Main Logo

Thursday 17 September 2020

විස්ස කොයිබට ද?

                                 විස්ස කොයිබට ද?

 

විස්සට මොකද වෙන්නෙ? විස්සෙ කතෘ කවුද වගේ ප්‍රශ්න බොහෝ දෙනකුගෙ හිත්වල තියෙනවා. දෙවැනි ප්‍රශ්නයට නම් පිළිතුරක් තියෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ කතෘත්වය භාරගෙන තියෙනවා. ඒකෙන් කියන්නෙ එහි දළ අදහස එතුමාගෙ කියන එකයි. නීිතිපති දෙපාර්තමේන්තුව තමයි විස්ස කෙටුම්පත් කරල තියෙන්නෙ. ජනාධිපතිවරණය කාලෙ රටේ මතයක් තිබුණ දහනවය අහෝසි කරන්න කියල. ඒ දහනවය ගැන හොඳින් හිතල ඇතිකර  ගත් මතයක් නොවෙයි. එය දළ අදහසක්. 

දහතුන ගැන නම් ඇත්තෙ ඊට වඩා පළල් මතයක්. අවුරුදු ගණනක් තිස්සෙ කතා කරපු දෙයක්. පඬියන් පඬි පෝතකයන් පඬි නැට්ටන් නම් කියාවි දහනවය අහෝසි කළොත් වෙන විපාක ගැන. මා දැක්ක අදත් එක් පඬියෙක් ඉංගිරිසියෙන් පඬිවදන් වමාරල තිබුණ. ඔහු හැත්තෑ එකේ ආයුධ ගත් පඬියෙක්. ජ වි පෙරමුණට නම් අසුහතේදිවත් අදවත් දහතුනට පක්‍ෂ වෙන්න බැහැ. හැත්තෑ එකේ ආයුධ ගත් පඬියන් ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයට ආවට පස්සෙ බටහිර මත වමාරන එක පුදුමයක් නො වෙයි. ඔවුන් හැත්තෑ එකේ ආයුධ ගත්තෙත් පසුව බටහිර මතවාද ගත්තෙත් විචාරයකින් නම් නො වෙයි. ඔවුන්ට මහාචාර්යවරුන් වෙන්න පුළුවන්. ඒ සඳහා විචාරයක් අවශ්‍ය නැහැ. වැමෑරීම පමණයි අවශ්‍ය. 

දහතුන අහෝසි කරන්න ඕන. මුළුමනින් ම අහෝසි කරන්න ඕන. එහි මුලික ප්‍රතිපත්තිය ම වැරදියි. සිංහලයන්ගෙන් දෙමළ ජනකොටස්වලට සිද්ධ  වෙච්ච අසාධාරණයක් නැහැ. ඒ වගේ ම මා දන්නා තරමින් කිසිම ජාත්‍යන්තර ගිවිසුමකින් අප බැඳිල නැහැ පළාත් සභා ඇති කරන්න. මා පළාත් සභා හා ඉන්දියාව ගැන ලියූ ලිපිය මුහුණුපොතේ පාඨකයන් අනූදාහකට වැඩි පිරිසක්  අතරට ගිහින් තියෙනවා. ඒ කියන්නේ අනූදාහක් ඒ ලිපිය කියෙව්වා කියන එක නො වෙයි.

 සමහරවිට ඔවුන් එහි ඡායාරූපය බලන්න උනන්දු වුණා ද දන්නෙ නැහැ. මගේ පිටරටක, ඔව් පිටරක, ඉන්න පුතකු තමයි මට කිව්වෙ ඡායාරූපයක් ලිපියට එකතු කරන්න කියා. මා දැන් දන්නවා සමහරු තම හැම ලිපියකට ම ඡායාරූප එකතු කරන්නෙ ඇයි කියල.  ඉන්දු ලංකා ගිවිසුමේ කිසිම සඳහනක් නැහැ පළාත් සභා ඇති කිරීම ගැන. මට අවධාරණය කරන්න අවශ්‍ය වුණෙ එයයි. සරත් වීරසේකර මේ අනූදාහෙන් එක් අයකු ද කියා දන්නේ නැහැ. කෙසේ වෙතත් ඔහුට එය වැදගත් වේවි. 

මේ අතර මෙරට ඉන්න විදේශ තානාපතිවරු මහාකොමසාරිස්වරු දේශපාලන පක්‍ෂවල නායකයන් සමග විශේෂයෙන් සිංහල විරෝධී දේශපාලන පක්‍ෂ නායකයන් සමග ඇතැම් විට ඔවුන්ගෙ නිවෙස්වලට ගිහින් සාකච්ඡා කරන්නෙ මොනවද කියන එක හොයල බලන්න ඕන. ඒ තානාපතිවරන්ට මහාකොමසාරිස්වරුන්ට එහෙම කරන්න පුළුවන් ද? අර කැනඩා මහාකොමසාරිස් අම්පාරෙ ගිහින් තියෙන්නෙ අහවල් දේකට ද? සේනානායක සමුද්‍රය බලන්න වෙන්න බැහැ. 

දහනවය අහෝසි කරන්න කිවුවෙ එය දුෂ්ට පෞද්ගලික අරමුණක් ඇති ව පවුලකට (රාජපක්‍ෂ) හා පුද්ගලයකුට (සිරිසේන) පහර ගැසීම සඳහා ඉදිරිපත් කළ එකක් වීමත් ඒ නිසා රට අවුලකට පත් වීමත්, රටේ ආරක්‍ෂාව බිඳ වැටීමත්, විශේෂයෙන් පාස්කු ප්‍රහාරයට පුද්ගලයන්ට වඩා දහනවය වගකිව යුතු වීමත් ආදී කරුණු නිසා. අද පාස්කු ප්‍රහාරයට එකිනෙකාට වරද පැටවෙනවා දකින්න පුළුවන්. එහෙත් එහි මූලික වරද දහනවයේ. අවශ්‍ය ම නම් දහනවය ඕනෑ වූ රනිල්ගෙ. 

ඒ වුණත් දහනවයෙ සාධනීය අංග තියෙනවා. අද ජාතික ව්‍යාපාරය ඉල්ලා සිටින්නේ ඒ සාධනීය අංග තබා ගන්න කියල. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ නීිතිපති දෙපාර්තමේන්තුවට තමාට ජනාධිපතිවරණයේ දී දහනවය අහෝසි කිරීමට ලැබුණු ජනවරම ඒ විධියට ම වගේ ක්‍රියාත්මක කරන්න කියා තිබෙන බවයි පැහැදිලි වෙන්නෙ. එහෙත් ජනාධිපති ධුර කාලය අවුරුදු පහකට සීමා කිරීම වගේ එකක් දෙකක් තියාගෙන. ජාතික ව්‍යාපාරය ඉල්ලා සිටින්නේ තවත් අංග කිහිපයක් තබා ගන්නා ලෙසයි. 

ජාතික ව්‍යාපාරය කියන්නෙ අනෙක් ව්‍යාපාර වගේ ම අසමජාතීය ව්‍යාපාරයක්. එහි විවිධ මතධාරීන් ඉන්නවා. ඒ සෑම මතයක් ම ඇතුළත් විය යුතු යැයි මා කියන්නේ නැහැ. මා දරණ සියළු මත ක්‍රියාත්මක කළ යුතු යැයි කීමට තරම්  මට ආබාධයක් නැහැ. මේ ආණ්ඩුව ගමන් කරන පැත්තක් තියෙනවා. මට ඕන කරන පැත්තට ආණ්ඩුවක් ක්‍රියාත්මක කරවන්න මා ජනාධිපති වුණත් බැහැ. පඬියකුට හැරෙන්න වෙනත් කිසිවකුට එවැනි අදහසක් එන්නෙත් නැහැ. 

විස්ස ඉක්මණින් ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුවට අවශ්‍ය බව පේනවා. දෙවැනි ගැසට්ටුවක් පළනොකරන්නේ ඒ නිසා කියල හිතන්න පුළුවන්. ඒත් ඒ කඩිමුඩිය ඇයි ද කියන එක නම් ප්‍රශ්නයක්. කඩිමුඩිය පාර්ලිමේන්තුව අවුරුද්දකින් විසුරුවා හැරීම සඳහා නම් වෙන්න බැහැ. ඇමති ධුර සංඛ්‍යාව වැඩි කර ගන්න වෙන්න පුළුවන් ද? ඇමති ධුර නම් තිහට වැඩි විය යුතු නැහැ. තිහත් වැඩි වගෙයි. සමහර විට දෙවැනි ගැසට්ටුවක් පළ කිරීම වැරදි පූර්වාදර්ශයක් වෙනවා කියා හිතනවා ද දන්නෙ නැහැ.    

ඒ කුමක් වුවත් ජාතික ව්‍යාපරය විසින් ඉදිරිපත් කෙරුණු අදහස් සැලකිල්ලට ගන්න ඕන. ජාතික ව්‍යාපාරයෙන් නියෝජනය වෙන්නෙ මෙරට ජාතිකත්වය, ජාතිකත්වයක් ඇති ජනතාව. ඒ ජනතාව තමයි සිංහල ජනතාවගේ ඡන්දවලින් පමණක් ජනාධිපති පත් කර ගන්න මුල් වුණෙ. ඔවුන්ට මේ ආණ්ඩුවට තුනෙන් දෙකක් දෙන්න බැරි වුණා. එසේ කරන්නත් ඉඩක් තිබුණෙ නැහැ. ආණ්ඩුවට තුනෙන් දෙක ලබා දුන්නෙ රනිල් හා සජිත්. දෙවියනි ඔබ මැව් ලොව පුදුමයි කියන්නෙ මේ වගේ අවස්ථාවල දී වෙන්න ඕන.   

පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවෙදි සංශෝධන එකතු කරන්න තමයි බලාපොරොත්තු වෙන්නෙ. එහෙත් මෙහි දී කිසිම අත්වැරදීමකට අතපසුවීමකට ඉඩ තියන්න බැහැ. දෙවැනිවර කියැවීමේ සිට ම පරෙස්සන් වෙන්න ඕන. ස්ථාවර නියෝග අනුව අවශ්‍ය යෝජනා අවශ්‍ය තැන නිසි පරිදි කෙරෙන්න ඕන.

නැත්නම් අවසානයේ දී වෙනත් දෙයක් නීතිගත වේවි. මා මෙය අවධාරණය කරන්නේ ඔය දහනවය ම පාර්ලිමේන්තුවේ සම්මත කරන විට කාරක සභා අවස්ථාවේ සම්මත වූ යෝජනාවලට වුණේ කුමක් දැයි කිසිවකු නොදන්නා නිසා. සභානායක දිනේෂ් ගුණවර්ධනට මෙහි දී විශේෂ කාර්යභාරයක් හිමි වෙනවා. ඒ ස්ථාවර නියෝග අනුගමනය කිරීම සම්බන්ධයෙන්.