Main Logo

Sunday 3 October 2021

ගිම්හානයක අවසානය

 

ගිම්හානයක අවසානය

 

ගාල්ලේ ගිම්හාන් විමුක්ති මියගිහින්. සකර්බර්ග් මානව හිතවාදී පඬියන් ගිම්හාන්ගේ තාත්තා පතුරු ගහනවා. ඒත් ප්‍රශ්නයේ අගක් මුලක් හොයන්නේ නැහැ. ඔවුන් ද ගිම්හාන්ට මරණය ළඟාකර දුන්  අධ්‍යාපනයේ ප්‍රතිඵල.

 

මේ මරණයෙන් මා බෙහෙවින් කම්පා වුණා. ඒ ගැන ලිවීම පවා මට වේදනාවක්. මාත් පුතෙක්, පියෙක්. ඒ වගේ ම දැන් නම් ගිම්හාන්ටත් වැඩුමල් මුණුබුරකු ඉන්න සීයා කෙනෙක්. ගිම්හාන්ගේ මරණයට අප සියලු දෙනා ම වග කියන්න ඕන.  ඔහුගේ තාත්තා මේ විෂම සමාජ ක්‍රමයක අවාසනාවන්ත පුද්ගලයකු පමණයි. මා හිතන්නේ ගිම්හාන්ගේ මරණය ගැන අද වඩාත් ම පසුතැවිලි වන්නේ ඔහුගේ පියා කියා. ඔහු එය කෙසේ දරා ගන්නේ දැයි මට හිතා ගන්න බැහැ. මාත් මගේ පුතාලාට දඬුවම් කර තිබෙනවා. ඒ ඉගෙන ගැනීම සම්බන්ධයෙන් නම් නො වෙයි. එහෙත් ඒ හැම වතාවක ම මා පසුතැවිලි වුණා. දුවට නම් දඬුවම් කෙළේ නැහැ. මගේ පියාත් මට දඬුවම් කර තිබෙනවා. ඒත් ඉගෙනීම සම්බන්ධයෙන් නො වෙයි.

 

මේ අධ්‍යාපන ක්‍රමය අපට ලබා දුන්නේ ඉංගිරිසින්. එහෙත් ඔවුන්ගේ රටවල මෙවැනි සිද්ධි වාර්තා වන්නේ නැහැ. ඒ ඔවුන් අධ්‍යාපනයක් සකස්කර ගෙන ඇත්තේ ඔවුන්ගේ ම වූ ආර්ථික හා සමාජයීය ක්‍රමයක වීමයි. ඔවුන්ගේ රටවල අධ්‍යාපනය කියන්නේ ගොඩ එන මාර්ගයක් නො වෙයි. ඒ රටවලත් අධ්‍යාපනය ගැන වෙහෙසෙන්නේ ආසියාතික රටවලින් සංක්‍රමණය වූ දෙමවුපියන්. අපට ඇත්තේ අප මත පැටවූ අධ්‍යාපනයක්.

 

අපට දී ඇති එහෙමත් නැත්නම් අප අනුකාරික ව ලබා ගෙන ඇති අධ්‍යාපන ක්‍රමය රැකියාව හා සම්බන්ධයි. බටහිර රටවලත් අධ්‍යාපනය බොහෝ දුරට රැකියාව මුල් කරගත් එකක්. එහෙත් ඔවුන් හා අප අතර වෙනසක් තියෙනවා. අප රැකියා කරන්නේ ගොඩ ඒමට. සමාජයේ ඉහළට යෑමට. හොඳ රැකියාවකට තම දරුවන් යැවීම (දා ගැනීම) දෙමවුපියන්ගේ බලාපොරොත්තුවයි.

 

මේ ප්‍රශ්නය අප කාටත් පොදුයි. මා අපේ පවුලේ වැඩුමලා. සිංහල ව්‍යවහාරය අනුව ලොක්කා. අපේ දෙමවුපියන්ට අවශ්‍ය වූයේ ලොක්කාට හොඳ සමාජ තත්වයක් ලබා දීමට. මා බටහිර වෙද මහතකු වනු දැකීමට. ඔවුන් බටහිර විද්‍යාව ගැන මළපොතේ අකුරක්වත් දත් අය නො වෙයි. ඔවුන් සාමාන්‍ය සිංහල ගුරුවරුන්. ඔවුන්ට ඕනෑ කෙළේ මට ඔවුන්ට වඩා ඉහළ සමාජ තත්වයක් ලබා දීමට. එහෙත් එය එසේ සිදු වූයේ නැහැ. තාත්තා මිය ගියේ මගේ රැකියා විරහිත කාලයක දී.

 

බටහිර විද්‍යාව නොදැන හිටියත් මගේ දෙමවුපියන්ට අවශ්‍ය වූයේ මා විද්‍යා අධ්‍යාපනයක් ලබනු දැකීමට. ඔවුන්ට ඒ ගැන වරදක් කියන්න බැහැ. ඒ සමාජය ඇති කර තිබූ ආකල්ප. ඒත් මට ජීවවිද්‍යා විෂය අප්‍රිය වුණා. එබැවින් මා ඔවුන්ගෙන් අවසර ගත්තා ගණිත භෞතීය විද්‍යා හැදෑරීමට. ඔවුන් අවසානයේ දී එයට එකඟ වූයේ මා ඉංජිනේරුවකු වේය යන බලාපොරොත්තුවෙන්. 

 

එකල විශ්වවිද්‍යාල ප්‍රවේශ පරීක්‍ෂණයට ඉල්ලුම් පත් යවන විට තමන් ඇතුලු වීමට බලාපොරොත්තුවන පීඨය සඳහන් කළ යුතුව තිබුණා. මා සඳහන් කෙළේ ඉංජිනේරු පීඨය නොව විද්‍යා පීඨයයි. ඒ එකල මට විද්‍යාඥයකු වීමට අවශ්‍ය වූ නිසා. මා තරමක හිතුවක්කාරයෙක්. ඉල්ලුම් පත් දැමීමෙන් පසුවයි මා දෙමවුපියන්ට මගේ කතාව කිවුවේ. එහෙත් විද්‍යාඥයකු වීමේ කතාව කිවුවේ නැහැ. විද්‍යාඥයකු යනු කවුදැයි ඔවුන් දැන සිටියේ නැහැ. ඒ ගැන පුදුම වෙන්න දේකුත් නහැ. අදත් මෙරට බොහෝ දෙනකු විද්‍යාඥයකු යනු කවුදැයි දන්නේ නැහැ. ලංකාවේ විශ්වවිද්‍යාලවල විද්‍යාඥයන් නැති බව නම් මා දන්නවා.

 

මා ඉංජිනේරුවකු වීමට අදහස් නොකරන බව දැනගත් තාත්තා කම්පා වුණා. එකල මට වයස අවුරුදු දහඅටක් පමණ. නාහෙට අහන්න නැති වයස. දැන් හැත්තැහතක් වෙනවා. ඒත් තාමත් එහෙමමයි. තාත්තා අවසාන වශයෙන් කිවුවේ එහෙනම් සිවිල් සේවකයකු (civil servant) වන්න කියා. එකල සිවිල් සේවයට අවුරුද්දකට උපරිම වශයෙන් හයදෙනකු පමණයි බඳවා ගත්තේ. සිවිල් සේවකයන්ට සමාජයේ වැදගත් තැනක් හිමිවුණා. ඔවුන් පරිපාලන සේවයේ ඉහළ ම අය.

 

මා උපාධිය ලබන විට ලංකා සිවිල් සේවය නැති කර ලංකා පරිපාලන සේවය ඇති කර තිබුණා. එය මගේ වාසියට හිටියා. තාත්තා ඉවෙන් මෙන් දැනගන්න ඇති පරිපාලන සේවයට සිවිල් සේවයට තිබූ තැන සමාජ තත්වය නැතිවන බව. කථිකාචාර්යවරයකුට පරිපාලන නිලධාරියකුට වඩා සමාජ තත්වයක් ඇතැයි ඔහු සිතන්න ඇති. එබැවින් ඒ අවුරුද්දේ ගණිතය පිළිබඳ රජයේ ශිෂ්‍යත්වය දිනා ගත් මට විද්‍යාඥයකු (කථිකාචාර්යවරයකු) වීමට එංගලන්තයට යෑම ප්‍රශ්නයක් වුණේ නැහැ.

 

පොඩි කොස්සකට තිබුණේ දෙමවුපියන්ට මා කේම්බ්‍රිජ් යැවීමට තිබූ ආශාවයි. එය මා හිතන්නේ අපේ විදුහල්පතිතුමාගේත් (එකල ඔහු අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරියකු ලෙස සේවය කළා)  කැමැත්ත වුණා. සාම්ප්‍රදායික කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය කියා සිටියේ මා 1969 අධ්‍යයන වර්ෂය් මුල, ඔක්තෝබරයේ පැමිණිය යුතු ය කියා. සසෙක්ස් විශ්වවිද්‍යාලය මට ඒ අවුරුද්දේ ජනවාරියේ ම ඇතුල් වීමට අවසර දුන්නා. එමෙන් ම මට මහාචාර්ය මැක්‍රේ යටතේ විශ්වවේදය (Cosmology)  හැදෑරීමටත් අවස්ථාව ලබා දුන්නා. සසෙක්ස් ගිය මට විද්‍යාඥයකු වීමට නොහැකි බව තේරුණා. මා ආපසු ආවා. දෙමවුපියන්ට එය නම් ප්‍රශ්නයක් වුණේ නැහැ. විද්‍යාඥයකු යනු කවුදැයි ඔවුන් නොදැන සිටි නිසා. මා කථිකාචාර්යවරයකු වීම ඔවුන්ට ප්‍රමාණවත් වුණා.

 

මා මේ පෞද්ගලික කතාව කිවුවේ දෙමවුපියන්ගේ බලාපොරොත්තු ගැන සඳහන් කිරීමටයි. දෙමවුපියන්ට අවශ්‍ය තම දරුවන්ට තමන්ට නැති සමාජ තත්වයක් ලබා දීමට. විවාහයේදීත් බලපාන්නේ ඒ කරුණයි. අප ඉගෙන ගන්නේ ගොඩ ඒමට. ගොඩ ඒම තත්වය උසස්වීම ආදිය සමාජ ආකල්ප. මේ ආකල්ප වෙනස් කරන එක ලෙහෙසි නැහැ.

 

අප සමාජයේ ඇත්තේ අනිශ්චයභාවයක්. එය ක්වොන්ටම් භෞතිකයේ හයිසන්බර්ග් අනිශ්චතාවට වඩා භයානකයි. හයිසන්බර්ග්ට අනුව මිණුමකින් පසු මොකක් හරි අවස්ථාවක් ලැබෙන්න ඕන.  දරුවන්ගේ අනාගතය අවිනිශ්චිතයි. දරුවන්ට අධ්‍යාපනයෙන් පසු කිසිම අවස්ථාවක් නොලැබෙන්න පුළුවන්. දරුවන් ප්‍රභූ පාසල්වලට යවන්නේත් ශිෂ්‍යත්ව විභාගය අම්මලාගේ විභාගයක් වී ඇත්තේත් මේ අවිනිශ්චතාව නිසයි. බොහෝ අය පදිංචියට පිටරට යන්නේත් මෙරට දරුවන්ගේ අනාගතය අවිනිශ්චිත නිසා. එහි බොහෝ විට හොඳ ම පාසල ළඟ ම පාසල. හොඳ පාසල් ඇති අධ්‍යාපන දිස්ත්‍රික්ක නැතුවා ම නො වෙයි. එහෙත් ඒ එතරම් වැදගත් නැහැ. .

 

අද ඒ මදිවාට සකර්බර්ග් ඇවිත්. ඇතැම් දරුවන් සාමාන්‍යයෙන් කැමති පාඩම් කිරීමට වඩා වෙන දේට. සකර්බර්ග් ඔවුන්ට ඒ සඳහා අවස්ථාව ලබා දී තියෙනවා. බටහිර රටවල එය විශාල ප්‍රශ්නයක් නො වෙයි. එහෙත් ලංකාවේ සිසුන් පාඩම් නොකර සකර්බර්ග් එක්ක හිටියොත් ගොඩ එන්න බැහැ. කොවිඩ් හා වත්මන් ගුරුබොරුවන් තම වර්ජන මගින් තත්වය තවත් අවුල් කරලා. ගුරුබොරුවන් කොවිඩ් එනකන් හිටියා ඉල්ලීම් දිනා ගන්න. ඔවුන් ගුරුවරුන් නම් නො වෙයි.

 

මේ තත්වය, ආකල්ප වෙනස්කරන එක ලෙහෙසි නැහැ. මා අර පද්ධති වෙනස් කරන්න (සිස්ටම් චේන්ජ්) බලාපොරොත්තු වන ව්‍යාජ විප්ලවවාදියකු නොවෙයි.  මූලික වශයෙන් වැටුප් පරතර අඩු කරන්න ඕන. බටහිර වෙද මහතුනට සමාන පහසුකම් හා පිළිගැනීම් පාරම්පරික හා වෙනත් වෙද මහතුනට දෙන්න ඕන. එවැනි වෙනස්කම් අනෙක් ක්‍ෂෙත්‍රවලත් සිදු කරන්න ඕන. මෙරට බටහිර දැනුම සම්බන්ධයෙන් ප්‍රාමාණික උගතුන් නැති බව මාධ්‍යවේදීන් හා අනෙක් අය දැන ගන්න ඕන. රජයේ හරි පෞද්ගලික ආයතනයක හරි මාසික වැටුපක් ලබා දෙන රැකියාවක් කිරීම වෙනුවට ස්වාධීන ව කටයුතු කරන්නට පෙළඹෙන අයට අත හිත දෙන්න ඕන. මෙහි දී අත වගේ ම හිතත් වැදගත්.

 

අධ්‍යාපනය නිර්මාණශීලිත්වය පැත්තට යොමු කරන්න ඕන. අද ඇවිදින දත්ත ගබඩා අවශ්‍ය නැහෑ. දත්ත හා තොරතුරු අධ්‍යාපනය වෙනුවට හිතන්න පුරුදු කරන අධ්‍යාපනයක් ලබා දෙන්න ඕන. සිසුන්ට ප්‍රශ්න අහන්න ඉඩ දෙන්න ඕන. පුරුදු කරන්න ඕන. අවුරුදු එක්දහස් පන්සීයකට අප හරි හමන් ප්‍රශ්න අහල නැහැ. අද අප ප්‍රශ්න අහනව කියල කරන්නෙත් බටහිර ඉංගිරිසියෙන් අහන ප්‍රශ්න අපට තේරෙන විධියට සිංහලෙන් ඇසීම.

 

ගිම්හාන්ගෙ මරණයට අප සියල්ලන් ම වග කියන්න ඕන. මේ කසිකබල් අධ්‍යාපන ක්‍රමය තවදුරටත් පවත්වාගෙන යෑම රටේ ම ගිම්හානය නැති කිරීමක්. අප අවුරුද්ද පුරා ගිම්හානය තියෙන රටක උපන් අය. ඒත් අප කටයුතු කරන්නේ සියලු ගිම්හාන නැති කර ගැනීමට.