Main Logo

Wednesday 19 February 2020

නව සංධානය ජාතිකත්ව සංධානයක් කරමු

   සිංහල ලිත් ඉලක්කම්


නව සංධානය ජාතිකත්ව සංධානයක් කරමු



සිරිජාතිකවාදියා ලෙස හංවඩු ගසා ලාදුරු රෝගියකු මෙන් බොහෝ ජාතිකවාදීන් විසින් කොන් කරනු ලැබ සිටි මට ඊයේ පෙරේදා සතුටුදායක ආරංචි දෙකක් ලැබුණා. එකක් ජෙනීවාහි 30/1 යෝජනාවට දැක් වූ අනුග්‍රහකත්වයෙන් ඉවත්වීමට ආණ්ඩුව තීරණය කිරීම. ඒ ගැන මා ඊයේ ලියා ඇති. අද (19) අරුණ පත්‍රයේත් ඒ ලිපිය පළවෙනවා.  


අනෙක සංධානය පිළිබඳ ප්‍රවෘත්තිය. පොදුජන පෙරමුණ ශ්‍රී ල නි පක්‍ෂය හා තවත් පක්‍ෂ එකතු වී ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ අනුග්‍රහකත්වයෙන් බිහි කෙරුණු ශ්‍රී ලංකා නිදහස් පොදුජන සංධානය ලියා පදිංචි කිරීමට අවසර ඉල්ලා තිබෙනවා. එහි ලකුණ පොහාට්ටුව. නායකයා මහින්ද රාජපක්‍ෂ, සභාපති මෛත්‍රිපාල සිිරිසේන, ලේකම් බැසිල් රාජපක්‍ෂ, උප සභාපති දිනේෂ් ගුණවර්ධන, ජාතික සංවිධායක දයාසිරි ජයසේකර හා විමල් වීරවංශ. ඒ එකක් ගැනවත් මගේ විරුද්ධතාවක් නැහැ.  මා එසේ කියන්නේ මගේ කැමැත්ත අකැමැත්ත වැඩක් ඇති නිසා නොවෙයි. මේ ලිපි කියවන අයට මගේ මතය දැන්වීම සඳහා පමණයි.

මා කටයුතු කරන්නේ මගේ කැමැත්තට අනුව. මට අවශ්‍ය  බටහිර දැනුම් ආධිපත්‍යයෙන් මිදී මෙරට සිංහල බෞද්ධ රාජ්‍යය යළි ගොඩ නැගීමට. මට ඊනියා සම්භාව්‍ය රාජ්‍යය වැනි බටහිරයන්ගේ ව්‍යාජ සංකල්ප අවශ්‍ය නැහැ. ඒ සංකල්පය චීන ජාතික රාජ්‍යය පිළිගැනීමට අකමැති බටහිරයන් නිර්මාණය කළ ව්‍යාජ සංකල්පයක් බව මා පුන පුනා කියා ඇති. 

ඊයේ පැවති රැස්වීමක දී එක්තරා පඬියකු ජාතික මතවාදයක් නැහැ කියා මොහොතක් නොරැඳී සිට යන්න කියා. ඔහු සම්භාව්‍ය රාජ්‍යය අනුමත කරනවා දැයි මා දන්නේ නැහැ. එහෙත් ජාතික මතවාදය ගැන ඔහු ළඟින් ඇසුරු කරන ගුණදාස අමරසේකරගෙන් දැන ගන්න පුළුවන්.  මා දන්නා සිංහල බෞද්ධ රාජ්‍යයේ ඕනෑම අයකුට නිදහසේ ඉන්න පුළුවන්. 

මේ වකවානුවේ ජාතික කඳවුර ශක්තිමත් කිරීම අපේ වෑයම විය යුතු ය කියා මා හිතනවා. ඒ සඳහා සංධානයේ අවශ්‍යතාව ගැන මා දිගින් දිගට ම ලියා ඇති. එහෙත් ශ්‍රී ල නි පක්‍ෂය සංධානයේ සාමාජිකයකු විය යුතු යැයි කී ගමන් උරණ වූ පුද්ගලයන් සිටියා.  ඔවුන් සිරිසේනට හා දයාසිරිට නොකී නමක් නැහැ. එසේ කීමට විරුද්ධ වුණු විට ඔවුන් මගේ අභයගිරි ප්‍රේමයක් ගැනත් කියමින් මට පහර දෙන්න පටන් ගත්තා. අභයගිරිය මෙරට ථෙරවාද මධ්‍යස්ථානයක්. එහි මහායානය ඉගැන්වූ බව ඇත්ත. එහි ඇති වරදක් නැහැ. 

අභයගිරියේ මහායානය ඉගැන්වීමට විරුද්ධ අය විශ්වවිද්‍යාලවල බටහිර මතවාද ඉගැන්වීමට එරෙහි ව කරන අරගලයක් නැහැ. අද පිරිවෙන්වල බටහිර විද්‍යාව උගන්වනවාට මා විරුද්ධ නැහැ. ප්‍රශ්නය උගන්වන්නේ නැති වීමයි. ඒ සඳහා උගත් ගුරුවරුන් නැති වීමයි. පස්වැනි සියවසෙන් පමණ පසු මෙරටින් බිහි වී ඇති නව සංකල්ප ප්‍රවාද (කතන්දර) කවරේ ද? එසේ බිහි නොවීමට හේතුව කුමක් ද?

ජාතික කඳවුර ශක්තිමත් කිරීමට බැසිල් රාජපක්‍ෂ මෙන් ම මෛත්‍රිපාල සිරිසේනත් ඉන්න ඕන. ඒ දෙදෙනාගේ පැරණි විරසකය සමගියෙන් පසු දැන් මතක් කරන්න අවශ්‍ය නැහැ. බැසිල් රාජපක්‍ෂ ජාතිකත්වයට ගත හැකි නම් රටට වැඩදායක වේවි. ශ්‍රී ල නි ප සංධානයට එක් කර ගැනීමට කටයුතු කරන්න ඕන බව මා කීවේ එමගින් පොදුජන පෙරමුණට ජාතිකත්වය ඇතුල් කිරීමට ඉඩ කඩක් ද ලැබෙන බැවින්.  නව සංධානය මොන අඩුපාඩුකම් තිබුණත් ජාතිකත්වයේ ජයග්‍රහණයක්.

නව සංධානය පිහිටුවීමෙන් පසු සියල්ල කෙළවර වන්නේ නැහැ. මේ ජඩ පක්‍ෂ දේශපාලනය තිබෙන තාක් අභ්‍යන්තර ප්‍රශ්න තියේවි. අපේක්‍ෂක ලැයිස්තු සකස් කිරීම, මනාප පොරය ආදිය දැන් පටන් ගනීවි. සංධාන ලේකම් ලෙස බැසිල් රාජපක්‍ෂ පොදුජන පෙරමුණට හැරෙන්න සංධානයේ අනෙක් පක්‍ෂවලට ද වියත්මග වැනි සංවිධාවලට ද සංධානය වෙනුවෙන් කටයුතු කළ ජාතික සංවිධානවලට ද සාධාරණය ඉටු කරනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. ඔහු පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක වෙන්න පුළුවන්. එහෙත් සංධානයේ ලේකම්කමට ඒ සියල්ල යටයි. 

ජාතික සංවිධාන සියල්ල සංධානය වෙනුවෙන් කටයුතු කෙළේ නැහැ. එයට විරුද්ධ ව ශ්‍රී ල නි පක්‍ෂය, පොදු ජන පෙරමුණ හැරෙන්න අනෙක් පක්‍ෂ එකතු වී වෙන සංධානයක් ගොඩ නැගීම වෙනුවෙන් වෙහෙස වූ අය ද සිටියා. ඔවුන්ට අවශ්‍ය වූයේ ජාතික කඳවුරේ භේදයක් ඇති කරන්න. ඔවුන් ඉතා සුළු කරුණක දී පවා ආණ්ඩුව විවේචනය කරනවා. ආණ්ඩුව විවේචනය කරන්න ඕන. ඒත් ඕන එකටයි එපා එකටයි ආණ්ඩුව විවේචනය කරන්නෙ වෙනත් දේකට බව හිතාගන්න බැරි නැහැ. ඔවුන් මුල සිට ම ගෝඨාභය රාජපක්‍ෂ විරෝධීන්. ඔවුන්ට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට අවශ්‍ය වුණා. එහෙත් ජාතික ව්‍යාපාරයේ අනෙක් සංවිධානවල විරුද්ධත්වය නිසා ඔවුන්ට මාලිමාවේ දිශාව වෙනස් කරන්න සිදු වුණා. 

නව සංධානයෙන් ජාතිකත්වය ඇති පිරිසක් ද ඉදිරිපත් කෙරිය යුතුයි. මේ කඳවුර තවදුරටත් වම ප්‍රගතිශීලි කඳවුර ආදී වශයෙන් හැඳින්වීම නුසුදුසුයි. වම ප්‍රගතිශීලි ජාතික ධනපති පංතිය, සළු ධනේශ්වරය ආදී වචනවල වලංගු භාවයක් නැහැ. එදත් වලංගු වුණේ නැහැ. එහෙත් බරලින් තාප්පය තිබෙනතාක් එහි ව්‍යාජ වලංගු බවක් තිබුණා. බර්ලින් තාප්පය බිඳ වැටීමෙන් පසු වම දකුණ ප්‍රගතිශීලි ආදී වචන හිස් වචන පමණයි. අප අපේ කඳවුර ජාතිකවාදී කඳවුර ලෙස හඳුන්වන්න ඕන. 

අද පඬියන්ට ඇති ප්‍රශ්නයක් නම් ගෝඨාභය ව්‍යාපෘතිය ජේ ආර් රනිල් ව්‍යාපෘතියෙන් වෙනස් වන්නේ කෙසේ ද යන්න. ඔවුන්ට අනුව එහි වෙනසක් නැහැ. ඇත්ත නේන්නම්. ඊනියා පංතිය සුළු ධනේශ්වරය ජාතික ධනපති පංතිය ආදී සංකල්පවලින් ලෝකය බලන විට වෙනසක් පේන්නේ නැහැ. එයින් පැහැදිලි වන්නේ මේ සංකල්පවල බංකොළොත් බව. පඬියන්ට නොපෙනෙන බොහෝ දේ සාමාන්‍ය ජනයාට පේනවා. 

ජාතිකත්වයක් ඇතැයි කියන ඇතැමුන්ටත් සමහර දේ පේන්නෙ නැහැ. එහෙමත් නැත්නම් ඕනවට වඩා පේනවා. ඔවුන් නොකන්න ඕන වුණා ම තලගොයා කබරගොයා කරනවා. මා නම් තලගොයකු නොවෙයි. ඔවුන්ට මා කබරගොයකු පමණයි. එහි වාසියක් තියෙනවා. ඔවුන්ට මා කන්න බැහැ. 

ඒ කොහොම වුණත් නව සංධානය ගැන මට ඇත්තේ බලවත් සතුටක්. ඒ බිහි කිරීමේ දී මගෙන් සුළු වශයෙන්වත් දායකත්වයක් වුණා නම් ඒ ගැන මා වඩාත් සතුටු වෙනවා. ආණ්ඩුවේ දුර්වලකම් නැතුවා නො වෙයි. අප කාගේත් දුර්වලකම් තියෙනවා. ආණ්ඩුව ගමන් කරන්නේ ජාතිකත්ව පැත්තට. එය හෙමින් නමුත් සීරුවෙන් සිදුවෙනවා. රනිල් හා ගෝඨාභය අතර වෙනසක් දකින්නෙ නැති අයට ජෙනීවා 30/1 වැදගත් නැතිව ඇති. ඔවුන්ට බටහිර පඬියන්ගේ ම පිහිටයි.