Main Logo

Saturday 5 September 2020

ද්විත්ව රටවැසියන්, දෙපැත්තට ම අප්පුඩි ගැසීම හා ඩීල්

 සිංහල ලිත් ඉලක්කම්

                        

0  1    2     3      4    5   6   7    8    9




ද්විත්ව රටවැසියන්, දෙපැත්තට ම අප්පුඩි ගැසීම හා ඩීල්


ද්විත්ව රටවැසි ප්‍රශ්න (ප්‍රශ්නය නොවෙයි) එක් එක් අය එක් එක් විධියට සංස්කරණය කර ගෙන. එක් පඬියකුගේ ප්‍රශ්නය ඔය පිටරට ඉන්න දක්‍ෂ යැයි කියන අයගේ සේවය ලබා ගන්නේ කෙසේ ද යන්න. මා සිකුරාදා ලිපියේ මෙසේ සඳහන් කළා. "ද්විත්ව රටවැසියන් සමහර දෙනකුට විශේෂ දක්‍ෂතා ඇති බව සැබැයි. පඬි නැට්ටන්ට නොතේරුණාට මට අවශ්‍ය ඔවුන්ගේ සේවය රටට අහිමි කිරීම නො වෙයි. ද්විත්ව රටවැසියන්ට රටවල් දෙකකට පක්‍ෂපාති වීමට සිදුවෙනවා. අනෙක් රට ඔවුන්ට යම් බලපෑමක් කළොත් එයට මුහුණ දෙන්නේ කෙසේ ද යන්නයි ප්‍රශ්නය."

මා කියා ඇති කාරණය පඬි නැට්ටාට තේරිලා නැහැ. මා  කියන්නේ මට අවශ්‍ය ද්විත්ව රටවැසියන්ගේ සේවය රටට අහිමි කිරීම නොවන බවයි. පඬි නැට්ටා කියන්නේ ද්විත්ව රටවැසියන්ගේ සේවය ලබාගත යුතු ය කියන එක. ඒ දෙක දෙකක්. නොම (නොම) A = A වන්නේ ද්විකෝටික න්‍යායෙහි. සිංහලයන් හා බොහෝ විට ජාතිකවාදීන් ද ද්විකෝටිකයන් වීම ගැන මට කරන්න දෙයක් නැහැ.  

මා අහවලා අහවලා යනුවෙන් ප්‍රතිපත්ති හදන්නේ නැහැ. දහනවවැනි සංශෝධනයේ තිබුණු එක සාධනීය වගන්තියක් වූයේ ඔය ද්විත්ව රටවැසියන්ට පෑන වූ තහංචියයි. එය තවත් ශක්තිමත් කරන්න ඕන. ජනාධිපති මන්ත්‍රීවරු පමණක් නොවෙයි පරිපාලන සේවයේ නිලධාරීන් විදේශ සේවයේ නිලධාරීන් දේශපාලන පසුබිමක් මත පත්කෙරෙන තානාපතිවරුන් හා විශේෂ කාර්ය සාධක හමුදාවල තනතුරු දරන්නන් වැනි අයටත් ඒ තහංචිය තියෙන්න ඕන. අපට සහතික වෙන්න බැහැ අනෙක් රට කිසිම අවස්ථාවක කිසිම බලපෑමක් නොකරාවි කියා. මෙතෙක් කිසිවකුට එවැනි බලපෑමක් කෙරී නැත යන්නෙන් කියැවෙන්නේ නැහැ ඉදිරියේදීත් බලපෑමක් නොකෙරෙන බවක්. 

මා මේ තහංචිය ඉදිරිපත් කරන්නේ අහවලා සහ අහවලා රටට සේවය කිරීම වැළැක්වීමට නොවෙයි. මෙහි කිසිම පෞද්ගලික කතාවක් නැහැ. සැමට ම සාධාරණ (පොදු යන අර්ථයෙන්) ප්‍රතිපත්තියක් ගැනයි මා කතා කරන්නේ. අද ලෝකය ප්‍රධාන වශයෙන් රටවල් දෙකක බලපෑමට හසුවෙලා. ඒ එක්සත් රාජ්‍ය හා චීනය වශයෙන්. කලාපීය වශයෙන් අපට ඉන්දියාවේ බලපෑමත් තියෙනවා. ඒ අතර අපේ සමහරුන්ගේ මව් රට වූ එංගලන්තයත් තියෙනවා. 

මා කුඩා කල දැක තියෙනවා ලංකාව හා එම්සීසී (එංගලන්තය) අතර එක්දින ක්‍රිකට් තරග පැවැත්වෙන විට තම මෝටර් රථයේ එංගලන්තයේ හා ලංකාවේ කොඩි එල්ලා ගෙන ගිය අය. ක්‍රිකට් තරගයක දී දෙපැත්තට ම අප්පුඩි ගහන්න පුළුවන් කියමු. ඒත් රාජ්‍ය පාලනයේ දී විදේශ සම්බන්ධතාවල දී දෙපැත්තට ම අප්පුඩි ගහන්න බැහැ. අඩුම තරමින් ඉහත රටවල් හතරෙන් එකක ද්විත්ව රටවැසිකමක් ඇති අයකු මා සඳහන් කළ තනතුරුවලට පත් කිරීම ප්‍රශ්නයක්. එහෙත් අපට නීති සකස් කිරීමේ දී අර රට මේ රට කියා කියන්න බැහැ. එබැවින් ඕනෑම රටක ද්විත්ව රටවැසියකු සඳහා තහංචි පමුණුවන්න වෙනවා. 

ආණ්ඩුව මේ ගැන තවත් කල්පනා කරන්න ඕන. මට තේරෙන විධියට රටේ සාමාන්‍ය අයකු සිතන්නේ ඊනියා බුද්ධිමතුන් හිතන විධියට නො වෙයි. යම් රටක් සමග සම්බන්ධකම් තියෙන එක රාජ්‍ය පාලනයේ දී විදේශ කටයුතුවල දී යහපත් බව ඇතැම් බුද්ධිමතුන් යැයි කියන්නවුන් හිතනවා වෙන්න පුළුවන්. ඒත් මා වැනි සාමාන්‍ය පුද්ගලයකුට පෙනෙන්නේ එසේ නොවෙයි. එවැනි සම්බන්ධකම් තිබීම රටට අවාසියක් ලෙසයි පෙනෙන්නේ. 

ආණ්ඩුවට විස්ස සම්මත කර ගැනීමට තුනෙන් දෙකක් අවශ්‍යයි. අද මන්ත්‍රීවරුන් 151ක් හිටියාට ඒ සියල්ලන් ම කොන්දේසි විරහිත ව විස්සට පක්‍ෂව ඡන්දය දේවි කියා හිතන්න බැහැ. යම් පිරිසක් විරුද්ධ නොවී එහෙත් ඡන්දය දීමෙන් වැළකී සිටියොත් තුනෙන් දෙක ලැබෙන්නේ නැහැ. ඒ මදිපාඩුව සමගි ජන බලවේගයේ හෝ වෙනත් පක්‍ෂයක හෝ මන්ත්‍රීවරුන්ගෙන් පිරිමසා ගැනීමේ ගණුදෙනු (ඩීල්) දේශපාලනයක් යමකු කල්පනා කරනවා නම් එය ආණ්ඩුවට හිතකර වෙන්නේ නැහැ. 

අපට මේ ආණ්ඩුව අවශ්‍යයි. ඒ මේ ආණ්ඩුව සිංහල බෞද්ධ රාජ්‍යයක් පිහිටුවන නිසා නො වෙයි. ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති වීමටත් පෙර මා එසේ නොවන බව කියා තියෙනවා. ඒත් මේ ආණ්ඩුව වැටුණොත් මේ කපේ දී සිංහල බෞද්ධ රාජ්‍යයක් පිහිටුවන්න බැරි බව අප දන්නවා. අද වම්මුන් කිසිම විකල්පයක් නැතිව දෙඩුම් ශිල්පීන් බව පත් වී ඉන්නවා. ලංකාවේ පමණක් නොව බටහිරත් එසේමයි. ලංකාවේ නම්  දෙඩුම් ශිල්පීන්ගේ ගෙවුම් ශේෂය වරදක් නැහැ. වම්මුන්ට මෙන් නොව අපට අරමුණක් තියෙනවා. මේ ආණ්ඩුව වැටෙනවා දකින්න අපි කැමති නැහැ. ඒ මගේ තානාපතිකම නැතිවෙන නිසා යැයි පඬි නැට්ටකු කියන්න ඉඩ තියෙනවා. ඒකට කමක් නැහැ. 

ඔය කියන දක්‍ෂයන්ට රටට සේවය කිරීමට අවශ්‍ය නම් තහංචි පැනෙව්වත් ප්‍රශ්නයක් වන එකක් නැහැ. ඔවුන්ට ද්විත්ව රටවැසිකම අහෝසි කර ගන්න පුළුවන්. එසේ නොකරන්නේ නම් පුද්ගලයා කෙතරම් හොඳ යැයි කිව්වත් ප්‍රශ්නයක් තියෙනවා. අදාළ තනතුරුවල රැඳී සිටිමින් රටට සේවය කිරීමට කැමති පුද්ගලයන්ගෙන් ද්විත්ව රටවැසිකම ඉවත් කර ගන්න කරන ඉල්ලීම අසාධාරණ වන්නේ නැහැ.