Main Logo

Monday 22 May 2023

ජනරජය හා නිවටකම

 

ජනරජය හා නිවටකම

 

අද ජනරජ දිනය. අප ජනරජයක් වෙලා අවුරුදු පනස්එකක් වෙනවා. 1948 ඩොමීනියන් නිදහස ලබා ගත් පසු අප අවුරුදු විසිහතරක් ජීවත් වුණෙ එංගලන්තයේ රජු හරි රැජන හරි රැජන හරි අපේත් රජු හරි රැජන හරි ලෙස සලකමින්. ඇතැමුනට ගැන තිබුණේ ආඩම්බරයක්. ඉන්දියාව හා පකිස්ථානය නිදහස ලබා ඉතා ටික කලකින් ජනරජ බවට පත් වුණා. අපට අවුරුදු විසිහතරක් ගියා.

 

එසේ ජනරජයක් බවට පත් වීමෙන් පසුවත් ජේ ආර් ජයවර්ධන දෙවැනි ජනරජ ව්‍යවස්ථාව මගින් පෙබරවාරි හතරවැනි දා ජාතික දිනය බවට පත් කළා. අප ජනරජ දිනය සැමරුවේ අවුරුදු හතරක් පමණයි. එහෙත් ඉන්දියාවේ ප්‍රධාන උත්සවය ජනරජ දිනය වෙනුවෙන්. අද වන විට ජනරජ දිනය බොහෝ දෙනකුට අමතක වෙලා. බණ්ඩාරනායක මැතිණියගේ දුවවත් මහින්ද රාජපක්‍ෂවත් ගෝඨාභය රාජපක්‍ෂවත් මෛත්‍රිපාල සිරිසේනවත් ජනරජ උත්සවයක් පැවැත්වුයේ නැහැ. මැයි දහනවය සිට මැයි විසිදෙක  දක්වා උත්සව පැවැත්විය යුතු නමුත් මෙරට ජඩමාධ්‍යවේදීන්ටවත් මේ දින ගැන අවබෝධයක් නැහැ.

 

නන්දිකඩාල් කලපුවේ භීෂකයා මඩගොඩක ලැග්ගේ මැයි දහනව වැනි දා  වුණත් ජඩමාධ්‍යවේදීන් හිතන් හිටියේ මැයි දහඅටවැනි දා කියා. ඔවුන් හිතාගෙන හිටියේ දෙමළ ජාතිවාදීන් මුල්ලවයික්කාල් සමරණ දිනය නන්දිකඩාල් ජයග්‍රහණයේ දිනය කියා. ලබන වසරේ අප කොටි සංවිධානය විසින් බලෙන් අරන් ගොස් මිය ගිය දරුවන් හා අනෙක් අය සමරන්න ඕන. මේ පිළිබඳ පසුව තවත් ලියන්න ඕන. එහෙත් එයට කලින් වෙල්ලාල හා අනෙක් කුල අතර තිබූ ප්‍රශ්නය පසුබිම් කරගෙන වෛද්‍ය රුවන් එම් ජයතුංග ලියා ඇති දරු සම්පත හා දයාබර නාදන් කෙටි කතා දෙක කියවා ගන්න පුළුවන් නම් හොඳයි. ඉන් දයාබර නාදන් කෙටි කතාව සඳහා සබැඳිය පළමු ප්‍රතිචාරයේ ඇති.

 

ඉන්දියාව ජනරජ දිනය සමරන්නටත් අප රැජනගේ හරි රජුගේ නිදහස සැමරීමටත් ඇත්තේ එක හේතුවක්. මෙරට සිංහල උගතුන්ගේ නිවටකම මිසක් වෙනත් හේතුවක් නැහැ. අපේ රටේ තරම් අනුකාරක නිවට අධ්‍යාපනයක් වෙනත් රටක ඇතැයි කියා හිතන්න බැහැ. ඉංගිරිසි අධ්‍යාපනය සිංහල මාධ්‍යයෙන් ලැබුවත් ඉංගිරිසි මාධ්‍යයෙන් ලැබුවත් අප විසින් බිහිකෙරී ඇත්තේ නිවටයන් ටිකක්. නිවටයන් වමාලා වෙන්න පුළුවන් දකුණාලා වෙන්න පුළුවන්.

 

නිවටයන්ට තම සම්ප්‍රදාය ගැන කිසිම දැනුමක් නැහැ. ඔවුන් දන්නේ වැවු හා දාගැබ් ගැන උදම්වීමටත් අද බටහිර විද්‍යාවේ කියන දේ බුදුදහමේ ඇති බව කීමටත් පමණයි. බුදුදහමේ ඇති බටහිර විද්‍යාවක් නැහැ. තිබුණා නම් මා බෞද්ධයකු වන්නේත් නැහැ. අග්ගඤ්ඤ සූත්‍රයේ සංවට්ට කප්ප විවට්ට කප්ප තියෙන්නේ මොන විශ්වවේදයේ ? මා මේ ප්‍රශ්නය අහන්නේ උත්තරයක් බලාපොරොත්තුවෙන් නො වෙයි. මාත් විශ්වවේදය (Cosmology) ටිකක් හදාරලා තියෙනවා. මා දන්නවා මට වඩා විශ්වවේදය හදරා ඇති අය මෙරට ශාස්ත්‍ර පීඨවලින් බිහි කෙරී ඇති බව.

 

අපේ නිවට සම්ප්‍රදායෙන් අපට උගන්වන්නේ බටහිර පොතක පතක ඇති දෙයක් තමන්ට තේරෙන විධියට කියවා ගෙන එය අනෙක් අය ඉදිරියේ කියවා තම ඊනියා උගත්කම ප්‍රදර්ශනය කිරීම පමණයි. මහාචාර්ය කලන්සූරිය කියා ඇත්තේ පේරදෙණියේ දර්ශන අධ්‍යනංශය ප්‍රදර්ශන අධ්‍යනංශයක් කියා. එහෙත් එය විශ්වවිද්‍යාල පද්ධතියට හා පාසල් පද්ධතියට පොදු වූවක්. අප නිවට ප්‍රදර්ශකයන් පමණයි.

 

නන්දිකඩාල් ජයග්‍රහණ දිනයේ මා කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ පීඨාධිපති. මා එදා විද්‍යා පීඨය ඉදිරිපිට ජයග්‍රහණය සැමරුවා. මා විශ්වවිද්‍යාලයෙන් හරි ප්‍රතිපාදන කොමිසමෙන් හරි අවසර ගත්තේ නැහැ. මා එවකට අනුකාරක අධ්‍යාපනයෙන් කැඩී තරමක් කල්. ඔවුන් මා පීඨාධිපති ලෙස තෝරා ගත්තේ වැරදීමකින් බව පසුව තේරුම් ගත්තා. එහෙත් විශ්වවිද්‍යාල පනතේ පිඨාධිපතිවරයකු පත් කරන ක්‍රමය මිස අස් කරන ක්‍රමය සඳහන් වන්නේ නැහැ.

 

මා මියන්මාහි ලංකා තානාපතිකම කරද්දී මැයි විසිදෙක ජනරජ දිනය සැමරුවා. මා සඳහා විදේශ අමාත්‍යාංශයෙන් අවසර ගත්තේ නැහැ. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මගෙන් ඇහුවෙත් නැහැ ඇයි ජනරජ දිනය සැමරුවෙ කියා. මා මේ කරුණු කියන්නේ මගේ පුරසාරමක් ලෙස නො වෙයි. මා වමාලා කියන විධියට නම් ගෝත්‍රවාදී බයියකු බව කීමට.

 

බටහිර රටවල ජීවත්වන විට මා නිරීක්‍ෂණය කර ඇති දෙයක් නම් වෙනත් බොහෝ රටවල අයට වඩා අපේ ගැතිකම. අප අවුරුදු උත්සවයක් පවත්වනවා වෙන්න පුළුවන්. පන්සලට යනවා වෙන්න පුළුවන්. එහෙත් ඉන්දියානුන්ගේ හරි චීනුන්ගේ හරි ජාතිකත්වය සිංහලයන්ගේ දකින්න බැහැ. අපේ ළමයින්ට සිංහල කතා කරන්න බැහැ කියා ආඩම්බරයෙන් කියන දෙමවුපියන් ඉන්නවා. බටහිර රටක දරුවන් සිංහල කතා නොකිරීම වරදක් නොවෙන්න පුළුවන්. එහෙත් ගැන ආඩම්බර වන්නේ අහවල් දේකට ? චීනුන් තම දරුවන්ට චීන භාෂාව පමණක් නොව සිරිත් විරිත් ක්‍රමානුකූල කියා දෙනවා.

 

අප මෙතරම් දීන අනුකාරකයන් වුණේ කොහොම ? එයට හේතුව රිච්මන්ඩ් විදුහලෙන් පටන්ගත් ක්‍රිස්තියානි (මෙතෝදිස්ත) අධ්‍යාපනය පමණක් ? අද බෞද්ධ කියන පාසල්වලත් පිරිවෙනේත් ලැබෙන්නේ ක්‍රිස්තියානි අධ්‍යාපනයක්. අප මේ සියල්ල ගැන විමසිලිමත් වෙන්න ඕන. අතර වමාලාගේ ආශිර්වාදය ලබන ජාතිකත්වය දිගට ගසා කා ජනරජය ගසා කෑමට උත්සාහ දරන බලහිතකාමීන්ගෙනුත් ඔවුන්ට අනුශාසනා කරන කාදිනල්තුමාගේ දෑගසවුවන්නෙුත් පරෙස්සම් වෙන්න ඕන.      

 

  

https://transyl2014.blogspot.com/2015/03/blog-post_28.html