Main Logo

Thursday 11 May 2023

නැගෙනහිර බෞද්ධ සිද්ධස්ථාන

 

නැගෙනහිර  බෞද්ධ සිද්ධස්ථාන

 

ඊයේ පළ කළ මැයි 9 ආපසු බැලීමක් ලිපියේ මූලික වශයෙන් තිබුණේ 2022 මැයි 9 වකවානුවේ මා ලියූ ලිපි තුනක කොටස් කිහිපයක්. එයට ප්‍රතිචාර දැක් වූ එක් අයකු කියා තිබුණේ එහි ජුලි නෝනා ගැන කිසිවක් සඳහන් කර නැති බවයි. මා බොහෝ වෙලාවට ලිපි ලියන්නේ තොරතුරු මත නොව සිද්ධි විශ්ලේෂණයෙන් මගේ හිතට එන අදහස් මත පදනම් වෙලා. මා ලිපිවල කියා ඇත්තේ ගෝඨාභය එළවීමට බටහිර සැලසුමක් තිබුණ බවත් එයට යම් අවස්ථාවක දී මහින්ද එළවීමත් එකතු වූ බවත් එයට ආණ්ඩුවෙන් ස්වාධීන වූ කණ්ඩායමුත් වග කිව යුතු බවත්.

 

අවුරුද්දට පෙර සමස්ත බටහිර සැලැස්ම ගැන මිස පුද්ගලයන් එහි දී ක්‍රියා කෙළේ කෙසේ යන්න ගැන මට වැටහීමක් තිබුණේ නැහැ. බටහිරයන්ගේ ප්‍රධානත්වයෙන්  ඉන්දියාව හවුල් වී කරන ලද්දක් ලෙසයි මා ආණ්ඩු පෙරළිය දැක්කේ. එය රනිල් බලයට පත් කිරීමට කරන ලද්දක් බවත් මා කියා ඇති. එහෙත් ජුලි නෝනාගේ බලපෑම් ගැන මට දැනගන්නට තිබුණේ නැහැ. මට තොරතුරු ලැබෙන්නේ බොහොම අඩුවෙන්. කොහොමටත් මා තොරතුරු එකතු කිරීමේ දක්‍ෂයෙක් නො වෙයි. මට හැකියාව නැති තරම්. 

 

මා තබා තොරතුරු දැන ගැනීමේ රුසියකු වූ කඩතුරා ඉවත් කර කුමන්ත්‍රණ එළිකිරීමේ දක්‍ෂයකු වූ විමල් වීරවංසවත් එකල ජුලි නෝනා ගැන දැන සිටියේ නැහැ කියයි මා හිතනනේ. මා වැරදි වෙන්න පුළුවන්. සමහර විට ඔහු දැන ගෙන ඉන්න ඇති. එහෙත් අර ගුණදාස අමරසේකරට අනුව ඔහුට එකල කොන්දක් නොතිබෙන්න ඇති. එහෙමත් නැත්නම් ඔහු ජුලි නෝනාගේ කොන්ත්‍රාත්තුවක් ඉටු කරමින් ඇමතිවරයකු ලෙස සිටිමින් ආණ්ඩුව විවේචනය කර ඇමති මඬුල්ලෙන් අස් කෙරෙන තැනට කටයුතු කර  පසුව ආණ්ඩු පක්‍ෂයෙන් ස්වාධීන වී ආණ්ඩුව දුර්වල කළා වෙන්න පුළුවන්. මා දන්නේ නැහැ. ඔහුත් ජුලි නෝනා ගැන කියන්නේ මෑතක ඉඳන්. ඉතින් ගැන මා කෙසේ දැන ගනිම් ? බටහිර සැලැස්මක් තිබීම ගැන මා එදා කී නිසා වීරෝදාර පරගලයන්ගෙන් අහන්න ලැබුණෙ නම් කුණු බැණුම්.

 

මට අද කියන්න ඕන කාරණාව නො වෙයි. උතුරු හා නැගෙනහිර පළාත්වල අද බෞද්ධ සිද්ධස්ථාන පවත්වාගෙන යෑම ප්‍රශ්නයක් වෙලා. වෙල්ලාල හින්දුන්ගේ මෙන් ක්‍රිස්තියානින්ගේ , මුස්ලිමුන්ගේ බලපෑම මත සිද්ධස්ථානවලින් හාමුදුරුවරුන් පැන්නීම සඳහා ව්‍යාපාරයක් ආරම්භ වෙලා තියෙනවා. එයත් පරගලයෙන් රනිල් බලයට පත්වීමේ ප්‍රතිඵලයක්. උතුරු හා නැගෙනහිර පළාත් දෙමළ නිජභූමි යනුවෙන් ඇති බොරු මතවාදය   මෙහි දී  බලපානවා.

 

පෘතුගීසීන් එන විටත් උතුරු පළාතේ සමස්තයක් ලෙස පමණක් නොව යාපනයේ බහුතරය සිංහල වූ බව කියන්නේ පෘතුගීසීන්. නැගෙනහිර පළාතක සිංහල නොවන ජනගහනයක් ගැන ඔවුන් කියන්නේවත් නැහැ. පැත්තකින් තියන්න පනස්ගණන්වල ඉරණමඩු ව්‍යාපාරය පටන්ගත් දිනවල යාපනයේ ජනයා ඉඩම් ලබා ගැනීමටවත් කැමති වුණෙ නැහැ. ඔවුන් ප්‍රදේශයට නුහුරු නිසා. අවුරුදු සීයකටත් මෙහා පැත්තෙ. දෙමළ ජනයා අලිමංකඩින් දකුණට පැමිණියේ කොළඹ රැකියා කිරීමට මිස වෙන කාරණයකට නොවෙයි.

 

ඔවුන් ප්‍රධාන වශයෙන් පදිංචි වුණේ වැල්ලවත්ත හා කොටහේන ප්‍රදේශවල. කුඩා කළ කොටහේනේ පදිංචි වී සිටි අයකුගෙන් මට පසුගිය දා දැන ගන්න ලැබුණේ පසුගිය අවුරූදු විස්සක පමණ කාලයක ප්‍රදේශයෙන් සිංහලයන් නැති වී ගොස් ඇති බවයි. ගුණානන්ද හාමුදුරුවන් වැඩ විසූ දීපදුත්තාරාමය පවත්වාගෙන යෑම ප්‍රශ්නයක් වේවි ?

 

 නැගෙනහිර පළාතේ මුස්ලිමුන් පදිංචි කෙරුණේ සිංහල බෞද්ධ රජවරුන් විසින් කතෝලික පෘතුගීසීන්ගෙන් වූ ගැහැටෙන් මුස්ලිමුන් බේරා ගැනීමට. පසුව කතෝලිකයන් ලන්දේසි රෙපරමාදු තාඩන පීඩනවලින් ගලව ගැනීමට වහකෝට්ටෙ වැනි ප්‍රදේශවල පදිංචි කෙරුණා. නැගෙනහිර පළාතේ දෙමළ ජනයා පදිංචි කෙරුණේ ඉංගිරිසින් විසින්. අලිමංකඩෙන් උතුරේ දෙමළ වෙල්ලාලයන් පදිංච කෙරුණේ ලන්දේසීන් විසින්. එහි සිටි සිංහල ජනයා විශාල පිරිසක් දෙමළ හින්දු සංස්කෘතියට අවශෝෂණය කෙරී ඇත්තේ ඊනියා අඩු කුල ලෙස. වෙන සාක්‍ෂියක් අවශ්‍ය නැහැ ලන්දේසින්ටත් පසුව ඉංගිරිසින්ටත් තේසවලාමේ නම් දකුණු ඉන්දියාවේ මුස්ලිම් නීතියක් පැනවීමට සිදු වූයේ වෙල්ලාලයන් දුම්කොළ අස්වැන්න නෙළා ගැනීමෙන් පසු ඉන්දියාවේ තම නිජභූමිවලට යෑම වැළැක්වීමටත්.

 

සිංහලයන්ට නැගෙනහිර පළාතේ ජීවත්වීම අපහසු වුයේ ඉංගිරිසින් 1817 -18 නිදහස් සටනෙන් පසු සිංහලයන් පළවා හැරීමට කටයුතු කළ නිසා. මෙරට දහතුන්වැනි සියවසට පෙර දෙමළ ස්ථිර පදිංචි කරුවන් නොසිටි බව කිවුවේ යාපන විශ්වවිද්‍යාලයේ පළමු ඉතිහාස මහාචාර්යවරයා වු කාර්තිගේසු ඉන්ද්‍රපාල. එහෙත් පසුව ඉතිහාස මහාචාර්යවරයකු වූ පද්මනාදන් ලියන්නේ නාගයන් දෙමළ බවයි. යක්‍ෂ නාග කතාව මහාවංසය වසන් කරන නිසා ඔවුන්ට එවැනි හපන්කම් කරන්න පුළුවන් වෙලා. යක්‍ෂ නාග  රාක්‍ෂස ආදී ජනකොටස් අදත් ඉන්දියාවේ ඉන්නවා. ඇසැමය නාගලන්තය නාග වාසභූමි. ඔවුන් දෙමළ නො වෙයි. ඔය නාගනාදන්ලා අවුරුදු හයසීයයක් ඇතුළත ලංකාවට ගෙනා අයගෙන් පැවතෙන්නන් මිස මණිඅක්ඛික චූලෝදර මහෝදර ආදීන්ගෙන් පැවත එන්නන් නො වේ. අඩු තරමෙන් ජනප්‍රවාදයේවත් නාගයන් ගැන   දෙමළ කතාවක් තියෙනවා ?

 

අද වැල්ලවත්තේ පමණක් නොව මහරගමත් දෙමළ ජනයා පදිංචි වී ඉන්නවා. සිංහල බෞද්ධයන්ගේ තිබෙන සහනශීලී ගතිය ඔවුන්ගේ පරාජයටත් හේතු වෙනවා. බටහිර රටවලට ගොස් පදිංචි වෙන අයට සංස්කෘතියට ගැලපෙන විධියට ජීවත් වෙන්න සිදුවෙනවා. එහෙම බැරි නම් ආපසු යන්න කියා කීමට බටහිරයන් පසුබට වන්නේ නැහැ. සිංහල බෞද්ධයන් එසේ නොකීම අද නිවට කමක් ලෙස සැලකෙනවා. ඉංගිරිසින් පවා පිළිගත් බෞද්ධ විශේෂත්වය අද පිළිගැනෙන්නේ නැහැ. මා නිතර කියන 1892 ආඥාපනත ගැන කිසිම දේශපාලනඥයකු කතා කිරීමටවත් කැමති නැහැ.

 

ගෝඨාභය කුරගල ප්‍රශ්නය විසඳුවා. ඔහු ඉවත් කිරීමට මුස්ලිමුන් ආතල්ගම බිරියානි බෙවදුවේත් යාඥා කෙළේත් බටහිරයන්ට හා ඉන්දියාවට එකතු වෙමින්. එතැන ඉතා පැහැදිලි සිංහල බෞද්ධ විරෝධයක් තිබුණා. වරද්දාගත් පරම්පරාවට මේ ලිපිය බයියකුගේ ගෝත්‍රවාදී වාගාලාපයක් පමණයි. පරම්පරාව වරද්දාගත්තේ අධ්‍යාපනයත් හීනමානයත් නිසා. 

 

අද නැගෙනහිර පළාතේ බෞද්ධ සිද්ධස්ථාන ගැන සොයා බැලීමටවත් යන්නේ සරත් වීරසේකර හා චන්න ජයසුමන පමණයි. ඉතා අපහසුවෙන් මඩකලපුවේ සිංහල පාසල නැවත විවෘත කිරීම ගැන ආණ්ඩුකාරවරියට ප්‍රශ්න ඇවිල්ලා. රනිල් යටතේ සිංහල බෞද්ධයන් දුර්වල වෙලා. මහාවංසයේ ඌනතා පෙන්නූ ගමන් අවි අමෝරා සටන් වදින ඇතැම් ජාතිකවාදීන් උතුරු හා නැගෙනහිර පළාත්වල මහාවංසය නැසීමට කරන කටයුතු නෑසු කණින් නොපෙනෙන දෑසින් ඉන්නවා.  


“Section 16 of the "Declaration of British Sovereignty" dated 21/11/1818 and ordinance no 4 of 1892.

"As well the priest as all the ceremonies and processions of the Budhoo religion shall receive the rest which in former times was shown them; at the time it is in nowise to be understood that the protection of Government is to be denied to the peaceable exercise by all other persons of the religion which they respectively profess, or to the erection under due licence from His Excellency of places of worship in proper situations"