Main Logo

Monday 23 March 2020

කොවිඩ් දෙරණ හා අප

    සිංහල ලිත් ඉලක්කම්


කොවිඩ් දෙරණ හා අප 



ඊයේ දෙරණ හොඳ වැඩ සටහන් දෙකක් ප්‍රචාරය කළා. එකක් රාජ්‍ය බුද්ධි සේවයේ වග කිව යුතු නිලධාරියකු සමග කළ සාකච්ඡාවක්. අනෙක දකුණු පළාතේ ආයුර්වේද වෛද්‍යවරුන් දෙදෙනකු සහ වෛද්‍යවරියක සමග කරන ලද සාකච්ඡාවක්. පළමු වැඩ සටන ගැන කියන්න දෙයක් නැහැ. එය උසස් මට්ටමක තිබුණා. ඉන් පැහැදිලි වූ කරුණ නම් කොවිඩ් 19 පරාද කරන්න පුළුවන් බවත් එහි දී වෛද්‍යවරුන්ට පමණක් ඒ වැඩේ බාර දී ඉන්න බැරි බවත්. 


අද මූලික ප්‍රශ්නය කොවිඩ් 19 පැතිර යැම වළක්වන්නේ කෙසේ ද යන්න. රෝගීන් සහ රෝගය ඇතැයි සැක සිතෙන අය බලා ගැනීම වෛද්‍යවරුන්ට කළ හැකි වුවත් පැතිර යෑම වැළැක්විය හැක්කේ බුද්ධි අංශවලට, හමුදාවලට පොලීසියට වෙනත් එවැනි අංශවලට. ඒ අය කරන සේවය අගය කිරීමට වචන නැහැ. වෛද්‍යවරු හෙදියන් හා සෞඛ්‍ය සේවයේ වෙනත් අයත් කරන සේවයත් එපරිදි ම අගය කිරීමට වචන නැහැ. ආණ්ඩුව ඒ සියල්ලන්ගේත් ඔවුන්ගේ පවුල්වලත් සෞඛ්‍යය හා ආරක්‍ෂා කරන්න ඕන. එහෙත් එයටත් යොදා ගන්න වෙන්නෙ ඒ අය ම බව කියන්න වෙනවා.

බුද්ධි අංශ ඉතා හොඳින් තම කාර්යය කරනවා. එයට දේශපාලන නායකත්වයක් තියෙන බව පැහැදිලියි. අප කොටින්ට විරුද්ධ ව කළ මෙහෙයුම්වල දී ද කියා සිටියේ දේශපාලන නායකත්වයේ වැදගත්කම. එදා දේශපාලන නායකත්වය මහින්ද රාජපක්‍ෂගෙන් ලැබුණා. අද දේශපාලන නායකත්වය ගෝඨාභය රාජපක්‍ෂගෙන් ලැබෙනවා. ඊනියා යහපාලන ආණ්ඩුව තිබුණ නම් බුද්ධි අංශ දුර්වල කරලා මේ වන විට ලංකාව එක ම මළගෙයක් වීමට ඉඩ තිබුණා. වත්මන් බුද්ධි අංශය එකොළොස් දහසක් පමණ පිරිසක් කොටු කර ගෙන සිටීම විශිෂ්ටයි. 

මා හිතන්නේ ස්විට්සර්ලන්තයෙන් පැමිණි පූජකවරයා සම්බන්ධයෙනුත් බුද්ධි අංශ එලෙස ම ක්‍රියාත්මක වේය කියා. මා කලින් කියා සිටියේ ඒ ස්විට්සර්ලන්ත පූජකවරයකු ය කියා. ඉන් මා අදහස් කෙළේ ඔහු එහි රටවැසියකු වීම පමණක් නො වෙයි. ස්විස් චීස් මෙන් ම ස්විස් අනන්‍යතාවක් ඇත්තකු බවයි. එහෙත් ඔහු ලංකාවෙන් ගොස් එහි රටවැසිකම ලබා ගත්තකු වීමට ඉඩ තියෙනවා. එය තවත් භයානකයි. අනුරාධපුරයේ දී ඔහු ඇසුරු කළ අය ඔහු ලංකාවේ අයකු කියා හිතන්න ඇති. ඔහු සමග සෘජු ව හෝ වක්‍ර ව හෝ ඇසුරු කළ අය කොටු කර ගැනීම බුද්ධි අංශවලට භාර වෙනවා. 
 
බටහිර වෛද්‍යවරුන්ගෙන් කිහිප දෙනකු විශේෂයෙන් ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කටයුතු කරන්නේ ඒ අයට මේ හැම එකක් ම කරන්න පුළුවන් වගේ. ඔවුන්ට කළ හැකි දේ සීමිතයි. ඒ කළ හැකි සේවය අප අගයනවා. එහෙත් කළ නොහැකි දේ තමන්ට පවරා ගැනීමට කරන උත්සාහය හෙළා දකිනවා. මට හැම දා අහන්න වෙන්නෙ නිලධාරි සංගමයෙ සභාපතිතුමා සංගමයෙන් අයින් වෙලා ද කියන එක. දවල් දනියෙල් රැ මිගෙල් හැමදා රඟපාන්න බැහැ.

ආයුර්වේද වෛද්‍ය සාකච්ඡාවෙන් ඇතැම් දේ පැහැදිලි වුණා. වෛද්‍යවරුන් දෙදෙනා ටයි පටි පැළඳ ගෙන හිටියේ කුමක් නිරූපණය කරන්න ද? අද රටේ ආයුර්වේද වෛද්‍යවරුන් බොහොමයක් තමන්ට වෙදමහත්තයා කියනවාට වඩා ඩොක්ටර් කියනවා නම් කැමතියි. ඒ සංස්කෘතික ආධිපත්‍යයට යට වීම. එය හැම තැන ම දකින්න පුළුවන්. බටහිර දැනුමක් කට ගා ගත් අයට රටේ ලොකු තැනක් ලැබෙනවා. බටහිර ඇවතුම් පැවතුම් ඇති අයට සලකනවා. මා වැඩි විස්තරයක් කරන්නේ නැහැ. 

මේ වෛද්‍ය සාකච්ඡාවෙන් ආයුර්වේදයේ ක්‍ෂුද්‍ර අංශු නිසා ඇතිවන රෝග ගැන විස්තරයක් කෙරුණා. එය ඉතා හොඳයි. එහෙත් ඔවුන් සංස්කෘත වචන ශ්ලෝක ඇද බෑවේ කුමකට ද කියා තේරෙන්නේ නැහැ. ඔවුන්ගේ දැනුම ඇත්තේ සංස්කෘත භාෂාවෙන්. එහෙත් අපට සංස්කෘත තේරෙන්නේ නැහැ. සංස්කෘත අදාළ දැනුමේ භාෂාව වෙන්න පුළුවන්. බටහිර විද්‍යාවේ අදාළ භාෂාව ඉංගිරිසි. ථෙරවාදයේ අදාළ භාෂාව පාළි. 

ශබ්දය, උච්චාරණය වැදගත් වන අවස්ථාවල දී සංස්කෘත හා පාළි යොදා ගැනීම තේරුම් ගන්න පුළුවන්. එහෙත් අනෙක් අවස්ථාවල දී සිංහලෙන් දැනුම ප්‍රකාශ කරන්න පුළුවන්. ආයුර්වේද වෙදමහත්තුරු හා වෙද නෝනා ඇතැම් අවස්ථාවල ඉංගිරිසි වචන ද යොදා ගත්තා. ඒ අහවල් දේකට ද කියා මට තේරෙන්නේ නැහැ. සිංහල පාරිභාෂික වචන නොදන්නා ඇතැම් සිංහලයන් සඳහා ඉංගිරිසි වචන යොදා ගත්තේ ද? මේ අඩුපාඩුකම් තිබුණත් සාකච්ඡාව හොඳයි. 

අප පාරම්පරික වෙද මහතුන්ටත් අවස්ථාව ලබා දෙන්න ඕන. කොවිඩ් 19 අප හිතන පතන හැටි වෙනස් කරන්න බල කරනවා. ඉතාලි වක්‍ර පෙන්නල බටහිර වෛද්‍යවරු සමස්ත ක්‍රියාවලිය තමන් අතට පමණක් ගැනීමට කටයුතු නොකළ යුතුයි. ඉතාලියේ ලංකාවේ තරම් දක්‍ෂ බටහිර වෛද්‍යවරුන් නැත කියා මා හිතන්නේ නැහැ. ඉතාලියේත් හැම තැනමත් ප්‍රශ්නය අකල්ප හා සංස්කෘතිය පිළිබඳ ප්‍රශ්නය. අපට දැන් අපේ ව්‍යවහාරය යොදා ගන්න තේරෙන්නෙ නැහැ.

චීනයේ චීන සාම්ප්‍රදායික වෙදකම යොදා ගැණුනා. ඉන්දියාව ජනතා ඇඳිරි නීතියක් ගැන කියනවා. එය භාරතීය ජනතා පක්‍ෂයේ යහපත සඳහා යොදා ගන්න එකක් වෙන්න පුළුවන්. එහෙත් වචනය වැදගත්. අප නිරෝධායනයක් යෙදා ගත්තා. 

මෙරට අද වන විට ඇතැමුන්ගෙ විනය පරාර්ථය අන්තිමට ම බැහැලා. ඇඳිරී නීති වෙලාවෙ සමහරු භාර්යාවන්ට ගහලා. පඬි නැට්ටකු කියන්න පුළුවන් ඒ සිංහල බෞද්ධ සංස්කෘතිය කියා. බෞද්ධ සංස්කෘතියෙ තරම් කාන්තාවන්ට වෙනත් කිසිම සංස්කෘතියක තැනක් ලැබිලා නැහැ. සිංහල බෞද්ධ සංස්කෘතියෙ කසිප්පු බීල බුරුව ගහන්න කියලත් නැහැ. වොඩ්කා බීල බ්‍රිජ් ගහන්න කියලත් නැහැ. එහෙත් අද සමහර මිනිසුන් බටහිරයන්ගෙන් පුරුදු වෙලා ඒව කරනවා. 

මේ අයට දෙයියන්නෙ ලෙඩ කිවුවත් වැඩක් වෙන එකක් නැහැ. අප ආයුර්වේදයත් පාරම්පරික වෙදකමත් කොවිඩ් 19ට විරුද්ධව යොදා ගන්න ඕන. සෑම රෝහලක ම ආයුර්වේද හා පාරම්පරික වෙදකම් අංශ තියෙන්න ඕන. මෙහි දී ආයුර්වේද වෙදමහත්තුරු පාරම්පරික වෙදකම පහතට දාන්න කටයුතු නොකළ යුතුයි. මෙරට තවමත් පාම්පරික වෙදකමට වෛද්‍ය සභාවක් නැහැ!  

අපේ ආහාර රටාවේත් වෙනසක් විය යුතුයි. අප ක්‍ෂණික ආහාරවලින් ඉවත් වෙන්න ඕන. රෝගවලට ඔරොත්තු දීමේ ශක්තිය ඇති ඇති දේශීය ආහාරවලට පුරුදු වෙන්න ඕන. අර චූන් පාන් වෙළෙඳුන් හරහා ඇඳිරි නීතිය අයින් කළ පසු ඒ සඳහා ක්‍රමයක් සකස් කර ගන්න පුළුවන් ද? 

මේ සියල්ලටත් වඩා අප හිතන පතන ක්‍රමය වෙනස් කර ගන්න ඕන. බටහිර අනුකරණයෙන් ප්‍රශ්නවලට විසඳුම් නැතීි බව කොවිඩ් කියල දෙනවා.  අප ඒ පාඩම ඉගෙන ගන්න ඕන. බුදුදහම විදර්ශනයක් මිස දර්ශනයක් නොවන බවත් පංචෙන්ද්‍රිය ගෝචර නොවන දේ හැරෙන්න වෙනත් දේත් හරහා ලෝකයක් නිර්මාණය කළ හැකි බවත් පරමාර්ථ සත්‍යයක් කියා දෙයක් නැති බවත් ලෝකය පවතින්නේවත් නොපවතින්නේවත් නැති බවත් අප දැන ගන්න (නිර්මාණය කර ගන්න) ඕන. 

ගුරුත්වාකර්ෂණ බලය තියෙන බව කියන්නන්ගෙන් මා හැම දා අහන්නෙ එය ඉන්ද්‍රිය ගෝචර ද කියා. එතකොට ඊනියා තර්කය. එයත් අපේ නිර්මාණයක්. අප ඇතැයි කියන්නේ අපේ නිරමාණවලට, බොරුවලට හා පට්ටපල් බොරුවලට. අපත් අපේ ම නිර්මාණ.