Main Logo

Sunday 14 May 2023

රනිල්ගේ පෙරහුරුව හා කොළඹ විශ්වවිද්‍යාලය

 

 

  • රනිල්ගේ පෙරහුරුව හා කොළඹ විශ්වවිද්‍යාලය

කොළඹ විශ්වවිද්‍යාලයේ රනිල් එළවන්න කුමන්ත්‍රණයක් දියත් වෙලා කියා කතාවක් පැතිර යනවා. ඔය කුමන්ත්‍රණ කතා ගැන මා කියන්න යන්නේ නැහැ. එහෙත් කොළඹ විශ්වවිද්‍යාලයට පුළුවන් සිසුන් හා ගුරුවරුන් සමග එක් වී මා වැන්නකු සේවයෙන් එළවන්න මිසක් රනිල් වැන්නකු බලයෙන් පහකිරීමට නො වෙයි. එහෙත් අන්තරේ කියන්නේ ඔවුන් ලංකාව පුරා ස්ථානගත වී ඇති බැවින් හමුදාව කොළඹ විශ්වවිද්‍යාලය පමණක් වටලා හරියන්නෙ නැති බවයි. ඔවුන් කියන්නේ මුළු රට වටලන්න වෙයි කියා.

 

මා නම් හිතා ගෙන  හිටියේ පරගලයන්ට රනිල් එළවන එක කජ්ජක් කියලා. ඔවුන් පාරම් බෑවේ ගෝඨාභය එළ වූ තමන්ට රනිල් කජ්ජක් කියා. කජ්ජ කොහොම වෙතත් රනිල් එන්න එන්න බලය තහවුරු කර ගන්නවා. බටහිරයන් තමන් බලයට ගෙනා රනිල් කොන්දේසි විරහිත ආරක්‍ෂා කරනවා. ඔහුට ප්‍රශ්නය වී තිබුණේ පාර්ලිමේන්තුවේ බලයක් නැති කම. එයත් ඔහු මේ වන විට විසඳා ගෙන. පොහොට්ටුවේ යම් පිරිසක් ඔහුට සහාය දෙන බව පැහැදිලියි.

 

බැසිල්ගෙ බලය එන්න එන්න දියවන්නාවේ දියවෙනවා. රනිල් බැසිල් කියන විධියට ඇමතිකම් දෙන්නේ නැහැ. සමග පොහොට්ටුවේ මන්ත්‍රීවරු තව තවත් රනිල්ට එක්වෙනවා. සජබෙන් කොටසක් ඉන්නෙ රනිල් එක්ක. රනිල්දාස හැමදාමත් රනිල් එක්ක. දෙමළ මුස්ලිම් මන්ත්‍රීවරු වැඩි ප්‍රමාණයක් රනිල්ට සහාය දෙනවා. සිංහල බෞද්ධ විරෝධී වීම සඳහා. උතුරු හා නැගෙනහිර පළාත්වලින් බෞද්ධ උරුමය නැති කිරීම සඳහා.

 

රනිල් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට අවුරුදු පනහක් පිරීම නිමිත්තෙන් පවත්වන ලද රැස්වීමේ දී චීනයට ටොක්කක් ඇන්නා. ඔහු කියා සිටියේ ආසියාවේ කලබල ඇති කරන එකට ඔහු විරුද්ධය කියා. අද ලෝක බලතුලනය හෙල්ලුම් කාලා. එහෙත් පැහැදිලි බෙදීම් නැහැ. බ්‍රික්ස් නමින් හැඳින්වෙන සංවිධානයේ ඉන්දියාව චීනය හා රුසියාව තවත් රටවල් දෙකක් සමග එකට ඉන්නවා. අතර ඉන්දියාව ජපානය ඇමරිකාව හා ඕස්ත්‍රේලියාව සමග ක්වොඩ් නමින් හඳුන්වන සංවිධානයේ චීනයට විරුද්ධ ඉන්නවා. 

 

ඉන්දියාවට රුසියාව අවශ්‍යයි. චීනයට විරුද්ධ ඇමරිකාවත් අවශ්‍යයි. රනිල් මූලික ඉන්නෙ බටහිර සමග. ඔහුත් අවශ්‍ය පරිදි ඉන්දියාව සමග ඉන්නවා. මේ සම්බන්ධතා මැද බටහිරයන්ට රනිල් අවශ්‍ය පුද්ගලයෙක්. බටහිරට රාජපක්‍ෂලා තරමක හිසරදයක් වුණා. රාජපක්‍ෂලා කිවුවට මහින්ද හා ගෝඨාභය. බටහිරයන් ලංකාවේ වගේ පකිස්ථානයේත් දේශපාලනයට මැදිහත් වෙනවා. ඔවුන්ට මියන්මා හසුරුවන්න බැහැ. බටහිරයන්ට දකුණු ආසියාව වගේ අග්නිදිග ආසියාවත් තව තවත් වැදගත් වේවි. චීනය නිසා.

 

අන්තරේ හා සෙප්පන් රනිල් කජ්ජක් කියා කිවුවත් එය බොරු කයිවාරුවක් පමණයි. රනිල්ට සෙප්පන් හා අන්තරේ නම් කජ්ජක්. රනිල් කොළඹ විශ්වවිද්‍යාලයවත් අන්තරේවත් සෙප්පන්වවත් සත පහකට ගණන් ගන්නේ නැහැ. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ගැනත් ඔහු දන්නවා. ආචාර්ය සමිති සම්මේලනය ජයග්‍රහණ රැසක් අත්කර ගෙන! අර කතාවක් තියෙනව නෙ ගුරුවරයා හිටගෙන කරන කොට ගෝලයා දුව දුව කරනවා කියා.

 

රනිල් පෙරහුරුවක් කරලා. අන්තරේට බයෙන්වත් අන්තරේ වටලන්නවත් නො වෙයි. ඔහු ත්‍රස්ත විරෝධී පණත් හා තවත් මර්දන නීති ගෙනෙන්නේ ඊනියා කම්කරු පංතියකට බය වෙලාවත් අන්තරේට බයවෙලාවත් නො වෙයි. ඔහුට රාජ්‍ය වියදම් සඳහා මුදල් නැහැ. ඔහු දේශීය වශයෙනුත් ණය ගන්න ඕන. ඔහුට ජාමූලෙන් එතරම් ණයක් ලැබෙන්නෙ නැහැ. දැන් රජයට යම් ඩොලර ප්‍රමාණයක් තියෙන්නෙ ඇතැම් ණය නොගෙවීම නිසාත්, විදෙස්ගත ශ්‍රමිකයන් ඩොලර් එවන නිසාත්. ගිය අවුරුද්දෙ මේ දවස්වල පරගලයන් කියා සිටියේ විදෙස්ගත ශ්‍රමිකයන්ට රජය මගින් මුදල් නොඑවන ලෙස. අද ඔවුන් එහෙම කියන්නෙ නැහැ. කිවුවත් අහන කෙනෙක් නැහැ.

 

රනිල්ට ඩොලර් උපයන්නෙ කොහොමද කියන එකට පිළිතුරක් නැහැ. ඩයනා ගමගේගෙ විසඳුම පමණයි තියෙන්නෙ. තායිලන්ත ක්‍රමයේ විසඳුමක්. සියමෙට ගිය කලක්. රනිල්ට විශාල ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා. එහි දී ආතල්ගමක් ඇති කරන්න ඔහු ඉඩ තියන්නෙ නැහැ. ඔය පරගල න්‍යායාචාර්යවරුන් බෙහෙතකටවත් හොයා ගන්න බෑරි වේවි. ඔවුන්ටත් තිබුණෙ බටහිරයන්ගෙ ශක්තිය පමණයි. බටහිරයන් ඊනියා න්‍යායාචාර්යවරුන් හා තවත් ආතල්ගම යාචකයන් සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධ යොදා ගත්තා. සමහරුන්ට තියෙන්නෙ කුල හීනමානය නිසා ඇති වූ සිංහල බෞද්ධ විරෝධයක්.

 

අද සිංහල බෞද්ධ නායකත්වයක් නැහැ. බෝන් අගේන් දේශකයා බුුදුහාමුදුරුවන්ට ආලෝකය වන්නේ යේසුස් වහන්සේ කියා කියනවා. ඊයේ  එන්ලයිට්න්ඩ් බෝන් අගේන් මෝහන්ධකාරය දුරුවේවා ලිපියේ අදාල රූහඬ පටය තියෙනවා. අද අපට ගුණානන්ද හිමි නමක් නැහැ. සුපිරි බෞද්ධ උගතුන් ඉන්නවා. ඔවුන් දන්නේ අර පොතේ මෙහෙම තියෙනවා මේ පොතේ අරෙහෙම තියෙනවා කියන්න විතරයි. කෝකටත් ඔවුන් තම ඊනියා වෘත්තීය ගෞරවය රැක ගෙන ඉන්නවා. ගෝඨාභය හා මහින්ද යවා ගත්තට පස්සෙ සිංහල බෞද්ධයන්ට නායකයකු නැහැ. රනිල් නායකයකු නැති සටන් මර්දනය කරන්න සූදානම් වෙනවා.