Main Logo

Saturday 27 June 2020

කරුණා, අයිවන් හා ඇඩෙල්

         

                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    5  6  7  8  9



කරුණා, අයිවන් හා ඇඩෙල්

කරුණා අම්මාන්ට එරෙහිව පරීක්‍ෂණ පවත්වන ලෙස අර කුප්‍ර්‍රසිද්ධ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමාගම (කවුන්සිලය - මා හිතන්නේ සමාගම කියන වචනය හොඳය කියා. අවශ්‍ය නම් සීමාසහිත කියන කොටස මුලට එකතු කරමු) ට්විටර් පණිවුඩයකින් ඉල්ලලා. මෙහි දී මට මතක් වෙනවා දෙදෙනකු. එක්කෙනෙක් කලක් ගුණදාස අමරසේකර විසින් ප්‍රඥාංකුරයකු ලෙස හැඳින්වුණු වික්ටර් අයිවන්. මා ඒ ගැන අමරසේකරට දොස් කියන්නේ නැහැ. අමරසේකර දැන් අයිවන්ගේ ප්‍රඥාව ගැන දන්නවා. මට මතක් වන අනෙක් තැනැත්තා තැනැත්තියක් නමින් ඇඩෙල් බාලසිංහම්. සිංහල බෞද්ධ විරෝධී ක්‍රිස්තියානි මාක්ස්වාදියකු ද වූ ඇන්ටන් බාලසිංහම් ස්ටැනිස්ලෝස්ගෙ ඕස්ත්‍රේලියානු සම්භවයක් ඇති බිරිය. ඇය තවමත් ජීවත්වනවා ද කියා මට නිච්චියක් නැහැ. 


සීමාසහිත මානව හිමිකම් සමාගම කියන්නේ කරුණා බාල දරුවන් යුද්ධයට යැවීම ගැන පරීක්‍ෂණ කළ යුතු ය කියා. මට ඇඩෙල් මතක් වන්නේ ඇය දරුවන් ආයුධ සන්නද්ධ සටනට යැවීම ගැන ප්‍රසිද්ධියක් උසුලන නිසයි. මේ සබැඳියේ ඇති ඡායාරූපය ඇඩෙල්ගේ  ඡායාරූප ගොන්නකින් ලබාගත් එකක්. 

https://www.bing.com/images/search?view=detailV2&ccid=AbQulOdg&id=315B4B9CF25C6A0034E79B6202FFB7EF29613A21&thid=OIP.AbQulOdgcGxiKciRQJ4VawHaFj&mediaurl=https%3a%2f%2fi.ytimg.com%2fvi%2fwr8JP5-4lVA%2fhqdefault.jpg&exph=360&expw=480&q=adele+balasingham&simid=608046233696732746&ck=3D6D3BA687A2AF3D10275540CD642744&selectedIndex=2&qpvt=adele+balasingham 

බටහිර සමාජය එක එක තීරණ ගන්නවා. ඔවුන් පරීක්‍ෂණ පවත්වන්නෙ තමන්ට අවශ්‍ය අයට විරුද්ධ ව. ඔවුන් සමහර විශ්වවිද්‍යාල වහන්න තීරණය කරන්නෙත් ඔවුන්ට අවශ්‍ය විධියට. ඔවුන්ගෙ නිර්ණායක අපට වැදගත් නැහැ. තම සමාජයට බරක් නම් ඔවුන් ඒ ඒ විශ්වවිද්‍යාල වසා දමනවා, ඒ ඒ පුද්ගලයන් විනාශ කරනවා. අපටත් ප්‍රශ්නය බටහිරයන් ඒ ඒ පුද්ගලයන්ට විරුද්ධ ව පමණක් පරීක්‍ෂණ පැවැත්වීම හා සමහර විශ්වවිිද්‍යාල, ආයතන වසා දැමීම. ඔවුන් එසේ කරන්නේ ඇයි ද කියන එක තමයි අපත් අහන්නෙ. ඒ ප්‍රශ්න අහන විට සමහරු බූමිතෙල් ගෑවුණු ගැරඬින් මෙන් ක්‍රියාකරනු දකින්න පුළුවන්.  

මට අවශ්‍ය ඇඩෙල් හා කරුණා සංසන්දනය කරන්න. කරුණා කොටි සංවිධානයෙ හිටිය. ඒක කවුරුත් දන්නවා. ඒත් ඔහු කොටි සංවිධානයෙන් කැඩුණා. (ඒ කැඩීම පසුව ප්‍රභාකරන් පරාජය කිරීමටත් යම් ආකාරයකින් හේතු වුණා. ඒත් එය නොවෙයි වැදගත්, ත්‍රස්තවාදී බෙදුම්වාදී දේශපාලනයෙන් ඔහුගේ කැඩීමයි වැදගත්). ඒ කියන්නෙ ඔහු එක්තරා අර්ථයකින් පුනරුත්ථාපනය වෙලා. ඔහුට දැන් දඬුවම් කළ යුතු ද? 

දඬුවම් කරන්නේ, ඉස්සර දණ්ඩ යොදා ගත්තේ, යමකු තමන් කරන වරදකින් (වරද සමාජයට සාපේක්‍ෂයි) මුදා ගැනීමට. පුනරුත්ථාපනය කරන්න. මරණීය දණ්ඩනයේ ඇති ප්‍රශ්නය එයයි. ඒ දඬුවමෙන් යමකු වරදෙන් මුදා ගන්න බැහැ. පුනරුත්ථාපනය කරන්න බැහැ.  දැන් යමකු ස්වයං පුනරුත්ථාපනය වෙලා නම් ඔහු වරදෙන් මිදිල නම් දඬුවම් කරන්නෙ අහවල් දේකට ද? කරුණා තම වැරදිවලින් මිදලා. ත්‍රස්තවාදී බෙදුම්වාදී දේශපාලනයෙන් කැඩිල. මගේ ප්‍රශ්නය ඔහුට දඬුවම් කිරීමෙන් බලාපොරොත්තු වන්නේ කුමක් ද? ඔහු පවක් කර ඇත්නම් එහි විපාක (දඬුවම් නොවේ) ඔහුට සසරේ දී ලැබේවි. අප එයට මැදිහත් වෙන්න ඕන නැහැ. ඒක යමයා බලා ගනීවි. කරුණා වරදෙන් මිදිලා. ත්‍රස්තවාදී බෙදුම්වාදී දේශපාලනයෙන් කැඩිල.  ඒත් ඇඩෙල් ජීවත් ව සිටී නම් ඇය තම වරදෙන් මිදලා ද? ත්‍රස්තවාදී බෙදුම්වාදී දේශපාලනයෙන් කැඩිලා ද?  

අද ජ වි පෙ ඉන්න බිල්ලන් හැරුණු විට අනෙක් අය පමණක් නොව විමල් වීරවංශලාත් එක් කලෙක ත්‍රස්තවාදී දේශපාලනයක නිරත වුණු අය. ඔවුන් මාක්ස්වාදීන් ද වූවා. වාද්දුව අසල දුම්රිය මාර්ගයේ තුවක්කු කර තියාගෙන ගියත් නැතත්  ඒ ඒ අය එක් එක් ප්‍රමාණයට මාක්ස්වාදයෙන් කැඩිල. මා හිතනවා ඔවුන් රටේ ත්‍රස්තවාදී දේශපාලනයෙන් සම්පූර්ණයෙන් කැඩිල කියා. අපි දැන් ඔවුන්ට එකල කළ ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් දඬුවම් දෙනවා ද? ඒ ගැන පරීක්‍ෂණ පවත්වනවා ද? 

1971 ජ වි පෙ සාමාජිකයන් නම් බණ්ඩාරනායක මැතිණිය විසින් පුනරුත්ථාපනය කෙරුණා.  විමල්වත් ටිල්වින්වත් අනුර කුමාරවත් මාක්ස්වාදයෙන් කැඩිල නැහැ. ඒ ඒ අය ඒ ඒ ප්‍රමාණයට තමන් දන්නා මාක්ස්වාදයක ඉන්නවා. එහෙත් මා හිතන විධියට කරුණා තම අතීත දේශපාලනයෙන් ද (ත්‍රස්තවාදයෙන් පමණක් නොව) කැඩිලා. මා කියන්නේ මාක්ස්වාදයක ඉන්න නිසා කිසිවකුට දඬුවම් කරන්න කියන එක නොවෙයි. මාක්ස්වාදයෙන් කැඩීම හෝ නොකැඩීම හෝ ස්වයං කාර්යයක්. මාක්ස්වාදියකු වීම රටේ නීතිය අනුව වරදක් නො වෙයි. 

මා මාක්ස්වාදයෙන් සම්පූර්ණයෙන් කැඩුණේ 1983 දී පමණ. 1979-1983 කාලය සංක්‍රමණීය කාලයක් වුණා. ඒ කාලයේ මා මාක්ස්වාදයෙන් සම්පූර්ණයෙන් කැඩිල තිබුණෙ නැහැ. සමහර පඬි නැට්ටන්ට සංක්‍රමණීය කියන වචනය තේරෙන්නෙ නැහැ.  ඔවුන් අහනව ඒ කාලෙ ඊළම ගැන ලිව්වෙ නැද්ද කියලා. සංක්‍රමණීය කාලයෙහි මා කුසල් පෙරේරා සමග යථාර්ථ නමින් සඟරාවක් පළ කළා. මා එකල යථාර්ථයක් විශ්වාස කළා. භෞතික හෝ මානසික හෝ යථාර්ථයක් යනූ විශ්වාසයක් පමණයි. තර්කය ගැන තියෙන්නෙත් විශ්වාසයක්.  

නීට්ෂෙ කිව්ව දෙවියන් වහන්සේ මැරිල කියලා. එයට එක් එක් අය විවිධ අර්ථකථන දෙනවා. මටත් තියෙනවා අර්ථකථනයක්. එය සිංහල බෞද්ධ සංස්කෘතිය මත පදනම් වූවක්. දෙවියන් වහන්සෙ මැරිල තර්කය හැටියට යළි ඉපදිලා. මා එකල ඊළම් අයිතිය වෙනුවෙනුත් ලිපි ලිව්වා. එහෙත් මා දැන් ඒ සියල්ලෙන් ම කැඩිලා. ඒ කියන්නෙ අනෙක් දැයිනුත් කැඩිල කියන එක නො වෙයි. ඒ සියල්ල කියන්නෙ සියල්ල නො වෙයි. 

අපට අමාරුම දේ තමයි දරුපවුලෙන් කැඩෙන එක. බෝසතාණන් වහන්සේත් දරු පවුලෙන් කැඩුණෙ සිදුහත් කුමරු ලෙස ඉපදීමට පෙර අවසාන භවයේ වෙස්සන්තර රජු ලෙස. ජාතක කතාවේ දරුවන් හා භාර්යාව දන් දීම වශයෙන් කියැවෙන්නේ මේ කැඩීමයි. ජාතක පොත (ඒකෙ ඊසොප්ගෙ කතා කීයක් තියෙනවා ද කියල පඬි කතා අහන්න ඕන නැහැ) ලියල තියෙන්නෙ ගැඹුරු දේ ඉතා සරල ව කියන්නත් එක්ක. ඒ සරල කතාව ගැඹුරින් දැන ගත්ත ම සසරින් එතෙර වීම ළඟා වෙනවා. මට නම් පඬියන්ට මහෞෂධ පඬි තුමා කේවට්ටයාට කරපු දේ කරන්න තියෙන නිසා සසර දික් වෙනවා. දරුවන් දන් දීම කියන්නෙ දරු සෙනෙහස නැති කිරීම. ඉන් කැඩීම. 

අනූගණන්වල මුල රූපවාහිනී විවාදයක් තිබුණ වික්ටර් අයිවන් එක්ක. ඒ විවාදයෙ දි ඔහු මගෙන් ඇසු පශ්නයක් ඇහුව හරි මට විරුද්ධ ව ප්‍රකාශයක් කළා හරි මා ඊළම ගැන ලියා තිබීම ගැන. ප්‍රභාකරන් ඊළම ගැන කතා කෙළෙ ඒ ලිපියෙන් පස්සෙ නො වෙයි. එහෙම වුණත් මා ඒ ගැන වග කියන්නේ නැහැ. අනූගණන් වෙන විට මා මාක්ස්වාදී කුණුහරුපවලින් විතරක් නොවෙයි විද්‍යා කුණුහරුපවලිනුත් කැඩිල. ඒ විවාදයෙදි මා කී දේ තමයි සිදුහත් කුමරු ආළාර කාළාම උද්දකාරාමපුත්ත ආදීන් ළඟට ගියත් ඒ ඉගෙන ගත් දේ ගැන එකල කී දේ ගැන බුදුහාමුදුරුවන් වග කියන්නෙ නැති බව. සිදුහත් කුමරු දුෂ්කරක්‍රියාවක් ද කළා. නිවන සම්මාබෝධය සමග  සියල්ලෙන් ම කැඩිලා. 

කරුණාදැන් තම අතීත දේශපාලනයෙන් කැඩුණු අයෙක්.  අවශ්‍ය නම් ඔහු පුනරුත්ථාපනය වෙලා. පුනරුත්ථාපනය  වුණු ත්‍රස්තවාදී දේශපාලනයෙන් කැඩුණු අයට දඬුවම් දෙන්න ඕන  ද? අයිවනුත් පුනරුත්ථාපනය වුණු  ත්‍රස්තවාදියෙක්. මා කියන්නෙ නැහැ ඒ කිසිවකුට දඬුවම් දිය යුතු ය කියා.