Main Logo

Sunday 29 March 2020

නොසන්ඩාලයන්, හමුදාව හා ආහාර බෙදීම

       සිංහල ලිත් ඉලක්කම්


නොසන්ඩාලයන්, හමුදාව හා ආහාර බෙදීම  



පිරිත් කියන්නෙ මොකට ද කියල පඬියන් පඬි පෝතකයන් හා පඬි නැට්ටන් අහනවා. ඔවුන්ට ඒක තමන්ගෙ දෙමව්පියන්ගෙන් ආච්චිල සීයල ඉන්නවා නම් ඔවුන්ගෙන් දැන ගන්න පුළුවන්. ඒක අමනුෂ්‍යයන් පැරදවීම සමග සම්බන්ධ වෙච්ච දෙයක්. දැන් පඬියන් අමනුෂ්‍යයන් දැකල නැහැ කියාවි. ඔවුන් වයිරස වයිරියොන මේ කිසිවක් දැකලත් නැහැ. මේ සියල්ල විශ්වාසය පිළිබඳ කතා. අපේ විශ්වාස අවුරුදු දහස් ගණනක් පරණයි. ඒවා තවමත් තියෙනවා. පඬි විශ්වාස වැඩි කලක් පවතින්නෙ නැහැ. මා අමනුෂ්‍ය කතාව පස්සෙ විස්තර සහිතව කියන්නන්. කොවිඩ් 19 වයිරසය ආවෙ කොහෙන් ද? එය ඇති වුණෙ කොහොම ද? පරීක්‍ෂණාගාරයක ද? ඕන ඕන කතා ගොතා ගන්න.


එතෙක් පඬි නැට්ටන්ට නාකි මැන්ටලයට මන්ද බුද්ධිකයාට (moron) පච නලියාට බණින්න පුළුවන්. ඒ කොහොම වුණත්  ඔවුන්ට අර ශක්‍රයාගේ පුටුවෙ වාඩිවුණ අමනුෂ්‍යයා බණින්න බණින්න තර වූ පූවත කාගෙන් හරි අහගන්න පුළුවන්. අමනුෂ්‍යයන් වෛරය ආහාර කොට ගන්නවා. අද ලෝකයේ ම ලෝභ ද්වේෂ මෝහ පැතිරිලා. අමනුෂ්‍යයන් ලක්‍ෂ ගණනින් ලෝකයට (මනුෂ්‍ය ලෝකයට) ඇවිල්ලා. පඬි නැට්ටන්ට එකක් කියන්න ඕන. මා අමනුෂ්‍යයකු නොවුණත් මා වෛරය ආහාර කොට නොගත්තත් පඬි නැට්ටන් මට බණින විට මට තව තවත් ශක්තිය ලැබෙනවා. ඒ ලෝභ ද්වේෂ මෝහ නැති වෙලා නැති බැවින්. ඒ ශක්තිය භෞතික විද්‍යාවෙ කියන ශක්තියක් නො වෙයි. 

මට අද ලියන්න ඕන ආහාර බෙහෙත් ආදිය බෙදා හැරීම ගැන. බැසිල් රාජපක්‍ෂගෙ විජාතික දේශපාලනයට මා විරුද්ධයි. අවශ්‍ය තැන්වල මා ඔහු විවේචනය කරනවා. එහෙත් මේ වෙලාවෙ ඔහු කරන දේ මගේ විවේචනයට ලක් වන්නේ නැහැ. මේ අප ( එ ජා ප, ජ වි පෙ, සිවිල් සමාජ, ආගමික හා ජන කොට්ඨාස මත පදනම් වූ පක්‍ෂ, මානව අයිතිවාසිකම් අයිතිකාරයන්, විවිධ පඬියන් පඬි පෝතකයන් හා පඬි නැට්ටන් හැර) එකතු විය යුතු වෙලාව. වරහන ඇතුළෙ ඉන්න අය එකතු වෙන්නෙ නැහැ. ඔවුන්ට ඇත්තේ සිංහල, විශේෂයෙන් ම සිංහල බෞද්ධ විරෝධයක්. ඒ ඔවුන්ගේ පොදු සාධකය. මෙයින් කියන්නේ බැසිල් සිංහල බෞද්ධ ජාතිකවාදියකු කියන එක නොවන බවත් අවධාරණය කරන්න ඕන. 

ලබන සතිය දෙක අප ඉතා පරෙස්සම් විය යුතු කාල. ජෝන් හොප්කින්ස් වක්‍ර නැති වුවත් ඒ බව කියන්න පුළුවන්. මා හිතන්නේ මාර්තු 22 සිට මෙරට තොටුපළවලින් ලංකාවට එන්න බැහැ කියල. කාට හරි කියන්න පුළුවන් එය කරන්න තිබුණෙ ඊට කලින් කියල. එහෙත් එය සිද්ධියෙන් පසු කියන්නක්. කොහොමටත් මාර්තු 11 පමණ සිට මෙරටට පැමිණෙන්නන් ගැන විමසිලිමත් වුණා. එය සම්පූර්ණයෙන් ම සාර්ථක ව සිදු වුණා කියා මා කියන්නේ නැහැ. 

මාර්තු 22ට පෙර මෙරටට පැමිණි ආසදිතයන් ඉන්න බව දැන් පැහැදිලියි. ඔවුන්ගෙන් වෙනත් අයටත් බෝවෙන්න ඇති. ඔවුන් සමාජයේ සිටිනවා. ජෝන් හොප්කින්ස් වක්‍ර පෙන්නා ජනතාව බිය කරන්න ඕන නැහැ. ඒ වක්‍රවල පරාමිතික අගයන් ලංකාවට ගැලපෙනවා ද කියා රජයේ වෛද්‍ය නිලධාරි සංගමය කියන්නෙ නැහැ. ඔවුන්ට ඒක දැනගන්න ක්‍රමයකුත් නැහැ. ඒ කොහොම වුණත් අප පරෙස්සම් වන්න ඕන. 

ඇඳිරි නීතිය ඉතා දැඩිව ක්‍රියාත්මක කරන්න ඕන. යම් යම් විශේෂ අවස්ථා (ව්‍යතිරේක) තියෙනවා. ඒවාට සුදුසු පිළියම් යොදන්න ඕන. එහෙත් ආරක්‍ෂක ලේකම්තුමා කී පරිදි නොසන්ඩාලයන් ඉන්නවා. නොසන්ඩාලයන් මිනිස් වෙසින් ඉන්න අමනුෂ්‍යයන්. ඔවුන්ට පිරිතෙන්වත් වැඩක් නැහැ. ඔවුන් සිංහල බෞද්ධකමක් නැති අය. ඔවුන් මියගිය ආච්චිගෙ බෙහෙත් තුණ්ඩුව අරගෙන රෝන්දෙ යනවා. 

පොලීසියෙ ඇහැට වැලි ගහන එක වීර ක්‍රියාවක් හැටියට මේ නොසන්ඩාලයන් හිතනවා ඇති. ඔවුන්ට දැඩි දඬුවම් දෙන්න ඕන. ඇඳිරි නීති වෙලාවෙ දේව මෙහෙයන් පවත්වන අයටත් දඬුවම් දෙන්න ඕන. ඉන්දියාවෙ එවැනි අයට පොලීසිය පහර දෙනවා අප දුටුවා. ලංකාවෙ තියෙන්නෙ හමුදා රාජ්‍යයක් නිසා ද කොහෙද එවැනි පහර දීම් සිදු වන්නෙ නැහැ. 

කොවිඩ 19 දාගන්න ලෙඩක්. නොසන්ඩාලයන් රෝගය හංගන්නන් අපට දාන ලෙඩක්. ගෙදරින් පිට නොයෑමත් ගෙදරට පිටින් කිසිවකු වැද්ද නොගැනීමත් සිද්ධ වෙන්න ඕන. හරියට අර ගෙදර ගිනි පිටතට නොදෙන්නත් පිටත ගිනි ගෙදරට නොගැනීමත් වගේ. ප්‍රශ්නය වන්නෙ ගෙවල්වල ඉන්න අයට කන්න බොන්න දෙන්නෙ කොහොම ද කියන එක. විශේෂයෙන් පොඩි දරුුවන් ඉන්න ගෙවල්වලට. 

මෙය බෙදා හැරීම පිළිබඳ ප්‍රශ්නයක්. එහි දී කළ යුතු ප්‍රධාන ම දේ තමයි ඒ පිළිබඳ විශේෂඥ උපදෙස් නොගැනීම. ඔවුන් උපදෙස් දෙන්නෙ බටහිරට. හමුදාව, පෙලීසිය හා සෞඛ්‍ය සේවා ඉතා ප්‍රශස්ත කාර්යයක් ඉටු කරනවා. ඒත් මගේ තවමත් විවේචනයක් තියෙනවා ආයුර්වේද හා පාරම්පරික වෙදමහතුන් සහභාගි කර නොගැනීම ගැන. වෙද මහතකු පැනඩෝල් නියම කළත් බටහිර වෛද්‍යවරු විරුද්ධ වෙනවා. එහෙත් බටහිර වෙද්‍යවරු කැඳ දෙනවා. ඒ ගැන මගේ මූලික විරෝධයක් නැහැ. එහෙත් ප්‍රශ්නය කැඳ කෝප්පය ගැන දුන් හට්ටිය (දුන් කිව්වත් වාෂ්ප) ගැන වැඩිය දන්න වෙද මහත්වරුන් සහභාගි කර ගන්නෙ නැත්තෙ ඇයි කියන එක. 

හමුදාව රෝගීන් ආසාදිතයන් ඇසුරු කළ අය සොයා ගැනීමේ දී විශිෂ්ට සේවයක් කර තියෙනවා. එය මධ්‍යගත මෙහෙයුමක්. එහෙත් භාණ්ඩ බෙදා හැරීම විමධ්‍යගත වැඩක්. එහි දී රාජ්‍යයට, රාජ්‍ය යාන්ත්‍රණයට පමණක් එය කරන්න බැහැ. සුපිරි වෙළෙඳසල්වලට පමණකුත් එය කරන්න බැහැ. පන්සලේ හාමුදුරුවන්, ග්‍රාම නිලධාරීන්, ගමේ කඩේ මුදලාලි එයට සහභාගි කර ගන්න ඕන. දෛනික ආදායමක් ලබන්නන් මෙරට ලක්‍ෂ ගණනක් ඇති. ඔවුන්ගේ දරුවන් ඉන්නවා. ඔවුන්ට ණයට හරි නොමිලේ හරි ආහාර ද්‍රව්‍ය ලබා දෙන්න ඕන. ඒ අය ගැන හාමුදුරුවන් ග්‍රාම නිලධාරින් දන්නවා. ඔවුන්ගේ ආහාර වෙනුවෙන් ගමේ මුදලාලිට ගෙවීමක් කරන වැඩ පිළිවෙළක් හදන්න පුළුවන්.

පත් කර ඇති විවිධ කමිටුවල ගමේ අයත් නියෝජනය වෙන්න ඕන. හාමුදුරුවන් ග්‍රාම නිලධාරි කඩේ මුදලාලි සහභාගි වන ගම්සභා ක්‍රමයක් ඇති කරන එක ලොකු වැඩක් වෙන්න බැහැ. දේශපාලනයෙදී, බුද්ධි අංශ මෙහෙයුම්වල දී මධ්‍යගතය හොඳයි. එහෙත් ආහාර පාන බෙහෙත් වර්ග බෙදා හැරීමේ දී විමධ්‍යගත ක්‍රමයක් ද ක්‍රියත්මක විය යුතු ය කියා හිතනවා.