරුවො දන්නව ඇති. ඒ හාමුදුරුවො නම් ඉස්සර නිතර බස් එකෙන් නුවර ඉඳන් කොළඹ වැඩියා.



මේ ස්වාධීන වීම පිළිබඳ තොරතුරු අනෙක් සම සභාපති කරුණාරත්න පරණවිතානට තොරතුරු දැනගැනීමේ පනත යටතේ සපයන්න පුළුවන් ද? ස්වාධීන වෙනවා කියන්නෙ පක්‍ෂයකින් අස්වෙනවට නොවෙයි. රතන හාමුදුරුවන් පක්‍ෂ විනය කඩල ද? ඒ ගැන විනය පිටකයෙ සඳහනක් නැද්ද?  කොහොමටත් උන්වහන්සෙ පක්‍ෂයෙන් ඉවතට වැඩම කෙරෙව්වත් උන්වහන්සේට මොකුත් වෙන එකක් නැහැ. ජාතික හෙළ උරුමය හා එක්සත් ජාතික පෙරමුණ අතර මොන ගිවිසුමක් තිබුණත් උන්වහන්සෙ එක්සත් ජාතික පෙරමුණෙ ජාතික ලැයිස්තු මන්ත්‍රී හාමුදුරු නමක්. උන්වහන්සෙගෙ මන්ත්‍රී ධුරය මැතිවරණ කොමසාරිස්, කතානායක හා එක්සත් ජාතික පෙරමුණ විසින් තීරණය කෙරෙනු ඇති. අර ගිවිසුම කැඩුවේය කියා චම්පකට අධිකරණයට යන්න පුළුවන්. ඒත් අධිකරණය මොන වගේ තීන්දුවක් දේවි ද?



ඒ ගමන විමල් වීරවංශත් පාර්ලිමේන්තුවෙ ස්වාධීන වෙලා. වාසුත් ස්වාධීන වීමක් ගැන කිවුවා. ඒකාබද්ධ විපක්‍ෂෙ අනෙක් අයත් ස්වාධීන වෙයි ද? නැවතත් අහන්න වෙන්නෙ ස්වාධීන වෙනවා කියන්නෙ මොකක් ද කියන එක. විමල් ස්වාධීන වෙන්නෙ ජාතික නිදහස් පෙරමුණෙන් ද? නැත්නම් එක්සත් ජනතා නිදහස් සංධානයෙන් ද? එහෙමත් නැත්නම් ඒකාබද්ධ විපක්‍ෂෙන් ද? ජාතික නිදහස් පෙරමුණ කොහොමත් එක්සත් ජනතා නිදහස් සංධානයේ නැහැ. ඒ නිසා විමල්ට එක්සත් ජනතා නිදහස් සංධානයෙන් පාර්ලිමේන්තුවෙ තියා කොහේවත් ස්වාධීන වෙන්න බැහැ. එම පක්‍ෂය නැති සංධානයකින් ස්වාධීන වෙන්නෙ කොහොම ද?  ඌව පළාත් සභා මැතිවරණයේ දී ජාතික නිදහස් පෙරමුණ බදුල්ල දිස්ත්‍රික්කයේ වෙන ම තරග කළා. ඒ ජාතික නිදහස් පෙරමුණ  එක්සත් ජනතා නිදහස් සංධානයේ නැති නිසා. විමල් චම්පකටත් කලින් මාදුළුවාවෙ සෝභිත හාමුදුරුවන් බැහැ දකින්නත් ගියේත් ජාතික නිදහස් පෙරමුණ සංධානයේ නැති නිසා වෙන්න ඕන.



ඒත් ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට පත් වෙලා තියෙන්නෙ එක්සත් ජනතා නිදහස් සංධානයෙන්. විමල්ට එක්සත් ජනතා නිදහස් සංධානයෙන් ස්වාධීන වෙන්න බැරි වුනාට මන්ත්‍රී ලෙස සංධානයෙන් පත්වීමෙන් නම් ස්වාධීන වෙන්න පුළුවන්. ඒත් එවිට මහින්ද අමරවීර සංධානයේ ලේකම් හැටියට මොනවා කරාවි ද දන්නේ නැහැ. රතන හාමුදුරුවන් ස්වාධීන වුනාට එක්සත් ජාතික පෙරමුණ කිසිවක් නොකළත් විමල් ස්වාධීන වීම එක්සත් ජනතා නිදහස් සංධානය මොන විධියට අර්ථ විවරණය කරාවි ද දන්නේ නැහැ.   



පාර්ලිමේන්තුවෙ ස්වාධීන වෙනවා යන්නට පිළිගත් අර්ථදැක්වීමක් නැතිව ස්වාධීන වීමට යෑම සුදුසු නැහැ. විමල් එක්සත් ජනතා නිදහස් සංධානයෙන් ස්වාධීන වීමට අමරවීරට ලිපියක් යැවූ විට අමරවීර දක්වන ප්‍රතිචාරය කුමක් වේවි ද? ජාතික නිදහස් පෙරමුණ එක්සත් ජනතා නිදහස් සංධානයේ සාමාජිකයකු නොවන නිසා අමරවීර එය මන්ත්‍රීකමෙන් ස්වාධීන වීමක් ලෙස සලකාවි ද? එහෙම වුනොත් විමල්ට අධිකරණයට යෑමට සිදු වේවි ද? රතන හාමුදුරුවන්ට නම් ඒ ප්‍රශ්නය මතුවන එකක් නැහැ.



ජේ ආර්ගේ මැතිවරණ ක්‍රමය යටතේ රටත් පාර්ලිමේන්තුවත් අවුලෙන් අවුලට යනවා. සමානුපාතික ඡන්ද ක්‍රමය ඉක්මණින් ම වෙනස් කළ යුතුයි. ඡන්දදායකයන්ට ඒ ඒ මැතිවරණ කොට්ඨාසවලට මන්ත්‍රීවරුන් නැතිවා පමණක් නොවෙයි, පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ස්වාධීන වෙනවා කියන්නේ මොකක් ද කියාවත් දන්නේ නැහැ. ජේ ආර් දැනගෙන හිටිය නම් රනිල්ට කියලා දෙන්න ඇති.  






මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.



https://www1.kalaya.org

                         

නලින් ද සිල්වා



2017 පෙබරවාරි 24