Main Logo

Tuesday 2 June 2020

තොණ්ඩමන් හා දෙමළ ජන කොට්ඨාස දේශපාලනය

                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    4   5  6  7  8  9





තොණ්ඩමන් හා දෙමළ ජන කොට්ඨාස දේශපාලනය

තපස්සු භල්ලුක ගැන තව තවත් තොරතුරු ලැබෙනවා. තොරතුරු එවන සියළු දෙනා වහන්සේට හා සියල්ලන්ට පින්! ඒ තොරතුරු කියවන විට මා දන්නේ මොනවා ද කියා හිතෙනවා. එක් අයකු අසා තිබුණා භල්ලුක කියා තැනැත්තකු එළාරගේ පරාජයෙන් පසු ලංකාවට පැමිණියා නේද කියා. ඒ භල්ලුක නම් එන්න ඇත්තේ දඹදිවින් තමයි. එහෙත් එපමණකින් තපස්සු භල්ලුකක් දඹදිව වැසියන් කියා කීමට බැහැ. මේ නම් බොහොමයක් ඉන්දීයකරණය වෙලා. 


තිරියාය සංස්කෘත ශිලාලේඛනයෙහි මෙවැන්නක් සඳහන් වන බව දන්වා තිබෙනවා. “තපස්සුභල්ලුක වෙළඳ දෙබෑයන් ගැන කීව ද ශිලාලේඛනයේ ‘‘ත‍්‍රපුෂ්‍යකෛර් වල්ලිකෛර් වණිග්ගෙණෙර්’’  (Trapusyaka-Vallika and Companies ?) යනුවෙන් තෘතීයා විභක්ති බහු වචනයෙන් දක්වා ඇත. ඔවුන් දෙදෙනකු ගැන පමණක් සඳහන් කළ යුතු වී නම් සංස්කෘත ව්‍යාකරණයට අනුව ද්විවචනය භාවිත කළ හැකි ව තිබිණ.

මෙයින් පැහැදිලි වන්නේ භල්ලුක කියන නම සංස්කෘතකරණය වූ විට වල්ලික වන බව, එමෙන්ම තපස්සු ත්‍රපුෂ්‍යක වන බව. අපි මේ ගැටළු පසුව ලිහා ගනිමු. ඇත්තට ම මෙහි එතරම් ගැටළුවකුත් නැහැ. මෙහි වැදගත් කරුණක් වන්නේ වනිග්ගෙණෙර් (සමාගමක්?) ගැන කීම. මේ සියල්ල අපි පසුව සාකච්ඡා කරමු. කොහොමටත් වෙළෙඳ සමූහයක් පැමිණ ඇති බව පැහැදිලියි. ඔවුන්ගේ නායකයන් තපස්සු භල්ලුක කියන එකත් පැහැදිලියි. ශිලාලේඛනවල මොනවා තිබුණත් එකල නැව් තිබුණා ද කියා නම් පඬි නැට්ටකුගෙන් අහන්න වෙයි. 
  
අපි තපස්සු භල්ලුකගෙන් තොණ්ඩමාන්ට හා වතුකරයට හැරෙමු. ඇතැමුන් මිය යෑමෙන් පසු වඩා ජනප්‍රිය වෙනවා. ආරුමුගම් තොණ්ඩමන්ටත් ඒ දේ වෙලා. ඔහුගේ පුතා කියනවා පස්සෙ හොඳ අවමඟුලක් ගන්නවා කියා. ඒකත් හොඳයි. තොණ්ඩමන්ලාත් ඉංගිරිසින් විසින් වතුවල වැඩට ගෙනා අය. ඔවුන්ගේ ආදිතමයකු කම්කරු තත්වයෙන් මිදී කන්කානිවරයකු බවට පත්ව තිබෙනවා. එහෙම කිවුවම කම්කරු පංතිය ගැන කියන වම්මුන්ට කේන්ති යයි ද දන්නෙ නැහැ. කම්කරු තත්වයෙන් මිදෙනවා කියන්නෙ මොකක් ද කියල අහන්න බැරි නැහැ. 

සකර්බර්ග් වම්මුන්ට හා ජ වි පෙ වම්මුන්ට අනුව ගෝඨාභය සජිත්ට හා රනිල්ට වඩා ධනවාදී බවයි පේන්නෙ. ඔවුන් ඒ සඳහා අර තවත් බොරු කතාවක් කියාවි. ජේ ආර්ගෙ ව්‍යාපෘතිය වඩා හොඳින් ගෙන යන්නෙ ගෝඨාභය කියා කියන්න පුළුවන්. මේ රටේ වම්මුන්ට තේරෙන මේ සත්‍යය බටහිරයන්ට නොතේරෙන එක තමයි පුදුමය. බටහිරයන් වඩා පක්‍ෂ ගෝඨාභයට ද සජිත්ට ද? 

කම්කරුවන්ට නිසග ව ලැබෙන පංති විඥානයක් නැති නිසා ප්‍රශ්නයකුත් නැහැ. වතු කම්කරුවන්ට කම්කරු පංති විඥානය ගෙන යන්න උත්සාහ කෙළෙ පැරණි සමසමාජ පක්‍ෂය. එහි කලක් පතාක යෝධයකු වූ එඩ්මන්ඩ් සමරක්කොඩි කිවුවෙ වතුකරය ලංකාවෙ විප්ලවයෙ අපිකේන්ද්‍රය (epicentre) කියා. ලංකාවේ ප්‍රභූ පවුලක ඉපදුණු සමරක්කොඩිට හොඳ කම්කරු පංති විඥානයක් තියෙන්න ඇති. නැත්නම් එහෙම කියාවියැයි. ඔහු ධනේෂ්වර පංති විඥානයෙන් කැඩෙන්නත් ඇති. 

ආරුමුගම් තොණ්ඩමන්ගේ වියෝවෙන් උතුරේ වෙල්ලාලයන්වත් නැගෙනහිර කරුණාලාවත් එතරම් ශෝකයකට පත් වූ බවක් පෙනෙන්න තිබුණේ නැහැ. සුමන්තිරන් උසාවියෙ දි දුක් වුණා ද කියා අප දන්නේ නැහැ. ඔහු මේ දවස්වල වැඩිය ඉන්නෙ උසාවියෙ. තොණ්ඩමන්ගෙ මළගමට විශාල සෙනගක් ආපු එක ඇත්ත. ඒ සියල්ලන් ම පාහේ වතුකරයෙන්. පොදුජන පෙරමුණත් ශෝක වුණු බව පැහැදිලියි. ඒත් ප්‍රශ්නයක් වන්නේ පොදුජන පෙරමුණට වතුකරයේ ඡන්ද ලැබෙනවා ද කියන එක.  

පසුගිය ජනාධිපතිවරණවල දී මස්කෙළිය අසුනේ දුන් ඡන්ද මෙසේයි.

*2005ජනාධිපතිවරණය
රනිල්වික්‍රමසිංහ  - 156343
මහින්ද රාජපක්ෂ  -33453.

*2010ජනාධිපතිවරණය
සරත්ෆොන්සේකා - 112866

මහින්ද රාජපක්ෂ  - 62604


*2015ජනාධිපතිවරණය
මෛත්‍රිපාල සිරිසේන - 171578

මහින්ද රාජපක්ෂ - 57718

*2019ජනාධිපතිවරණය
සජිත්ප්‍රේමදාස  - 177413
ගෝඨාභය රාජපක්ෂ - 75499


මෙයින් කියන්නේ එක්කෝ තොණ්ඩමන්ට ඡන්ද නැති බව, නැත්නම් ඡන්ද එ ජා පක්‍ෂයට හා හිතවතුන්ට ලැබෙන බව. සමහර විට දෙක ම වෙන්නත් පුළුවන්. පොදුජන පෙරමුණට කියන්න පුළුවන් තමන් ඡන්දය බලාගෙන දේශපාලනය නොකරන බව. එහෙත් අසන්නන් සිහි බුද්ධියෙන් අසාවි. තොණ්ඩමන්ගේ දේශපාලනය ඉන්දියාවට සම්බන්ධයි. ඔවුන්ගේ කම්කරු සමිතියේ ධජය ඉන්දීය ජාතික ධජය. එය සංකේතයක් පමණක් නො වෙයි. එහෙත් මේ වන විට ඉන්දියාවටත් වතුකරයේ එතරම් දෙයක් කරන්න බැහැ. 

කෙසේ නමුත් මෙරට ඊනියා දෙමළ ජනවර්ගයක් නැති බව අවමඟුලෙනුත් පැහැදිලි වෙනවා. මෙරට දෙමළ ජන කොට්ඨාස තුනක් තියෙනවා. එකක් උතුරේ. එය තවමත් වෙල්ලාල ආධිපත්‍යයට, විශේෂයෙන් වෙල්ලාල ක්‍රිස්තියානි ආධිපත්‍යයට යටවෙලා. නැගෙනහිර ඇත්තේ වෙන ම දෙමළ ජනකොට්ඨාසයක්. එහි පැහැදිලි නායකත්වයක් නැහැ. එහෙත් කරුණා ආදීන් නාමික නායකත්වයක් දරණවා. පොදුජන පෙරමුණේ දේශපාලනඥයන් බුද්ධිමත් ව ක්‍රියා කරන්නේ නම් ඔවුන්ට මේ දෙමළ ජන කොට්ඨාසයට නායකත්වය දෙන්න පුළුවන්. තුන්වැනි දෙමළ ජන කොට්ඨාසය ඇත්තේ වතුකරයේ. එහි විවිධ නායකයන් ඉන්නවා. තොණ්ඩමන් එක් අයකු පමණයි. මේ දෙමළ ජන කොට්ටාසයේ නායකයන් තම ජනතාව මෙහෙයවන්නේ එ ජා පයට හා එහි හිතවතුන්ට ඡන්දය දීමට. 

දෙමළ ජන කොට්ඨාස තුන ජීවත් වන්නේ වෙන වෙන ම. ඔවුන්ට පොදු නායකයන් නැහැ. 1976 දී වඩුකොඩෙයි සම්මේලනයේ දී චෙල්වනායගම් තම නායකත්වය යටතේ මේ දෙමළ ජන කොට්ඨාස තුනත් මුස්ලිම් ජනයාත් සිංහලයන්ට, විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්ට එරෙහිව සංවිධානය කිරීමට උත්සාහ කළත් එය සාර්ථක වූයේ නැහැ. එහි දී පුස් යෝජනා හතරක් සම්මත කර ගත්තා. ඒ යෝජනා පසුව නන්දිකඩාල් කලපුවට විසි කෙරුණා. 

කඳුකරයේ දෙමළ ජනයා සංවිධානය කිරීම එක් නායකයකු හෝ පක්‍ෂයක් හෝ යටතේ සිදු වන්නේ නැහැ. තොණ්ඩමන්ගේ අභාවයෙන් පසු ආරුමුගම්ට තම සීයාට තිබූ ජනප්‍රියතාව රැක ගන්න බැරි වුණා. ආරුමුගම්ගේ පුතාට ඒ තරමවත් බැරි වේවි. අප දෙමළ ජන කොට්ටාස සමග නායකයන් මගින් නොව සෘජුව දේශපාලනය කරන්න ඕන. පොදු ජන පෙරමුණ ඒ ජනයා අතරට යන්න මග හදා ගන්න ඕන.