Main Logo

Tuesday 26 October 2021

සලේ නො සැලේ

 

සලේ නො සැලේ


කතෝලික සභාව පාස්කු ප්‍රහාරය ගැන උනන්දුවක් දැක්වීම තේරුම් ගන්න පුළුවන්. පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය අයගෙන් අති විශාල බහුතරය කතෝලිකයන්.  මගේ දැනුම අනුව එක් පල්ලියක් හැරෙන්න විනාශ වූ අනෙක් පල්ලි කතෝලික. පාස්කු ප්‍රහාරයට වග කිව යුත්තන් කවුදැයි දැන ගැනීමට හා ඔවුන්ට දඬුවම් කිරීමට කතෝලික සභාවට අවශ්‍ය වන්නේ නම් ඒ ගැන පුදුුම විය යුතු නැත. 


පාස්කු ප්‍රහාරය ගැන මහත් උනන්දුවක් දක්වන සිරිල් ගාමිණී පූජකතුමා මෙරට බුද්ධි අංශ සහරාන්ට ආධාර කර ඇති බව සාකච්ඡාවක දී සඳහන් කර තියෙනවා. එය ඇත්තක් ද කියා මා දන්නේ නැහැ. සිරිල් ගාමිණී පූජකතුමාට ඒ ගැන සාක්‍ෂි ඇතැයි මා විශ්වාස කරනවා. පූජකතුමා සාක්‍ෂි නැතිව එවැනි ප්‍රකාශයක් කරන එකක් නැහැ කියා මා හිතනවා. එසේ වුණත් බුද්ධි අංශ ප්‍රධානි සලේ, පූජකතුමාගේ ප්‍රකාශය නිසා තමාට හා පවුලට තර්ජනයක් වී ඇති බවට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තියෙනවා. 


මෙරට බුද්ධි අංශය දුර්වල කෙළේ කවුද කියන එක සිරිල් ගාමිණී පූජකතුමා සඳහන් කර නැහැ. ඒ මෛත්‍රිපාල ද රනිල් ද වෙනත් කවුරුන්වත් ද කියා හොයා බලනවා නම් හොඳයි. ඒ කුමක් වුණත් යමපාලන කාලෙ දි බුද්ධි අංශ දුර්වල වුණා. අප සොයා බලන්න ඕන යමපාලන ආණ්ඩුවේ ක්‍රියා කලාපය ගැන. යමපාලන ආණ්ඩුව ඇති කෙළේ කවුද කියන එකත් අද වැනි දිනක 2018 දී යමපාලන ආණ්ඩුව බිඳ දමා පිහිටුවා ගත් දින පනස්දෙකේ ආණ්ඩුව රැක ගැනීමට කටයුතු නොකෙළේ කවුද කියන එකත් හොයා බලන්න ඕන. 


යම් විධියකින් දින පනස් දෙකේ ආණ්ඩුව රැක ගත්තා නම් පාස්කු ප්‍රහාරය සිදු වේවි ද? මේ ප්‍රශ්නය අහන්න අදට වඩා සුදුසු දිනයක් නැහැ. 2018 ඔක්තෝම්බර් 26 වැනි දාට මග පෑදුවේ නින්දා අපහාස මැද. මා එහි ගෞරවය ලබා ගැනීමට කටයුතු කරනවා නො වෙයි. ගෞරවයක් ලැබීමට තරම් දෙයක් මා මෙරටට කර නැති බව අමරසේකර ඇතුළු  උගතුන් බුද්ධිමතුන් දන්නවා. 


ඒ කෙසේ වෙතත් ව්‍යවස්ථානුකූල ව මහින්ද අගමැති පදවියට පත් කිරීමට හැකි බව අප පෙන්වා දුන්නා. ඒ සඳහා මෛත්‍රිපාලට ශක්තිය ලබා දිය යුතු බව කී විට එක් බටහිර වෛද්‍ය මහාචාර්යවරයකු නියම කෙළේ මයිලෝ දෙන්න කියා. මා මේ සමග යමපාලන ආණාඩුව වෙනස් කළ යුතු බව හා කළ හැකි බව සඳහන් 2017 නොවැම්බර 25 ලියූ ලිපියක් ද පළ කරනවා. 


එක් අතකින් පාස්කු ප්‍රහාරයට යමපාලන ආණ්ඩුව බලයට පත් කිරීමට ආධාර කළ බටහිරයන්, මෙරට ඊනියා රාජ්‍ය නොවන සංවිධාන (NGO) ඊනියා ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන (INGO) (මේ සංවිධාන බොහොමයක බලය ඇත්තේ කතෝලිකයනට හා ක්‍රිස්තියානින්ට), මෛත්‍රිපාල ශ්‍රී ල නි පක්‍ෂයෙන් එළවා ගත් අය, දින පනස් දෙකේ ආණ්ඩුව රැක නොගත් අය, එ ජා ප , ජ වි පෙ, ජාතික හෙළ උරුමය, දෙමළ පක්‍ෂවල හා මුස්ලිම් පක්‍ෂවල නායකයන් ආදීන් වග කියන්න ඕන. 


බුද්ධි අංශ දුර්වල කිරීමට කටයුතු කෙළේ යමපාලනයේ මෛත්‍රිපාල ද රනිල් ද? ඒ තැනැත්තා කවුරුන් වුවත් පාස්කු ප්‍රහාරයට අවස්ථාව සලසා දුන්නා. ඔහු පාස්කු ප්‍රහාරය සැලසුම් කළ බවක් මෙයින් කියැවෙන්නේ නැහැ. බුද්ධි අංශ සහරාන්ට මූල්‍යමය වශයෙන් හරි වෙනත් ආකාරයකට හරි 2015ට පෙර ආධාර කර තිබුණි යැයි ඔප්පු කළත් ඒ පාස්කු ප්‍රහාරය සඳහා යැයි මා විශ්වාස කරන්නේ නැහැ. ඒ වුණත් සිරිල් ගාමිණී පූජකතුමා කියන දේ ගැන පරීක්‍ෂණයක් පවත්වන්න ඕන. මා හිතන්නේ නැහැ පූජකතුමාගේ ප්‍රකාශයෙන් සලේ සැලේ කියා.


ඒ කොහොම වුණත් ඉතිරි වී ඇති ප්‍රශ්නයක් තියෙනවා. ඒ කොටි ත්‍රස්තවාදය සම්බන්ධයෙන්. එහි දී ඇතැම් කතෝලික පූජකතුමන්ලා විවිධ ආකාරයෙන් කොටින්ට ආධාර කළා. කාදිනල්තුමා ද එකල කොටි සංවිධානය කෙරෙහි සානුකම්පික ආකල්පයක් ඇති ව හිටියේ. මෙරට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඒ ගැන පරීක්‍ෂණයක් කළ යුතු ය කියා මා හිතනවා. කොටි ත්‍රස්තවාදය වර්ධනය කිරීමෙහි ලා කතෝලික සභාවේ කිසියම් වූ දායකත්වයක් තිබුණේ ද? පාස්කු ප්‍රහාරය නිසා මෙන් ම කොටි ප්‍රහාර නිසා ද මිනිසුන් ඝාතනය වුණා. මා හිතන්නේ කොටි ප්‍රහාරවලින් ඝාතනය වූ වැඩි දෙනකු බෞද්ධ කියා. බෞද්ධයන් ඝාතනය කිරම නිසා අප නො සැලේ ද? සලේට ඒ ගැන යමක් කියන්න පුළුවන් ද?    


------------------------------------------------------------------------------


ආණ්ඩුව වෙනස් කළ යුතුයි වෙනස් කළ හැකියි


දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු ජනාධිපතිට අගමැති වෙනස් කිරීමට නොහැකි ය කියන මතය බටහිර විද්‍යාව පට්ටපල් බොරුය කියන අර්ථයෙන් නොවූවත් පට්ටපල් බොරුවක්. අගමැති නොව අමාත්‍ය මණ්ඩලය ම වෙනස් කිරීමට ජනාධිපතිට පුළුවන්. මේ පිළිබඳ ව යමකුට දැන ගැනීමට අවශ්‍ය නම් කළ යුත්තේ දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය කියවීමයි. මෙකල එය අමාරු වැඩක් නොවෙයි. ඕනෑම අයකුට එක්කෝ ව්‍යවස්ථාව නැත්නම් දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය බාගත කරන්න පුළුවන්. එහෙත් බොහෝ දෙනා එසේ කරන්නේ නැහැ. මුහුණුපොතේ අයත් පඬි කටකතා කිසිම ඉවක් බවක් නැතිව ප්‍රචාරය කරනවා. ඔවුන් කම්මැලිකමට ව්‍යවස්ථාව බාගත කරගෙන කියවන්නේ නැහැ. 


දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය ද සහිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  42 (4) වගන්තිය අනුව ජනාධිපතිට තම මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් දිනාගත හැකි අය අගමැති වශයෙන් පත්කළ හැකියි. මෙහි වැදගත් වන්නේ තම මතය අනුව යන්නයි. පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයක් ඇත් ද නැත් ද යන්න මෙහි දී බලපාන්නේ නැහැ. 


43 (3) වගන්තියට අනුව ජනාධිපතිට අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය හා අමාත්‍යවරුන්ට භාර විෂය වෙනස් කළ හැකියි. 43 (1) හා 43 (2) වගන්ති අනුව ඇමතිවරුන් පත් කිරීමේ දී අගමැතිගේ අදහස් විමසිය යුතු බවට සඳහනක් ඇති නමුත් 43 (3) එවැනි සඳහනක් නැහැ. සමහරවිට මෙය නීතිපති දෙපාර්තමේන්තුවේ කෙටුම්පතේ අතපසු වීමක් වන්න පුළුවන්. එසේ වුවත් 43 (3) අනුව ජනාධිපතිට අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය වෙනස් කළ හැකියි. ඒ අගමැතිත් ඇතුළුව. 


46 (2) හා 46 (3) වගන්ති අනුව අගමැති හා ඇමතිවරු ඉල්ලා අස් නොවුනහොත් හෝ අගමැතිගේ උපදෙස් මත ජනාධිපති අස් නොකළහොත්් හෝ පාර්ලිමේන්තු මන්ත්‍රින් ලෙස සිටින තාක්, යම්තාක් කල් අමාත්‍ය මණ්ඩලය පවතින්නේ ද එතෙක් අගමැති හෝ ඇමතිවරුන් හෝ ලෙස කටයුතු කරනු ඇත. මෙහි දී වැදගත් වන්නේ යම්තාක් කල් අමාත්‍ය මණ්ඩලය පවතින්නේ ද යන්නයි. 43 (3) වගන්තිය අනුව ජනාධිපතිට අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය වෙනස් කළ හැකි බැවින් සංයුතිය වෙනස් කිරීමත් සමග අමාත්‍ය මණ්ඩලයේ පැවැත්ම නැති වන බැවින් 46 (2) හා 46 (3) වගන්ති ජනාධිපති 43 (3) වගන්තිය යටතේ ක්‍රියාත්මක වන විට අදාළ වන්නේ නැහැ. මේ වගන්ති සංගත නැහැ. එහෙත් 43 (3) පැහැදිලියි.


දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය කඩිමුඩියේ ගෙන ආ එකක්. එහි පරස්පර සාමාන්‍ය ප්‍රමාණයට වඩා තියෙනවා. ජනාධිපතිට 42 (4) හා 43 (3) අනුව ක්‍රියා කර අගමැතිත් අමාත්‍ය මණ්ඩලයත් වෙනස් කළ හැකියි. ඒ සඳහා අගමැතිගේ හෝ වෙනත් කිසිවකුගේ හෝ අදහස් වීමසීමක් අවශ්‍ය වන්නේ නැහැ. 


ඒකාබද්ධ විපක්‍ෂය කියන ආකාරයට මෛත්‍රිපාල කණ්ඩායමට ආණ්ඩුවෙන් අස් වී ඒමට හැකි නමුත් මෛත්‍රිපාලට ජනාධිපති ලෙස රැඳී සිටීමට සිදුවෙනවා. එසේ නොකළහොත් රනිල් පළමුව වැඩ බලන ජනාධිපති වී පසුව ජනාධිපති වෙන්න පුළුවන්. එය අන්තිම භයානකයි. මෛත්‍රිපාල ජනාධිපති ලෙස සිටින තාක් ඔහුගේ කණ්ඩායම ආණ්ඩුවේ සිටින බව පිළිගැනීමට සිදු වෙනවා. මෙය තරමක ප්‍රශ්නයක්. එබැවින් ජනාධිපති කළ යුත්තේ අගමැති ඉවත්කර අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය වෙනස් කර මහින්ද අගමැති ලෙස පත්කර සුදුසු අමාත්‍ය මණ්ඩලයක් පත් කිරීමයි. එහෙත් ඒ සියල්ල කළ යුත්තේ මැතිවරණ සඳහා නොව, නව ව්‍යවස්ථාව ප්‍රතික්‍ෂෙප කිරීම, දහතුන්වැනි සංශෝධනය ඉවත් කරන තුරු විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකිරීම සඳහායි.  


අද දෙමළ ජාතික සංධානයේ මන්ත්‍රීවරු ජාතික කොඩිය හා ජාතික ගීය සම්බන්ධයෙන් වහසි බස් දොඩනවා. මේ රනිල් අගමැති ධුරයේ සිටින නිසයි. ඒ අතර මේ ඊනියා ජාතික ආණ්ඩුව මෙතෙක් ඇති වූ දුර්දාන්ත ම ආණ්ඩුව යි.  මේ ඊනියා ජාතික ආණ්ඩුව වෙනස් කළ යුතුයි. වෙනස් කළ හැකියි. ඒ සඳහා 2020 තෙක් බලා ඉන්න අවශ්‍ය නැහැ. ව්‍යවස්ථානුකූල ව වෙනස් කළ හැකියි. ඉහත සඳහන් වගන්ති ගැන මා කලින් ද කියා තිබෙනවා. එහෙත් කිසිවකු ඒ ගණන් ගන්නේ නැහැ. 2020 තෙක් සිටිය යුතු ය කියන්නේ එ ජා ප හිතචතුන් දෙමළ ජාතිවාදීන් කසිකබල් මාක්ස්වාදීන් ඊනියා ලිබරලුන් පඬියන් සිවල් සාමාජිකයන් රාජ්‍ය නොවන ගැත්තන් ආදීන් බව පැහැදිලියි. අවාසනාව ජාතිකවාදීන් යැයි කියා ගන්නා අය ද මේ කතාව විශ්වාස කිරීමයි.