Main Logo

Wednesday 27 October 2021

චීන පොහොර හා අපේ නොවන අපේ ම විද්‍යාඥයෝ

 

චීන පොහොර හා අපේ නොවන අපේ ම විද්‍යාඥයෝ

 

මට නම් හිතෙන්නෙ අද රට ඉතා හොඳ තැනකට ඇවිත් කියා. මේ වාක්‍යය කියවපු ගමන් පඬියන් පඬි පෝතකයන් පඬි නැට්ටන් කුලප්පු වෙනවා. ඔන්න ආණ්ඩුවට කහින වැඩේ දිගට ම කරන් යනවා, තව තානාපති කමක් හරි වෙනත් තනතුරක් හරිි ගන්න තමයි ඔය ලියන්නෙ ආදී වශයෙන් කියාවි ලියාවි. එය මට කිසිසේත් ම ප්‍රශ්නයක් නො වෙයි. පඬියන් පඬි පෝතකයන් පඬි නැට්ටන් කියන කිසිවක් මා සත පහකට ගණන් ගන්නෙ නැහැ. කොවිඩ් 19 හැදෙන්න ඉස්සර පොඩි කාලෙ ඉඳල ම මට කැස්සක් තියෙනවා. (කොවිඩ් කියන එක බටහිරයන් හා ඔවුන්ගේ මෙරට ප්‍රබුද්ධ අනුකාරකයන් උච්චාරණය කරන්නෙ කෝවිඩ් කියල. ඒ ඇයි ද කියල දන්න කෙනෙක් කියනවා ද? ) 

 

අද රට අවුල් වෙලා. ඊනියා බුද්ධිමතුන් එක එක කතා කියනවා. ඔවුන්ට ම තේරුමක් නැහැ ඔවුන් කියන්නෙ මොකක් ද කියන එක ගැන. මා රට ඉතා හොඳ තැනකට ඇවිත් කියන්නෙ මේ අවුල නිසා. මේ ඊනියා බුද්ධිමතුන් අද මොන විධියකට හරි දේශප්‍රේමීන් වෙලා. ඔවුන් රටේ ස්වෛරීභාවය ගැන කතා කරනවා. මොන තරම් දෙයක් ද? කාදිනල්තුමාත් ඇල්ලෙ හාමුදුරුවොත් එක තැනකට ඇවිත්/වැඩලා. මා කියන්නෙ අධිකරණයට යෑම/වැඩීම ගැන ම නො වෙයි. මා හිතන්නෙ මෙරට ඊනියා බුද්ධිමතුන්ගෙ අවුල සකර්බර්ග් මගිනුත් දැන ගන්න පුළුවන්. අපට මේ අවුල අස්සෙන් ගොඩ එන්න පුළුවන්.

 

අවුල සඳහා උදාහරණයක් ලෙස පොහොර ගනිමු. ඉනුත් චීන පොහොර නැව ගනිමු. චීන පොහොරවල රටට අහිතකර බැක්ටීරියා තියෙනව කියනවා. ඒ මෙරට පර්යේෂණාගාරවල කරන ලද පරීක්‍ෂණවලින් පසු. චීනය කියනවා එහෙම බැක්ටීරියා නැහැ කියල. මේ සම්බන්ධයෙන් ඔක්තෝම්බර් 10 හා 11 දිනවල මා ලිපි ලියා තියෙනවා.

 

අද මෙරට ජනමාධ්‍යවේදීන් ඇතුළු ඊනියා බුද්ධිමතුන් චීනයට විරුද්ධයි. චීනයෙ Qingdao Seawin Biotech Group Co. Ltd  සමාගම ලිපියක් එවලා. ඔවුන් තමන්ගේ කතාව කියනවා. ඔවුන් කියන්නේ ඔය කියන අහිතකර බැක්ටීරියා තම පොහොරෙහි නැති බවයි. පෙනී යන අන්දමට ආණ්ඩුව එකඟ වෙලා තියෙනවා තුන්වැනි පාර්ශ්වයක් මගින් පොහොර නියැදි පරීක්‍ෂා කරවන්න. ඊනියා බුද්ධිමතුන් එයට විරුද්ධයි. අපේ විිද්‍යාඥයන් දෙවතාවක් ම චීන පොහොරෙහි අහිතකර බැක්ටීරියා තියෙන බව කියද්දි අපි චීන සමාගමකට ඇහුම්කන් දෙන්නෙ ඇයි කියා ඔවුන් අහනවා. අපේ ස්වෛරීභාවයට මොකද වෙන්නෙ කියලත් ඔවුන් අහනවා. පඬියන් එසේ අසද්දී පඬි නැට්ටන් අහනව අපට චීන අශූචි කවන්න හදනවා ද කියල. කලක් චීන ලයින් දේශපාලනයක් කළ අයත් අද චීනයට විරුද්ධයි. චීනය කොහොමත් සමාජවාදී නොවන නිසා ඔවුන්ට ඊනියා නිර්ධන පංති ලංකා ලයින් හොඳ ඇති.

 

අපි දැන් චීන විරෝධියි. ඉන්දීය විරෝධියි. අපි දේශප්‍රේමින්. ඉතා හොඳයි. අපි දැන් ගෞතම්ල දෙන්නෙක් ගැන දන්නවා. එක් කෙනෙක් ගෞතම බුදුහාමුදුරුවො. ගෞතම් සිංහලට ගෞතම නැත්නම් ගෝතම වෙනවා. අනෙක් ගෞතම් තමයි අදානි. ඔහු පෞද්ගලික සංචාරයකට ලංකාවට ඇවිල්ල. ගෞතම බුදුහාමුදුරුවන් නම් ලංකාවට තුන්වරක් වැඩම කරල තියෙන්නෙ පෞද්ගලික සංචාරවලට නො වෙයි. ඒ කොහොම වෙතත් මෙරට තියෙන ප්‍රධාන ම ප්‍රශ්නය තමයි අපට අදානි ගණයේ ධන කුවේරයන් (පඬියන් කියයි හොරකම් කළ ධනය කියා) නැති වීමත් බෝධිලා හා බුද්ධිලා හිටියත්  ඉහළ මට්ටමේ බුද්ධිමතුන් නැති වීමත්. බුදුහාමුදුරුවන් බුද්ධිමතකු නො වෙයි. උන්වහන්සේට බුද්ධිමතකු කියා නින්දා කිරීමට මා කැමති නැහැ.

 

ඒ කොහොම වුණත් බුදුහාමුදුරුවන් දෙසූ දහම මෙරට සංස්කෘතියට හොඳින් ගැලපුණා. මා නොවන මම ගැන මගේ නොවන මගේ ම ආදරයක් ගැන අපට කියන්න පුළුවන්. අපට යනඑන ගමන් ගෙවල්වලට ගොඩ වෙන්න පුළුවන්. නිදානොනිදා, ගුණාගුණ, ගණුදෙනු අපට පුරුදුයි. ටිකක් දුර ගියා ම පවතින හා නොපවතින ලෝකයක් ගැනත් කියන්න පුළුවන්. ඒ ගෞතම බුදුහාමුදුරුවන් හා අප අතර තියෙන සම්බන්ධය. න ච සො න ච අඤේඤො. මගේ මිතුරකු වූ ද රාජකීය විදුහලේ හිටපු ගුරුවරයකු වූ ද මාල් විජයරත්න තම චරිතාපදාන නවකතාව නම් කර ඇත්තේ එසේයි. ඔහු එකඟ වුණත් නැතත් ඒ අපේ සංස්කෘතියෙන් ලැබෙන කියුමක්. තමාත් නො වෙයි අන් අයකුත් නො වෙයි. බටහිරයන් හිතුවට ලෝකය ද්වෛතවලින් (dualities)  නිර්මාණය කර ගන්න බැහැ.

 

එහෙත් බෝධිලාගේ හා බුද්ධිලාගේ බටහිර විද්‍යාව හා අප අතර එවැනි සම්බන්ධයක් තියෙනවා ද? අප තෝරා ගන්නේ විශ්වවේදයේ (cosmology) කියැවෙන මහා පිපුරුම (big bang) ද අග්ගඤ්ඤ සුත්‍රය ද? විද්‍යාඥයකු නොවූ මා නම් එක පයින් පිළිගන්නේ අග්ගඤ්ඤ  සූත්‍රය. එක් බෝධි කෙනකු කියා තිබුණේ සසෙක්ස් විශ්වවිද්‍යාලයට වැඩ බැරි මා ඉක්මණින් යැවීමට තිබූ වුවමනාව නිසා අවුරුදු එකහමාරක දී විශ්වවේදයෙන් ආචාර්ය උපාධියක් දී  මා පිටත්කර එවූ බවයි. විදුසර කතෘ ඒ බෝධිගේ ඒ ලිපිය පළ කෙළේ ඉරිදා දිවයිනට හතලිස් ඇඳිරිය ඇති වීමටත් පෙර.

 

අපට අපේ විද්‍යාඥයන් ඉන්නවා ද? අපට බටහිර විද්‍යාව මෙරට සංස්කෘතියට අවශෝෂණය කර ගන්න පුළුවන් වුණා ද? අප බටහිර විද්‍යාව අනුකරණය කරනවා පමණයි. ඊනියා බුද්ධිමතුන් කියන විධියට අප චීන සමාගමේ කතාවට නොව අපේ විද්‍යාඥයන්ගේ කතාවට සවන් දෙන්න ඕන. අපේ ස්වෛරීභාවය රැක ගන්න ඕන. ඒත් මට තියෙන ප්‍රශ්නය අපේ කියන විිද්‍යාඥයන් අපේ ද කියන එක. 1963 සිට මා ඔවුන් ගැන දන්නවා. 1970න් පමණ පසුව ඇතැමුන් ළඟින් ඇසුරු කර තියෙනවා. මා දන්නවා ඔවුන් හුදු අනුකාරකයන් පමණක් බව. ඔවුන් රකින ස්වෛරිභාවය කුමක් ද?

 

චීන පොහොර ගැන චීන සමාගම කතා කරන්නෙත් බටහිර විද්‍යාව ඇසුරෙන්. අපේ නොවන අපේ ම විද්‍යාඥයන් කතා කරන්නෙත් බටහිර විද්‍යාව ඇසුරෙන්. බටහිර විද්‍යාව ඇසුරෙන් තමයි අපේ ඊනියා ස්වෛරීභාවය තීරණය කරන්න කියන්නෙත්. අපි ඉක්මණින් අපේ අදානිලා හා අපේ බුද්ධිමතුන් බිහි කර ගැනීමට උත්සාහ කරමු. තවමත් දවල් හීන දකින පඬි නැට්ටන් කියාවි එය ධනවාදී කියමනක් කියා.   

 

මා ඔක්තෝම්බර් 11 වැනි දා ලිපියේ මෙහෙම කිවුවා. “චීන ප්‍රකාශය මෙන් ම මෙරට විශ්වවිද්‍යාලවල හා ඊනියා පර්යේෂණ ආයතනවල උගතුන්ගේ ප්‍රකාශත් දේශපාලනිකයි. බටහිර විද්‍යාව දේශපාලනික බව පොහොර කතාවෙන් වුණත් පැහැදිලි වෙනවා. චීනයත් අපේ උගතුනුත් තම තම මත විද්‍යාත්මක බව කියනවා. බටහිර විද්‍යාවේ ඒ චින්තනයේ බිහිවන විවිධ මත ගැලීලියෝගේ නිවුටන්ගේ කාලයේ ඉඳල ම තියෙනවා. ගණිතය සම්බන්ධයෙනුත් එසේමයි. එහෙත් බටහිර ක්‍රිස්තියානි නූතනත්ව ආධිපත්‍යය තමන්ට අවශ්‍ය මතය පමණක් ලෝකයට කියනවා. මෙරට ඊනියා උගතුන් තමන් ඉගෙන ඇති උගන්වන බටහිර ක්‍රිස්තියානි නූතනත්ව මතය අපට කියනවා. ජනමාධ්‍යකරුවන් පඬියන් වී ඒ මතවලට ප්‍රචාරය දෙනවා. අප අහගෙන ඉන්නවා. දැන් චීනය වෙනත් මතයක් කියනවා. අවසන් තීරණය ගැනෙන්නේ දේශපාලන මණ්ඩලවල.”