Main Logo

Sunday 6 September 2020

ආණ්ඩුව වැට්ටවීමට අවශ්‍ය කාටද?

සිංහල ලිත් ඉලක්කම්

                        

0  1    2     3      4    5   6   7    8    9



ආණ්ඩුව වැට්ටවීමට අවශ්‍ය කාටද? 


2010 මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව වැට්ටූ අය මේ ආණ්ඩුව ද වැට්ටවීමට කටයුතු කරන බවක් පේනව. ඔවුන් එසේ කරන්නේ වුවමනාවෙන් ම ආණ්ඩුව ගෙදර යැවීමට නොවූවත් ඔවුන්ගේ ක්‍රියා මාර්ග ඒ සඳහා තුඩු දෙනවා. ඔවුන්ට කිසිම ජාතිකත්වයක් නැහැ. ඔවුන්ට ඇත්තේ බලයේ සිටීමේ සහ අනාගතයේ දී තම පෞද්ගලික බලය තවත් වැඩි කර ගැනීමේ අපේක්‍ෂාව පමණයි. ඔවුනුත් පසුගිය මැතිවරණයෙන් තුනෙන් දෙකක බලයක් බලාපොරොත්තු වුණේ නැහැ. ඔවුන් බලා සිටියේ දෙමළ ජාතිවාදීන් මුස්ලිම් අන්තවාදීන් සහ සජිත් පිළේ කිහිප දෙනකුත් එකතු කරගෙන තුනෙන් දෙක ලබා ගන්න. 

එහෙත් එ ජා ප ආරවුල නිසා එහි හිතවතුන් විශාල පිරිසක් ඡන්දපොළට නොගිය නිසා ජේ ආර් නොසිතූ අයුරින් මේ ආණ්ඩුවට තුනෙන් දෙකේ බලයක් ලැබුණා. දැන් අර පිරිස කරන්නේ කළ දුටු කල වළ ඉහ ගැනීමක්. විසිවැනි සංශෝධනයට විරෝධතා මතුවෙලා. මා හිතන්නේ ජාතිකවාදීන්ගෙන් ඉතා වැඩි පිරිස එහි ද්විත්ව රටවැසි බාධකය ඉවත් කිරීමට විරුද්ධයි. එපමණක් නොවෙයි බොහෝ දෙනකුට අවශ්‍යයයි ඒ බාධකය පරිපාලන සේවයේ අයට, විදේශ සේවයේ අයට, අමාත්‍යාංශ ලේකම්වරුන්ට, රාජ්‍ය අමාත්‍යංශ ලේකම්වරුන්ට, දේශපාලන පසුබිමක් ඇති තානාපතිවරුන්ට, විශේෂ කාර්ය සාධක බලකාවල සාමාජිකයන්ට ආදීන්ට දීර්ඝ කරන්න. 

තමන් ගැන මහා ඉහළින් හිතන එක් පඬි නැට්ටකු අසා තිබුණා එවැනි දීර්ඝ කිරීමක් කිරීමට ඊනියා ආනුභවික (empirical) සාධක තියෙනවා ද කියා. මා එවැනි සාධක එතරම් ගණන් ගන්නේ නැහැ. ඒ සාධකත් අවසාන වශයෙන් ප්‍රවාද (කතන්දර) හා සංකල්ප මත රැඳෙනවා. අප මේ දීර්ඝ කිරීම අපේක්‍ෂා කරන්නේ එවැනි තනතුරු දරන්නන්ට අදාළ දෙවැනි රටෙන් බලපෑම් ඇති කිරීමට ඉඩ තියෙන නිසා. අපට අවශ්‍ය එවැනි ඉඩ වහලා දාන්න. කසිකබල් විශ්වවිද්‍යාල ආචාර්යවරයකු මෙහේ ඇවිත් ඒ රටට අවශ්‍ය යමක් උගන්නලා ගියාට ප්‍රශ්නයක් නැහැ. දැනුත් මෙහේ ඉන්න විශ්වවිද්‍යාල ගුරුවරුන් කරන්නෙ බටහිර රටවලට අවශ්‍ය දේ ඉගැන්වීම පමණයි. අඩුම තරමෙන් ඔවුන් ඒ බටහිර දැනුමට කේන්ද්‍රීය කිසිවක් එකතු කරන්නේ නැහැ. ඔය ආචාර්ය උපාධි නිබන්ධනවලින් එවැන්නක් එකතු වන්නේ නැහැ. 

ආණ්ඩුව පහුගිය දවස්වල කළ ඇතැම් පත්වීම් හා ක්‍රියා නිසා ජනතාවගේ යම් අප්‍රසාදයක් ඇති වෙලා. අර පිරිස 2010-15 දි කෙළෙත් අද කරන්නෙත් ඒ අප්‍රසාදය ඇතිකිරීම හා වැඩිකිරීම. එකී පිරිසට අමතර ව අද ආණ්ඩුවේ විවිධ උපදේශකයන් ඉන්නවා. මේ උපදේශකයන් ජනහද අඳුරන අය නොවෙයි. ඔවුන්ට සමාජයේ නාඩි වැටෙන හැටි අහුවෙන්නෙ නැහැ. ඔවුන් ජන සමාජයේ නාඩි වැටෙන හැටි බටහිර වෙද නළාවෙන් බලන්න හදනවා. 

මා කතා කරන්නේ වියත්මග හරි එළිය හරි ගැන නොවෙයි. ඒ සංවිධාන අද ක්‍රියාත්මක නැහැ. එහෙත් පුද්ගලයන් කිහිප දෙනකු ක්‍රියාත්මක වෙනවා. ඔවුන් හා අර වට්ටන පිරිස එකතු වී (ඔවුන් සංවිධානාත්මක ව එකතු වී නැති වෙන්න පුළුවන්) ජනාධිපතිතුමාට වැරදි උපදෙස් දෙන බවක් පේනවා. මෙය භයානක තත්වයක්. මේ අයට ඇති ජාතිකත්වයක් නැති බව දෙන්නේ යැයි සැලකිය හැකි උපසේවලින් පැහැදිලියි. 

දහනවය මුළුමනින් ම මෙන් අහෝසි කරන විසිවැනි සංශෝධනය කෙසේ හෝ ඉක්මණින් සම්මත කර ගැනීමේ වුවමනාවක් සමහරුන්ට ඇති බව පැහැදිලියි. ඒ වුවමනාව දහතුන සම්බන්ධයෙන් නැහැ. එහි දී එංගලන්තයේ හා ඉන්දියාවේ බලපෑම ගැන අප නොදන්නවා නොවෙයි. ඒ දෙරට අපට සුහද ව කටයුතු කර නැහැ. 

ජනාධිපතිතුමා පසුගිය දා කළ කතාවකින් පැහැදිලි කළා සෞඛ්‍ය සේවය පළාත්සභාවලට සම්පූර්ණයෙන් පවරා තිබුණි නම් ඇතිවිය හැකි ව තිබූ තත්වය. බැරිවෙලාවත් පොලිස් බලතල ක්‍රියාත්මක වුණා නම් අර ස්පර්ශ වූවන් හඹා යෑම සාර්ථක වීමට තිබුණි ද? කොවිඩ් 19 තවම ඉවර නැහැ. අප පරෙස්සම් වෙන්න ඕන. මියන්මාරයේත් කොවිඩ් පැතිරෙනවා. හඹා යෑමේ ක්‍රියාදාමය ගැන මා මියන්මාරයේ විදේශ ඇමතිතුමාට පැවසුවා. 

උතුරු පළාත් සභාව ක්‍රියාත්මක වුණා නම් ඉන්දියාවේ ඉන්න ඊනියා සරණාගතයන්ට වෛද්‍ය පහසුකම් සැපයීමට ඔවුන් ගෙන්වීමට ඉඩ තිබුණා. වරක් සම්බන්ධන් ඒ ගැන ප්‍රසිද්ධ ප්‍රකාශයක් ද කර තිබුණා. විග්නේෂ්වරන් මහා ඇමති ව සිටියා නම් සම්බන්ධන් පරදවන දෙයක් කිරීමට ඉඩ තිබුණා. පළාත් සභා අහෝසි කරන්න ඕන. එයට අද විරුද්ධ පළාබබාලා කිහිප දෙනකු. ඔවුන්ට ඇත්තේ රැකියා ප්‍රශ්නයක්. පාර්ලිමේන්තුවට යෑමට උනන්දුවක් ඇති වන්නේත් ඉපයීම සඳහායි. නැහැ ජනතා ප්‍රසාදය උපයන්න නො වෙයි. සරත් වීරසේකරට විරුද්ධ වෙන ඒ පළාබබාලා ඔහුගේ පයට පෑගෙන දූවිලි තරම්වත් වටින්නේ නැහැ.

විස්ස කෙසේ හෝ සම්මත කර ගැනීමට විරුද්ධ අය විශේෂයෙන් ම අර ද්විත්ව රටවැසි බාධකය ඉවත් කරනවා ට විරුද්ධයි. අද ජනමතයක් ඇති වෙලා ඒ වගන්තියට විරුද්ධ වන්නට. මන්ත්‍රීවරුන් කිහිප දෙනකු ජනමතයට හිස නමා විස්සට ඡන්දය දීමෙන් වැළකී සිටියොත් තුනෙන් දෙක නැති වෙනවා. යමකු හිතනවා නම් මනෝ ගනේෂන් දිගම්බරන් වැන්නන්ගේ ඡන්දයෙන් ඒ අඩුපාඩුව පිරිමහා ගන්න ඉන් සිදු වන්නේ ආණ්ඩුවේ වැටීමේ ආරම්භය බව පමණක් සිහියට ගෙන වැඩ කරනවා නම් හොඳයි. ආණ්ඩුවේ වැටීමක් අප කිසිසේත් අපේක්‍ෂා කරන්නේ නැහැ. එහෙත් ඒ අපේක්‍ෂාවට විරුද්ධ ව වැඩ කරන අය ආණ්ඩුවේ ඉන්නවා.