Main Logo

Tuesday 29 September 2020

මැනල ද පුතේ කිරි (පොල්) දුන්නේ මා උඹට

 මැනල ද පුතේ කිරි (පොල්) දුන්නේ මා උඹට


අප ජීවත් වන්නේ දෙලොවක් අතර. මට දැන් හරියට මතක නැහැ දෙලොවක් අතර චිත්‍රපටියෙන් මොකක් ද කිවුවෙ කියල. එක අතකට එහෙම කියන එකත් වැරදියි. චිත්‍රපට මොනවට ද සමාජ විද්‍යාව තියෙන්නෙ සමාජ ප්‍රශ්න ගැන කතා කරන්න. සමාජ විද්‍යාවට කලින් නම් නවකතාවට තැනක් තිබුණ සමාජ විග්‍රහ හැටියට. සමාජ විද්‍යාව ආපු මුල් කාලෙ අහල තියෙන ප්‍රශ්නයක් තමයි නවකතා තියෙද්දි සමාජ විද්‍යාවක් මොකට ද කියල. දැන් නවකතාලින් කෙරෙන්න  ඕන කාර්යය මිලාන් කුන්දේරා තම ආර්ට් ඔෆ් ද නවල් කෘතියේ කියනවා. 

ඒත් මට හිතෙනවා කුන්දේරා වැරදියි කියල. නවකතාව තවමත් පැරණි ආකෘතියෙ ම තමයි. අනෙක් අතට සමාජ විද්‍යාවත් නවකතා තමයි. සමාජ විද්‍යාවෙ ලියැවෙන්නෙත් නවකතා. බටහිර විද්‍යාවෙත් කියන්නෙ කතන්දර. ඒකෙ දෙකක් නැහැ. අනේ සීයෙ අර අයින්ස්ටයින්ගෙ නැත්නම් බෝර්ගෙ කතන්දරේ කියල දෙන්නකො කියල මුණුබුරාල අහාවි. අද නම් ආචිචිල සීයල ඒ වගේ කතන්දර කියල දෙන්නෙ නැහැ. එ අය තාම පරණ සුරංගනා කතා කියනවා. බටහිර ශාස්ත්‍රීය විද්‍යා කතන්දර කියන්නෙත් සුරංගනා කතා තමයි. ඒ පන්නයේ සුරංගනා කතා කියල දෙන්න පාසල් විශ්වවිද්‍යාල කියල ජාතියක් හදාගෙන තියෙනවා. 

බටහිර භෞතික විද්‍යාවෙ කතන්දරයක් තියෙනව බහුවිශ්ව ගැන. තව තියෙනවා පණු හිල් ගැන. අර සාම පරෙවියො දන්නව නම් ඒ හිල් හොයා ගෙන යනවා. ඒ කතන්දරත් එක්ක බැලුව ම සුරංගනා කතා මොනවා ද? ගණනාථ සුදුසේකර කියන කතා මොනවා ද? සුරංගනා කතා දැන ගන්න බටහිර භෞතික විද්‍යාව ටිකක් හදාරන්න ඕන. 

මට ඕන දෙලොවක් අතර කතන්දරේ කියන්න මිස වෙනත් කයි කතන්දර කියන්න නො වෙයි. මට දැන් හිතට ආපු ප්‍රශ්නයක් තමයි අපේ සංස්කෘතියෙ කයි කතන්දර කියල ව්‍යවහාරයක් තියෙන්නෙ මොක ද කියල. ප්‍රශ්නයක් නම් කතන්දරයක් හදන්න. හදමු ද කතන්දරයක්. අපි මෙහෙම පටන් ගමු  ද? වෙන අය කතන්දර හදනවා අපි කයි කතන්දර හදනවා. මා වැඩ කළ එක විශ්වවිද්‍යාලයක අයකු හිටියා ඔහුට කිවුවෙ කයි සුදා කියල. ඔහු ආචාර්යවරයකු නො වෙයි. කයි කතන්දර ගැන ඊට වඩා බරපතළ විධියට හිතන්න ඕන. විශ්වවිද්‍යාලවල කරන්නෙ ම කතන්දර ගැන බරපතළ විධියට හිතන එක නොවෙයි. බරපතළ විධියට කියන එක. 

බටහිරයන් විශේෂයෙන් ම ඉංගිරිසින් කතන්දර කීමට හපන්නු. ඒ වගේ ම ඔවුන්ට හැම දෙයක් ම මනින්න ඕන. ඉංගිරිසින් ඇමරිකාවට (මහාද්වීපයට) ගිය අලුත එහි හිටි ස්වදේශිකයන්ට තිබුණු ප්‍රශ්නයක් ගැන කතන්දරයක් මා කියවල තියෙනවා. දෙයියන්නෙ නාමෙට මගෙන් මූලාශ්‍ර අහන්න එපා. ස්වදේශිකයන්ට ප්‍රශ්නයක් වුණාලු ඉංගිරරිසින් හැම එකකට ම හේතු හොයන්නෙ මොකද කියලත් හැම තිස්සෙ ම වෙලාව බලන්නෙ මොකද කියලත්. ස්වදේශිකයන් හේතු හොයල නැහැ. ඔවුන් හියුම් කියවල තිබුණ ද කියල අහන්න එපා. වෙලාව බැලිල්ලකුත් ඔවුන් අතර තිබිල නැහැ. ඉර පායනවා බහිනවා ඒ අතරෙ කෑම ටිකක් හොයා ගෙන කනවා. වෙලාව බලන්නෙ අහවල් දේකට ද හේතු හොයන්නෙ මොහොකට ද? 

කාලය කියන්නෙ මොකක් ද කියල මෙහෙම කියන්න බැහැ. මා පහුගිය දවසක කිවුව මගේ ආචාර්ය උපාධි පරීක්‍ෂකවරයා කාලය සම්බන්ධ විශේෂඥයෙක් කියල. ඔහුගෙ පොතකුත් තියෙනවා වට් ඉස් ටයිම් කියල. ඒ කාලෙ (කාලය) කාලය කියන්නෙ පඤ්ඤත්තියක් කියල මා දැන හිටියෙ නැහැ. කාලය පංචෙන්ද්‍රියට දැනෙන එකක් නො වෙයි. කාලය කියන්නෙත් එක්තරා විධියකට ගත්තොත් හේතුවක්. ඔය ගුරුත්වාකර්ෂණය වගේ ම පංචෙන්ද්‍රිය ගෝචර නොවන හේතුවක්. 

මනින එකයි හේතු හොයන එකයි බටහිර ලෝකයෙ කෙරෙන දේ. භාරතයෙත් හේතු හොයපු අය හිටිය. ඒ බමුණො. අපට තියෙන්නෙ හේතුඵල. අපේ සාමාන්‍ය ජීවිතයෙ නූලට මනින කතා තිබුණෙ නැහැ. අපි පොඩ්ඩකට එළියට ගිහිල්ල ආපු අය. පොඩ්ඩ පැය ද හමාර ද කියන එක ඒ ඒ අය අනුව තීරණය වෙන්නෙ. මහරගම අපේ ගේ ඉස්සරහ මිනිස්සු වාහනේ නවත්තල පොඩ්ඩකට යනවා රෙදි ගන්න. සමහර වෙලාවට ගමනක් යන විට අපට කවුරු හරි කියනවා තව වැඩි දුරක් නැහැ කියල. අපි අහන්නෙ නැහැ ඒකකය මොකක් ද කියල. ඇහුවත් වැඩක් නැහැ. එක එක අය කිලෝ මීටරය කියන්නෙ එක් එක් දුරවලට. 

මිනුමත් එක්කරා විධියකට ඊනියා වාස්තවිකත්වය සඳහා තනා ගත්ත දෙයක්. මගේ කිලෝමීටරය තව කෙනකුගෙ කිලෝමීටරයෙන් වෙනස් වෙන්න බැහැ. අපටත් මිනුම් තිබුණ. ගවුව, යොදුන වගේ ඒත් ඒව හරියට ම දන්න කෙනෙක් නැහැ. භාරතයෙ තත්වය වෙනස්. අපි පෑතෑටියෙන වෙලාව බැලුව. ඒත් හැමෝගෙම පෑතෑටි එක ම වුණේ නැහැ. අප බොරුපන වෙදමහත්තයාගෙන් බෙහෙත් ගන්න කාලෙ මා පණ්ඩිත (ඒ කාලෙ මගේ පඬිකම ටිකක් තිබුණ)  කමට ඇහුව පත අට එකට හින්දන කොට පත කියන්නෙ මොකක් ද කියල. මහත්තයා වතුර බොන කෝප්පෙ තමයි මහත්තයට මිම්ම. එච්චර තමයි.  කතාව එතැනින් ඉවරයි. 

පොල් වෙළෙන්දන් කලින් පොල් ගොඩවල්වලට ගැහුව. ඒ ලොකු පොඩි ආදී වශයෙන්. මා හිතන්නෙ නැහැ ඔවුන් කිසි දා වට ප්‍රමාණය මැනල හරි බර කිරල හරි ඒක කළා කියලා. මනින්නෙ නැතිව ගොඩවල් ගහන්න ඒ මිනිසුන්ට පුළුවන්. ඒත් බටහිර ක්‍රමයට ඉගෙන ගත්ත අයට බැහැ. ඔවුන්ට මනින්න ඕන. ඒ කියල ඔවුන්ට ඉංගිරිසින් වගේ ම වැඩ කරන්නත් බැහැ. චක්‍රලේඛයක් නිකුත් කරන්න කියන්න ඇද කුද නැතුව.  අද උගතුන් ජීවත් වන්නෙ දෙලොවක් අතර. එක ලොවකටවත් හරියට නැහැ. 

මට මතක් වෙන්නෙ මැනල ද පුතේ කිරි දුන්නේ මම උඹට කතාව. නූගත් මව කිරි දුන්නෙ මැනල නොවෙයි. උගත් පුතා වී දුන්නෙ මැනලා. ඒක එහෙම බලන්නත් පුළුවන්. සමහර නූතන (මොඩ්) අම්මලත් ගානට පිටි මැනල වතුර මැනල කිරි දෙනවා. දරුවො මොනව මනියි ද? බැංකු ගිණු ම ද?