Main Logo

Friday 26 June 2020

එම්සීසී හා ගුණරුවන් වාර්තාව

         

                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    5  6  7  8  9






එම්සීසී හා ගුණරුවන් වාර්තාව

අද ජනමාධ්‍යයෙහි වැදගත් ප්‍රවෘත්ති කිහිපයක් ම පළවෙනවා. ඒ අතර 2020 මැතිවරණය වෙනුවෙන් පැෆරල් සංවිධානයට මෙරට නෝර්වේ තානාපති කාර්යාලයෙන් රුපියල් හැටලක්‍ෂයක් ලබා දීම, බේයර් සමාගම ග්ලයිෆොසේට් පිළිකා නඩුව බේරුමක් කර ගැනීමට ඇමරිකන් ඩොලර් බිලියන එකොළහක් පමණ ගෙවීම වෙනවා. රුපියල් හැටලක්‍ෂයක් කියන්නේ නම් විශාල මුදලක් නො වෙයි. මා හිතන්නෙ විශ්වවිිද්‍යාල මහාචාර්යවරුන් විසිපස්දෙනකුගේ වැටුප් එකතුවට වඩා අඩු මුදලක්. පැෆරල් සංවිධානය වැනි රාජ්‍ය නොවන සංවිධානවලට ලැබෙන සියලු මුදල් ගැන ප්‍රචාරයක් ලැබෙන්නේ නැහැ. ලූණු බිකත් බඩට ය කියා කියමනක් තියෙනවා. 

හැටලක්‍ෂයත් ගඟේ මූදේ දැමීමට නො වෙයි. හැටලක්‍ෂය දෙන්නේ මැතිවරණයේ දී හා එයට පෙර කොවිඩ් සම්බන්ධයෙන් සෞඛ්‍ය හා ආරක්‍ෂක නීිති රෙගුලාසි ආරක්‍ෂා කිරීමටත් ඒවාට ප්‍රචාරය ලබා දීමටත්. එය නරක ද කියා කවුරු හරි පඬියකු මගෙන් අහන්න බැරි නැහැ. අපොයි හොඳයි. මට දැන ගන්න ඕන ලූණූ බික් පමණ ද රාජ්‍ය නොවන සංවිධානවලට ලැබෙන්නෙ කියන එකත් සෞඛ්‍ය නීති ආරක්‍ෂා කිරීමට පමණක් ද ප්‍රදාන ලැබෙන්නෙ කියන එකත්. එවැනි දේට දෙන ප්‍රචාරය අනෙක් දීමනාවලට ලැබෙන්නෙ නැත්තෙ ඇයි? වෙන දීමනා ලැබෙන්නෙ ම නැද්ද? 
ග්ලයිෆොසේට් වැඩේත් බරපතලයි. බටහිර විද්‍යාදාසලා මොනවා කිව්වත් ග්ලයිෆොසේට් සෞඛ්‍යයට ප්‍රශ්නයක්. නෝර්වේ හා අනෙක් බටහිර රටවල් එවැනි සෞඛ්‍ය ප්‍රශ්නවලට අතගහන්නෙ නැද්ද? ට්‍රම්ප්ට නම් බටහිර විද්‍යාව ගැන එච්චර විශ්වාසයක් නැති නිසා ඔය විද්‍යා ප්‍රශ්න වැදගත් නැති වෙන්න පුළුවන්. ඒත් අනෙක් රටවල්. හැම එකට ම කට දාන ස්කැන්ඩිනේවියානු රටවල්. 

ලංකාවෙත් ග්ලයිෆොසේට් ප්‍රශ්නය තියෙනවා. මා නම් හිතන්නෙ ආසනික් ප්‍රශ්නය ඊටත් වඩා තියෙනවා කියලා. මෙරට ඇති අසාමාන්‍ය වකුගඩු රෝගයට හේතුව තවම මෙරට වෛද්‍ය විද්‍යාව හරි රසායන ආදී විද්‍යාවන් හරි හදාරපු අය දන්නෙ නැහැ. ඔවුන්ට එය දැන ගැනීමට කොපමණ කල් යාවි ද? අඩු ගණනෙ බටහිර විිද්‍යාඥයන් ඒ ගැන හොයල බලන්නෙ නැත්තෙ මොක ද? අපේ රටේ ඔය අසාමාන්‍ය වකුගඩු රෝගයෙන් මිය යන අය ඔවුන්ට ප්‍රශ්නයක් නොවෙයි ද? අපේ රටේ නීති හදල තියෙන්නෙ මෙරට ජනතාව වෙනුවෙන් ද? බටහිර විිද්‍යාව තාක්‍ෂණය හා අදාළ ආයතන වෙනුවෙන් ද? මෙරට අසාමාන්‍ය නැත්නම් කෘෂිරසායනික වකුගඩු රෝගයෙන් මිනිසුන් තව කී දෙනකු මිය යන්න ඕන ද? 

මේ අතර ලලිතසිරි ගුණරුවන් කමිටුව එම්සීසී ගිවිසුම පිළිබඳ තම වාර්තාව ජනාධිපතිතුමාට භාර දීලා. ඒ වාර්තාව ප්‍රසිද්ධ කරන්න දින හරි සති හරි කිහිපයක් යාවි. එහෙත් ජනමාධ්‍ය ප්‍රවෘත්තිවලට අනුව ගුණරුවන් ගිවිසුම සම්බනධයෙන්  කර ඇති ප්‍රකාශවලින් කියැවෙන්නේ ගිවිසුම අප කෙරෙහි පතළ වූ කරුණාවෙන් කෙටුම්පත් කරන ලද්දක් නොවන බවයි. ඒ කමිටුවේ සාමාජිකයන්ගෙන් මා දන්නේ ගුණරුවන් පමණයි. 

ඔහු කොළඹ විශ්වවිිද්‍යාලයේ මා උගන්වන කාලයේ විද්‍යා පීඨයේ සිසුවකු ව සිටියා. පසුව ඔහු ආර්ථික විද්‍යාව වෙත ඇදී ගොස් තිබෙනවා. එය කවදා කෙසේ සිදු වූයේ දැයි මා දන්නේ නැහැ. ඔහු සිසුවකු ලෙස දේශපාලනික ක්‍රියාකරුවකු ලෙස සිටි බවක් මට මතක නැහැ. ඉන්නත් ඇති. ගවේෂකයෝ රැස්වීම්වලට සහභාගි වෙන්න ඇති කියා මා හිතනවා. ශිෂ්‍යයකු ලෙස දෙතුන් වතාවක් මා හමු වී තියෙන බවක් මතකයි. මා හිතන විධියට ඔහු කණ්ඩායමක සාමාජිකයකු වීමට වඩා තනිව ම කටයුතු කිරීමට කැමති වූ පුද්ගලයෙක්. 

එකල කොළඹ විශ්වවිද්‍යාලයේ සිටිය සිසුන් සමහරු මා දැරූ අදහස්වලට විරුද්ධ වුණා. තවත් සමහරු ඒ අදහස්වලට කැමති වුණා. එසේ කැමති වූ අයට  ශිෂ්‍ය සභාවල යම් ශක්තියක් තිබුණා. එහෙත් අද වන විට එකල මා දැරූ අදහස් සමග එකඟ වූ බොහෝ දෙනකු මට විරුද්ධ ව වැඩ කරනවා. ඔවුන්ට ජාතිකත්වයක් නැහැ කියා මා කියන්නේ නැහැ. එහෙත් විවිධ කරුණු සම්බන්ධයෙන් ඔවුන් මට කැමති නැහැ. බටහිර විද්‍යාව පට්ටපල් බොරු යැයි කීම, විජයට පෙර මෙරට යක්‍ෂ නාග ආදී ගෝත්‍රිකයන් වාසය කළ බව පැවසීම, රනිල් එලවා මහින්ද අගමැති කිරීමට මෛත්‍රිපාල සිරිසේනට ශක්තිය දිය යුතු යැයි කීම, නාථ දෙවියන් සහ වෙනත් අදෘශ්‍යමාන බලවේග මගින් දැනුම ලබා ගැනීමට හැකි බව පැවසීම හා කටයුතු කිරීම, ගුණදාස අමරසේකරගේ  ජාතික චින්තනය, සමාජවාදය හා ජාතිකත්වය එකතු කිරීම ඇතුළු  ඇතැම් අදහස්වලට විරුද්ධවීම ආදියට ඒ ඒ අය කැමති නැහැ. ඔවුන් සමහරු සංවිධානාත්මක ව ජනමාධ්‍ය යොදා ගනිමින් මා ජාතික ව්‍යාපාරයෙන් ඉවත් කිරීමට කටයුතු කරනවා. 

ගුණරුවන් ඉන්නේ කොතැනක දැයි මා දන්නේ නැහැ. එහෙත් ඔහුට ජාතිකත්වයක් නම් තියෙනවා. ඔහු හා කණ්ඩායම එම්සීසී ගිවිසුම හොඳින් අධ්‍යනය කර ඇති බවත් පේනවා. ඔහු ඊයේ ජනමාධ්‍යයෙන් ප්‍රකාශ කළ කරුණු අනුව නම් ඉතා පැහැදිලි ව ගිවිසුම රටට අවැඩදායකයි. රටේ ජාතිකත්වයක් ඇති අය මුල සිට ම දැරුවේ ඒ මතයයි. එහෙත් ගුණරුවන් වාර්තාවෙන් ගිවිසුමට විරුද්ධ මතයක් පළවුණත් අප විමසිල්ලෙන් ඉන්න ඕන. 

ගිවිසුම සංශෝධනය කිරීමට යෝජනා ගෙනේවි. අපට අවාසි කොන්දේසි ඉවත් කිරීමට කටයුතු කරාවි. වෙනත් වගන්ති ගෙනේවි. ඒ වගන්තිත් අපට අහිතකර වෙන්න තියෙන ඉඩකඩ ඉතා වැඩියි. මේ සියල්ල කෙරෙන්නේ බෙදුම්වාදී රාමුවක බවත් අමතක කරන්න බැහැ. අප දෙමළ ත්‍රස්තවාදය පරාජය කළත් තවම මේ රාමුවෙන් ගැලවීමට නොහැකි වී තියෙනවා. ඒ බටහිර රටවල් බෙදුම්වාදය වෙනුවෙන් කාලයක් තිස්සේ වැඩ කරන නිසා. 

මේ රාමුවෙන් ගැලවීම තරමක කාලයක් ගන්න ඉඩ තියෙනවා. එයට අමතර ව බටහිර ක්‍රිස්තියානි අධිපතිවාදී සංස්ථාපනය ද තියෙනවා. ඒ කෙසේ වුවත් ගුණරුවන් දැක් වූ අදහස් අගය කළ යුතු වෙනවා.