Main Logo

Monday 20 February 2017

මහින්ද නම් ප්‍රශ්නය  


මහින්ද නම් ප්‍රශ්නය



සයිටම් ගැන තවත් ලියන්න ඕන වුනත් ආණ්ඩුවේ, වෛද්‍ය සභාවේ, වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ, අන්තරයේ  විවිධ රංගන, ජනමාධ්‍ය පඬියන්ගේ සත්ව (රෝගී) කරුණාව ආදිය හේතුකොටගෙන ඉන් ඵලක් වේ ය කියා හිතන්න බැහැ. එහෙත් සමාජවාදීන්ගෙන්, ප්‍රගතිශීලින්ගෙන්, තරාදියට දමා මතවල බර කිරන්නන්ගෙන් සහ වෙනත් එවැන්නන්ගෙන් ඇසිය යුතු ප්‍රශ්නයක් තිබෙනවා. අපේ සමහර විශ්වවිද්‍යාලවල වෛද්‍ය උපාධියේ ප්‍රමිතිය එතරම් සතුටුදායක නැහැ. අප අදාළ වෛද්‍ය පීඨ අහෝසි කරනවා ද? නැත්නම් ජනසතු කරනවා ද? කවුරුන් හරි කියා දෙනවා ද? දැන් අහන්න පුළුවන් ඒ විශ්වවිද්‍යාල පීඨවල ප්‍රමිතිය සතුටුදායක නැති බව මා දන්නේ කොහොමද කියලා. වෛද්‍යවරයකුවත්, විද්‍යාඥයකුවත්, පෙරටුගාමියකුවත් නොවන මා ඒ බව දන්නේ කෙසේ ද?  ශ්‍රී ලංකා වෛද්‍ය සභාව එසේ කියා නැහැ. වෛද්‍ය සභාවට අනුව පිටරට විශ්වවිද්‍යාල සිය ගණනක වෛද්‍ය උපාධිවල ප්‍රමිතිය සතුටුදායකයි. ඒ බව වෛද්‍ය සභාව විතරක් නොවෙයි  එකී විශ්වවිද්‍යාලවලට සිසුන් යවන මෙරට ඒජන්තයනුත් දන්නවා!  ඔවුන්ගේ මුදල් ලබන කවුරු කවුරුත් දන්නවා.




සයිටම් දැනට පැත්තකට දාමු. අද වෙනත් ඔත්තු සේවාවන්ට වඩා ඉන්දීය රෝ ඔත්තු සේවය මෙරට ක්‍රියාත්මක වෙනවා. මෙරට ඉන්දිය මහා කොමසාරිස් නම් ඒ බව පිළිගන්නා එකක් නැහැ. බටහිර නියෝජිතයන්ට වඩා ඉන්දීය නියෝජිතයන් මෙරටට යනවා එනවා. වැඩි කලක් යෑමට පෙර ට්‍රම්ප් මෝදි හමුවේවි. අප එයට පළමු ට්‍රම්ප් හමුවිය යුතුයි. ඒ ට්‍රම්ප්ට අපේ ප්‍රශ්නවලින් ඈත් ව ඉන්න කියන්න. ඒත් සී අයි ඒ හා රෝ සංවිධානය අතර වෙනත් සම්බන්ධකම් තිබෙනවා. අප ඒ කිසිවක් අමතක කළ යුතු නැහැ.



මේ සියල්ලන්ට අවශ්‍ය වූ කාරණය මහින්ද රාජපක්‍ෂ පැරදවීම. රනිල්ට උගන්වා තිබූ වචනවලින් කිවහොත් රාජපක්‍ෂ රෙජිමය ගෙදර යැවීම. ඔවුන් සියලු දෙනා හා සංවිධාන, ඔත්තු සේවා එකතු වී මහින්ද පරාජය කළා. එහෙත් ඔවුන් කිසිවකු බලාපොරොත්තු නොවූ දෙයක් සිදුවුනා. මහින්ද ඡන්දයෙන් පරාජය වුනාට සිංහල ජනතාව අතර පරාජය වුනේ නැහැ. ඔහු තවමත් බොහෝ දෙනකුට ජනාධිපති. ඒ ජේ ආර් ගේ බටහිර අර්ථයකින් නො වෙයි. ජේ ආර්ට අනුව වරක් ජනාධිපති හැමදාමත් ජනාධිපති. ඔබාමාට අදත් ආමන්ත්‍රණය කළ යුත්තේ ජනාධිපති කියායි. මහින්ද ජනාධිපති වන්නේ මිනිසුන්ගේ හදවතේ.



මහින්දට ඇති මේ ජනබලය දැන් මේ සියල්ලන්ට ප්‍රශ්නයක් වෙලා. ඔවුන්ගේ ප්‍රධාන කාරණයට, නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට, මහින්ද බාධාවක් කියා ඔවුන් හිතනවා. ඔවුන්ට අවශ්‍ය වෙලා තියෙනවා මහින්ද සමස්ත දේශපාලනයෙන් ම ඉවත් කිරීමට. පසුගිය දා ජී එල් පීරිස් ඉන්දියාවට ගිය අවස්ථාවක ඔහුට යම් පිරිසක් කියා තිබෙනවා මහින්දගේ ජනප්‍රියතාව අඩුවෙමින් පවතින බවත් එබැවින් ඔහු දේශපාලනයෙන් ඉවත් විය යුතු බවත්. ජී එල් ඒ බව මෙරට මාධ්‍යට කියා තිබුණා. ඔහු එසේ කෙළේ ඇයි දැයි පැහැදිලි නැහැ. මහින්දගේ ජනප්‍රියතාව එන්න එන්න වැඩිවෙන බව ජී එල් ද දන්නවා.



චන්ද්‍රිකා නම් කියන්නේ මහින්දට සහාය දෙන්නන් ශ්‍රී ල නි පක්‍ෂයෙන් එළවා දැමිය යුතු බවයි. ඇයට හා තවත් අයට අනුව ලංකාවේ තුන්වැනි පක්‍ෂයකට ඉඩ නැහැ. ඒ සම්බන්ධයෙන් ඇය, විජය කුමාරතුංග, ගාමිණී දිසානායක, ලලිත් ඇතුළත්මුදලි ආදීන් සිහි කරනවා. එහෙත් ඇය හා අනෙක් අය තේරුම් නොගන්නා දෙයක් තිබෙනවා. ඒ අද ශ්‍රී ල නි ප නමින් නාම පුවරුවක් මිස පක්‍ෂයක් නොමැති බව. අද ඇත්තේ එ ජා ප හා මහින්දගේ නායකත්වයෙන් ඇති පක්‍ෂයක් පමණයි. එහි නම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ද වෙනත් එකක් ද කියන එක යථාකාලයේ දී දැන ගැනීමට හැකි වනු ඇති. චන්ද්‍රිකා කියන එකේ ඇත්තක් තියෙනවා. ලංකාවේ පක්‍ෂ තුනකට ඉඩක් නැහැ. මෛත්‍රිපාල රෝ ඔත්තු සේවයේ ද චන්ද්‍රිකා වැනි අයගේ ද අනුමැතිය පරිදි ශ්‍රී ල නි ප මරා දැම්මා. එයට ජ වි පෙ මෙන් ම ජාතික හෙළ උරුමය ද සම්මාදන් වුනා. එදා විජයට මෙන් ම අද චන්ද්‍රිකාටත් තැනක් නැහැ. 



ඉන්දියාවේ විදේශ ලේකම් සුබ්‍රමානියම් ජයශංකර් දැන් ලංකාවට ඇවිත්. මේ පසුගිය එකොළොස් මසක කාලයෙහි ඔහුගේ තුන්වැනි පැමිණීම කියා කියනවා. ඔහු අද ජනාධිපති අගමැති ආදීන් හමුවීමට නියමිතයි. ඔවුන් කතාකරන සෑම දෙයක් ම අපට කියන්නේ නැහැ. ඔවුන් මහින්ද ගැනත් කතා කරාවි ද? ඔවුන්ට අවශ්‍ය මහින්ද සමස්ත දේශපාලනයෙන් ම ඉවත් කරන්නයි. එක්තරා ඇමතිවරයකුගේ පුවත්පතින් මහින්දගේ ප්‍රජා අයිතිවාසිකම් නැති කිරීමක් ගැන කියනවා. අපේ රටේ විදේශ ලේකම් ඉන්දියාවට ගොස් මෝදි ආදීන් නිතර හමු වීමේ සිරිතක් තිබෙනවා ද?  අපේ දීනකමට සීමාවක් නැද්ද?



ඉන්දියාවට අප යටත් කර ගැනීමට මහින්ද බාධාවක්. එට්කා මේ යටත් කර ගැනීමේ එක් පියවරක් පමණයි. නව ව්‍යවස්ථාව මගින් සහසන්ධීය රාජ්‍යයක් ඇති කර උතුරු හා නැගෙනහිර පළාත් එක් කිරීම එහි ප්‍රධාන පියවර. මහින්දට ප්‍රජා අයිතිවාසිකම් තිබෙනතාක්, මහින්ද ක්‍රියාකාරී දේශපාලනයේ ඉන්නතාක්, ඉන්දියාවට හා රෝ සංවිධානයට තම අරමුණු ඉටු කර ගැනීම ප්‍රශ්නයක්. සිංහල බෞද්ධ විරෝධී සියල්ලන්ට මහින්ද ප්‍රශ්නයක්.





මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.



https://www1.kalaya.org



නලින් ද සිල්වා



2017 පෙබරවාරි 20