Main Logo

Wednesday 18 March 2020

රාජිත තීරණ හා ශිෂ්ටබව

  සිංහල ලිත් ඉලක්කම්


රාජිත  තීරණ හා ශිෂ්ටබව



රාජිත සේනාරත්න කියල ජනාධිපති මැච් එකක් නවත්තල නැහැ කියලා. එ කියමන හරියට ම පැහැදිලි නැහැ. ජනාධිපතිට මැච් එක නවත්තන්න බැරි වෙලා ද? එහෙමත් නැත්නම් ඒ ගැන උනන්දුවක් තිබිලා නැද්ද? ඒත් රාජිතගෙ තවත් අගනා ප්‍රකාශයකින් මට හිතුණෙ මැච් එකක් නවත්තන්න බැරි ජනාධිපතිකම මොහොකට ද කියලා. 


ඒ අතර සිරීපාදෙ හාමුදුරුවොත් ප්‍රකාශ කරලා සිරීපාදෙ වහන්නෙ නැහැ කියල. උන්වහන්සේට අනුව එකල මිනිසුන් සිරිපාද වන්දනාවෙ ආවෙ මැරෙන්න බලාගෙන. ඔය ඉංගිරිසි ආණ්ඩුව කාලෙ වෙන්න ඕන. දේපළ ලියන පුරුදු තිබුණෙ ඒ කාලෙ නිසා. සිංහල රජදරුවන්ගෙ කාලෙ මිනිසුන් සිරීපාද වන්දනාවෙ ගියෙත් මැරෙන්න බලා ගෙන ද කියල දන්නෙ නැහැ. මේවා පඬියන්ට හොඳ පර්යේෂණ මාතෘකා. විශ්වවිද්‍යාලෙක නම් පත්‍රිකා කිහිපයක් පළ කරලා උසස්වීම් ලබා ගන්නත් පුළුවන්. 

මිනිසුන් සිරීපාදෙ යන්නෙ මැරෙන්න බලාගෙන කියල මා හිතන්නෙ නැහැ. අද නව කොරෝනාව හෙවත් කොවිඩ් 19 ගැන ලෝකය ම පරෙස්සම් වෙනවා. සිරීපාදෙ ගිය පමණින් ම නව කොරෝනාව හැදෙන එකක් නැහැ. එහෙත් පරෙස්සම් වෙන එක හොඳයි. සිරීපාදෙ වහන්න කියල (එයින් කුමක් අදහස් වුණත්) අප කියන්නෙ නැහැ. එහෙත් සියල්ලන් ම මෙවර සිරීපාද වන්දනාව සම්බන්ධයෙන් ස්වයං තීරණයක් ගන්නවා නම් හොඳයි. 

ජනාධිපතිතුමා සිරීපාදෙ වහන්න කියල නියෝගයක් දෙන එකක් නැහැ. සිංහල බෞද්ධයකු වශයෙන් ඔහු එය කරන එකක් නැහැ. ඒත් ඔහු අර මැච් එක නැවැත්තීමට නියෝගයක් නිකුත් කෙළේ නැත්තෙ ඇයි? ගෝඨාභය රාජපක්‍ෂ කියන්නෙ ඊළඟ හිට්ලර් කියල කී අයට මේක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. අද ඉතා ම අවශ්‍ය කාරණයක දී හැර රටේ ප්‍රධානියා නියෝග දෙන්නෙ නැහැ. ස්වයං තීරණ ගැනීමට තමයි ඔහු අනුබල දෙන්නෙ. 

එහෙත් ඇතැම් අවස්ථාවල එය සාර්ථක වන්නේ නැති බව පැහැදිලියි. ලංකාවෙ සියල්ලන්ට ම නොවූවත් යම් පිරිසකට ජාතික හැඟීමක් නැහැ. ඔවුන්ට බටහිරයන් වෙන්න ඕන, බටහිර ජීවන රටාවට අවස්ථාව ගැන විචාරයක් නැතිව හුරුවෙන්න ඕන. එය අනුගමනය කරන්න ඕන. මිනිසුන් (ගැහැණු පිරිමි) වැඩි දෙනකු ඉස්සෙල්ල ම බලන්නෙ තමන්ගෙ වැඩේ කර ගැනීම. නිවන් සම්මාබෝධය වුණත් එහෙමයි. අනුන්ගෙ නිවන වෙනුවෙන් තමන්ගෙ නිවන කල් දා ගන්න අය ටික දෙනයි. ඒ ලොවුතුරා බුද්ධත්වය පතන අය. සුමේධ තවුසන් දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාද මූලයෙදි තමන්ගෙ නිවන කල් දා ගත්තා. අදත් ඒ මට්ටමේ ම නූණත් එහෙම අය ඉන්නවා.

ඉතාලියට කොරියාවට ගොස් පැමිණි ඇතැමුන්ට අවශ්‍ය වුණෙ කොහොම හරි ඉක්මණින් ගෙදර යන්න. ඒකට හේතු තියෙන්න ඇති. නිවාඩු ඉවර වීම, විවාහ මංගල්‍යවලට සහභාගි වීම ආදී හේතු තියෙන්නෙ ඇති. එහෙත් ඔවුන්ට නිලධාරීන්ගේ වචනයට එකඟ වෙලා වෙන් කරන තැන්වලට යෑමේ වුවමනාව තියෙන්නෙ ඕන. ඒ අනෙක් අයගෙ සෞඛ්‍යය සඳහා පමණක් නොවෙයි. තමන්ගෙත් තම ගෙවල්වල ඉන්න අයගෙත් යහපත තකා. එහෙත් ඒ බව අවබෝධ කර ගැනීමට ඔවුන්ට නො හැකි වුණා. රියැදුරාගේ බෙල්ල මිරීකීමට පවා අයකු පෙළඹුණා. 

අප කාටත් මමත්වය යම් පමණකට හරි තියෙනවා. මමත්වය තියෙන නිසාමයි අප ජීවත් වන්නෙත් සසර සැරිසරන්නෙත්. යටපත් කරගෙන හිටියත් මමත්වය ඇතැම් අවස්ථාවල උඩට එනවා. නව කොරෝනාව සමග ඇති වී තිබෙන තත්වය නිසා මමත්වය උඩට ඇවිල්ල. අපට අනෙක් අය පරදවන්න සිත් දෙනවා. 

නව කොරෝනාවෙ ප්‍රශ්නය එය ඉතා ඉක්මණින් පැතිර යෑම. ඒ නිසා ම ඇතිවන අවිනිශ්චිතබවක් තියෙනවා. නව කොරෝනාව විසින් ලෝකය පුරා ම අවිනිශ්චිත භාවයක් ඇති කෙරී තියෙනවා. අප බොහෝ විට ශිෂ්ට සම්පන්න වෙන්නෙ තව මොහොතකින්, හෙට වෙන්නෙ කුමක් ද කියන එක ගැන නිශ්චිතබවක් තියෙන විට. මාර්ග සංඥා තියෙන විට අප බොහෝ විට සන්සුන් ව රිය පදවනවා. එහෙත් එසේ නැති විට අවිනිශ්චිතබව නිසා අප පළමුව අදාළ හන්දියෙන් යන්න හදනවා. අවුලක් හට ගැනෙනවා. බසයට ගොඩ වෙන විටත් අපට නිශ්චිතබවක් නැහැ. හැම නැවතුම් පොළක ම පේලියට එන්න කියන්න හසුරුවන්නන් නැහැ. අවිනිශ්චිතබව මමත්වය ඉස්මතු කරන එක් සාධකයක් පමණයි. 

බටහිර රටවල ජීවිත සම්බන්ධයෙන් අපේ රටට වඩා නිශ්චිතබවක් තියෙනවා. අප සමහරකු පිටරට පදිංචියට යෑමට එයත් එක් හේතුවක්. දරුවා පාසලට ඇතුල් කිරීමේ සිට අපට අවිනිශ්චිත බවක් තියෙනවා. දරුවාට රැකියාවක් ලබා ගැනීම විවාහය සාර්ථක වීම ආදිය එහි දී බලපානවා. අපේ සංස්කෘතියේ දරුවන් ගැන සෙයා බැලීම ඇත්තේ ඉහළ ම මට්ටමක. ඇතැමුන්ට පාරිභෝගික ද්‍රව්‍ය පිළිබඳවත් ඒ අවිනිශ්චිතබව තියෙනවා. භාණ්ඩ හිඟය, භාණ්ඩ සොයා ඇවිදින්නට වීම කරදරයක්. 

එහෙත් බටහිර රටවල ඒ තත්වය බොහෝ දුරට නැහැ. අවිනිශ්චිතබව අඩුයි. එවිට මිනිසුන් ශිෂ්ට ව කටයුතු කරනවා. (ශිෂ්ටබවත් සාපේක්‍ෂ බව මා අමතක කරන්නේ නැහැ). නව කොරෝනාවෙන් බටහිරත් අවිනිශ්චිතබවක් ඇති කෙරුණා. මිනිසුන් භාණ්ඩ රැස් කළා. වැසිකිළි පිස්නවලටත් රණ්ඩු කර ගත්තා. ශිෂ්ටබව අතුරුදහන් වුණා. 

මමත්වය වැඩි වීමට එක ම හේතුව අවිනිශ්චිතබව කියන එක නොවෙයි මෙයින් කියැවෙන්නෙ. මගේ මමත්වය වැඩි වෙන්නෙ පඬියන් හා ජඩමාධ්‍යවේදීන් දකින කොට. ඒ අවිනිශ්චිතබවක් නිසා නො වෙයි. ඔවුන් අධිමානයෙන් අපට අපේ දැනුමට ගරහන බැවින්. මට ඔවුන් කෙරෙහි වූ පරාර්ථයක් නැහැ. මා උගතකු බුද්ධිමතකු නොවන නිසා මට එය සඟවන්න ඕන නැහැ.