Main Logo

Saturday 2 October 2021

ඉංගිරිසි සපත්තුව හා සිංහල බෞද්ධ රාජ්‍යයේ ව්‍යවසායකයෝ

 

ඉංගිරිසි සපත්තුව හා සිංහල බෞද්ධ රාජ්‍යයේ ව්‍යවසායකයෝ

 

ලෝකයේ කිසි දා නොතිබූ කිසි දා ඇති නොවන සමාජවාදී රාජ්‍යයක් පිළිබඳ දවල් සිහින දකින පඬි නැට්ටන් සමහරකුට ඊයේ (ඔක් 01) ලිපිය තේරිලා තියෙන්නෙ වැරදි විධියකට. තවත් පඬි නැට්ටන් කිහිප දෙනකුට එය තේරිලා ම නැහැ. තම තම නැණ පමණින් දැන ගත යුතු කියල ලෝවැඩ සඟරා කතුවරයා සඳහන් කරල තියෙනචා. ලෝවැඩ සඟරාව පරිවර්තනයක් ද නැද්ද යන්න මෙහි දී ප්‍රශ්නයක් වන්නේ නැහැ. මේ පඬි නැට්ටන් කී දෙනකු සමාජවාදී රාජ්‍යය හා කම්කරු පංති ආඥාදායකත්වය (dictatorship of the proletariat) අතර වෙනස හරි කොමියුනිස්ට් සමාජයක් අතර ඇති වෙනස දන්නවා ද කියා දන්නේ නැහැ. ප්‍රොලිටේරියට් කියන වචනය සිංහලෙන් යෙදෙන්නේ කම්කරු පංතිය කියායි. විජේවීර තම නොදැනුවත්කම මොනවට ප්‍රදර්ශනය කරමින් එයට කිවුවෙ නිර්ධන පංතිය කියායි. ඇතැම් ට්‍රොට්ස්කිවාදීන් ජ වි පෙ නායකයගෙන් ඇහුවෙ නිර්ධන පංතියට හිඟන්නන් ද අයිති වෙනවා ද කියල.

 

සමහරවිට විජේවීරට හිතෙන්න ඇති නැති කම්කරු පංතියක් ගැන කතා කරනවාට වඩා ඇහැට කණට පේන නිර්ධනයන් ගැන කතා කරන එක හොඳයි කියල. විජේවීරගෙ අඳ බාල ගෝලයන්ටත් නිර්ධනයන් පේන්න හිටියා නොවැ. ධනයක් නැති තරුණ තරුණියන් නිර්ධන පංති ආඥාදායකත්වය පිහිටුවන්න ගිහින් ජීවිත නැති කර ගන්නත් ඇති. අඩු තරමෙන් ඒ ජීවිත නැති කර ගත් අය යම් පිරිසකට සහ සුදත් බණ්ඩාර වැනි කිහිප දෙනකුට අවංකකමක් තිබුණා. එහෙත් අද ඉන්න ජ වි පෙ නායකයන් ගැන කියන්න පුළුවන් මොකක් ද?   

 

ඊයේ ලිපිය තේරුම් ගන්න බැරි වූ නැත්නම් වැරදියට තේරුම් ගත් අය සිංහල බෞද්ධ සම්ප්‍රදාය නොදත් අය. ඒ අතර අබෞද්ධයන් ද හිටියා. අනෙක් අයත් කියාවි අපිට ආගමක් නැහැ කියලා. ඒ කොහොම වෙතත් ඔවුන් ධර්ම දේශනයකට ඇහුම්කන්  දීල සිංහල බෞද්ධ සම්ප්‍රදාය ඉගෙන ගන්නවා නම් හොඳයි. ඔවුන් කියන්න බැරි නැහැ හාමුදුරුවො වචන ගොඩක් කිවුව විතරයි කියලා. ඔවුන්ට තියෙන ප්‍රශ්නය ම සිංහල බෞද්ධ රාජ්‍යය හා සිංහල බෞද්ධ සම්ප්‍රදාය නොදත්කමයි. එහෙත් එයින් කියන්නෙ නැහැ ඔවුන් බටහිර ක්‍රිස්තියානි නූතනත්වය දන්නවා කියාවත් ඔවුන් අදාළ චින්තනය මත පදනම් වෙනව කියලවත්.

 

මා ඊයේ ලිපියෙන් තරමක අලුත් අදහසක් ඉදිරිපත් කළා. එහි කොළඹ වරායේ බටහිර පර්යන්තය ගැන අදානි සමාගමත් එක්ක ගිවිසුමකට එළඹීම යුක්තියුක්ත කෙළේ නැහැ. මා කතා කෙළේ විවිධ ආණ්ඩුවලට පිටරට සමාගම් සමග එවැනි ගිවිසුම්වලට එළඹීමට සිදු වී ඇත්තේ ඇයි ද යන්නයි. එවැනි ගිවිසුම්වලට එළඹීම නොකටයුත්තක් ලෙසයි මා දකින්නේ. එහෙත් ආණ්ඩුවලට සිදු වෙනවා විවිධ කොන්දේසි යටතේ එවැනි ගිවිසුම්වලට එළඹීමට. අපට කළ හැක්කේ ඒ ඒ කොන්දේසිවලට විරුද්ධ වී එක්කෝ ගිවිසුම අහෝසි කරවීම නැත්නම් රටට වැඩදායක වන ලෙස ගිවිසුම සංශෝධනය කරවීම.

 

අපට විදේශීය සමාගම් සමග ගිවිසුම්වලට එළඹීමට සිදු ව ඇත්තේ අප සොයනා ඊනියා දියුණුව ළඟා කර ගැනීමටයි. ඒ දියුණුව සඳහා විශාල ආයෝජන සහිත ව්‍යාපෘති අවශ්‍යයි. ප්‍රශ්නය වන්නේ මෙරට එවැනි ආයෝජනයක් කළ හැකි ව්‍යවසායකයන් ඉන්නේ ද යන්නයි. ඉතා පැහැදිලි පිළිතුර නැත යන්නයි. මා පෙන්නුම් කෙළේ එවැනි ආයෝජන කළ හැකි අය නැතිවාක් මෙන් ම ඊනියා ජාත්‍යන්තර තලයේ ශාස්ත්‍රිය වශයෙන් දස්කම් දැක්විය හැකි උගතුන් බුද්ධිමතුන් ද මෙරට නැති බවයි. හෙට අනිද්දා නොබෙල් ත්‍යාගයක් දිනාගත හැකි අයකු මෙරට නැහැ. අප අතර ඇත්තේ නිවේදකයන් පමණයි. ඉන් අදහස් වන්නේ බටහිර මතවාද තමන්ට වැටහෙන ආකාරයකට ඉංගිරිසි නොකියවන ජනතාවට සංනිවේදනය කරන්නන් අප අතර සිටින බවයි. විජේවීර අර ප්‍රොලිටේරියට් කියන වචනය නිර්ධනය පංතිය බවට පත්කෙළේ තමන්ට තේරෙන විධියටයි.

 

ඊළඟ ප්‍රශ්නය අපට එවැන්නන් නැත්තේ ඇයි ද යන්නයි. ශාස්ත්‍රීය වශයෙන් දස්කම් දක්වන්නන් නැතිවීම නම් පස්වැනි සියවසෙන් පමණ පසු සිංහල බෞද්ධ සංස්කෘතික ලක්‍ෂණයක්. ඒ ආන්ද්‍ර බුද්ධාගම තුන්වැනි පස්වැනි සියවස් කාලයෙහි  මෙරට තහවුරු වීම සමග ඇති වූවක්. මියන්මාහි ඇත්තේත් ඒ කාලයේ එරටට ගෙන ගිය ආන්ද්‍ර බුද්ධාගමක්.  එය විස්තරාත්මක ව පසුව සාකච්ඡා කරන්න ඕන.

 

මා ඊයේ කතා කෙළේ මෙරට විශාල ආයෝජන කළ හැකි ව්‍යවසායකයන් නැත්තේ ඇයි ද යන්නයි. බටහිර රටවල පමණක් නොව ඉන්දියාවේ ද බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ  ඉහළ ආයෝජන කළ හැකි ව්‍යවසායකයන් බිහි වී ඇත්තේ රාජ්‍ය අනුග්‍රහයෙන්. ඉංගිරිසි ඉතිහාසය කියවන විට එය පැහැදිලි වෙනවා. ඊනියා ධනපති විප්ලවය යනු අනෙකක් නොව එවැනි ව්‍යවසායකයන් හා රාජ්‍යය   අතර ඇති වූ අවබෝධයක ප්‍රතිඵලයක්. කලින් තිබූ රදළයන් හා පූජකයන් රාජ්‍යය සමග ඇති කර ගෙන තිබූ එකඟතාව ඒ සමග අහෝසි වුණා. එහෙත් එංගලන්තය එහි සංකේත තබා ගත්තා. එලිසබෙත් වින්ඩ්සර් හා සාමි මන්ත්‍රණ මණ්ඩලය ඒ සඳහා උදාහරණ.

 

අපට බටහිර ක්‍රිස්තියානි නූතනත්වය ලැබුණේ බටහිරයන්ගෙන්, ප්‍රධාන වශයෙන් ම ඉංගිරිසින්ගෙන්. එහෙත් අප ඒ අනුකරණය කළා පමණයි. මෙරට විශ්වවිද්‍යාල හා එහි ඇදුරන් එයට උදාහරණයි. KFC, WHO, IFM නැතුව අපට බැහැ. අප ව්‍යවසායකයන් ගැන කතා කෙළේ අහවලා අහවල් ඉංගිරිසි සමාගම අයිති කරගෙන. එය  පළමු ලාංකික නයිට්වරයා, පළමු ලාංකික සිවිල් සේවකයා, පළමු ලාංකික ශ්‍රෙෂ්ඨාධිකරණ විනිසුරු වීම ආදියෙන් වෙනස් වන්නේ නැහැ. ඉංගිරිසි කියමනක් අනුව ම කියන්නේ නම් අප කෙළේ ඉංගිරිසින්ගේ සපත්තුවල කකුල් ඔබා ගැනීමයි. අපේ දේශපාලනඥයන් ද කෙළේ ඒ ටිකමයි. එහෙත් අප ඒ සියල්ල කෙළේ අනුකාරික ව. කකුල් කපා ගෙන.

 

මෙරට දේශපාලනඥයන්ට ව්‍යවසායකයන් හා තමන් අතර ඇති සම්බන්ධය තේරුම් ගැනීමට නොහැකි වුණා. ඔවුන් ව්‍යවසායකයන්ට පූර්ණ අනුග්‍රහයක් දැක්වූයේ නැහැ. ඔවුන්ට විශාල ආයෝජකයන් හසුරුවා ගන්නේ කෙසේ දැයි දැන ගැනීමට නොහැකි වුණා. ඒ නිසා ඔවුන් ව්‍යවසායකයන් එක මට්ටමක රඳවා ගත්තා. අද හාල් මෝලුන් හා ආණ්ඩුව අතර ඇත්තේත් මේ කළමනාකරණය නොදත් බැවින් ඇති වන අසහනයක්. ඒ අතර අනුකාරක සමාජවාදී අදහස් ද ව්‍යවසායකයන්ට විරුද්ධ ව ක්‍රියාත්මක වුණා. ධනවාදය සමාජවාදය වැනි පුස් කෑ සංකල්ප මගින් ලෝකය දකින (සංස්කරණය කරන) පඬි නැට්ටන්ට මා කියන දේ තේරුම් ගන්න බැරි බවත් මා දන්නවා.

 

අපට අද විදේශීය සමාගම් පසුපස යෑමට සිදු වී ඇත්තේ අපේ ශක්තිමත් ව්‍යවසායකයන් නැති නිසා. අප සොයනා ඊනියා දියුණුව සඳහා විශාල ආයෝජන අවශ්‍යයයි.  එහෙත් අපට ඇත්තේ පහළ මට්ටමේ ව්‍යවසායකයන් පමණයි. සිංහල බෞද්ධ රාජ්‍යයක ශක්තිමත් ව්‍යවසායකයන්ට ඉඩ තියෙනවා. එහි දියුණුව යන්නට වෙන ම අර්ථකථනයක් තියෙනවා. එහෙත් ශක්තිමත් ව්‍යවසායකයන් සිංහල බෞද්ධ රාජ්‍යයේ ඉන්න පුළුවන්. බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවක උපාසක උපාසිකාවන් හිඟන්නන් හිඟන්නියන් වුණේ නැහැ. බිම්බිසාර, අනේපිඬු සිටාණන්, විසාකා උපාසිකාව ආදීන් හිඟන්නන් නො වෙයි. එහෙත් බුදුහාමුදුරුවන් සෝපාකලාටත් පිහිට වුණා. බිම්බිසාර වෙනුවට සෝපාක රජ කරන්න ගියේ නැහැ.

 

අප මෙරට කලින් තිබූ සිංහල බෞද්ධ රාජ්‍යය නැවත ඇති කිරීම සඳහා කටයුතු කරනවා. ඒ සඳහා මතවාද සකස් කරනවා. එහෙත් එය අවුරුදු පහකින් දහයකින් කරන්න පුළුවන් දෙයක් නො වෙයි. අපේ අරමුණ ගැන නොදත් එක් නිවේදිකාවක් කියා තිබුණා අප රාජපක්‍ෂ පවුලෙන් සිංහල බෞද්ධ රාජ්‍යයක් බලාපොරොත්තු වෙනවා කියා. අප සැමදාමත් කී කරුණක් තමයි ගෝඨාභය රාජපක්‍ෂගෙන් සිංහල බෞද්ධ රාජ්‍යයක් බලාපොරොත්තු නොවන බව. අඩු තරමෙන් මේ පාර්ලිමේන්තුවෙන් ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමක්වත් අප බලාපොරොත්තු වන්නේ නැහැ. එකී නිවේදිකාව තවදුරටත් කියා තිබුණා අපේ මීළඟ ජනාධිපති අපේක්‍ෂකයා නාමල් රාජපක්‍ෂ කියා. ඒ නම් අපේ තුන්හිතකවත් ඇති දෙයක් නොවෙයි.