Main Logo

Monday 15 May 2023

රනිල්ගේ ඉතිහාසය

 

රනිල්ගේ ඉතිහාසය

 

මෙහි සඳහන් කරන්නේ රනිල්ගේ වික්‍රමසිංහ පරම්පරාවේ ඉතිහාසය නො වෙයි. බද්දේගම ඇංග්ලිකන් ක්‍රිස්තියානිය වැලඳ ගත් පවුලකින් පැවත එන ඔවුන්ගේ මුල් අය අධ්‍යාපනය ලබා ඇත්තේ රිච්මන්ඩ් විදුහලේ. බද්දේගම, ඉංගිරිසි ඇංග්ලිකන් ක්‍රිස්තියානි ආධිපත්‍යය මුලින් පැතුරුණු නගරවලින් එකක්. පළමුව ඇති වුයේ මෙතෝදිස්ත බලපෑම වුව (රිච්මන්ඩ් විදුහල ආරම්භයේ දී මෙතෝදිස්ත විදුහලක්) ඉංගිරිසි ආණඩුවේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි බලපෑම ඉදිරියේ මෙතෝදිස්ත පල්ලිය තරමක් පසුබැස තියෙනවා. කෙසේ වෙතත් රනිල්ගේ බාප්පා කෙනකු ඇංග්ලිකන් සභාවේ බිෂොප්වරයකු වුණා.

 

අපට වැදගත් වන්නේ රනිල් මෙරට ඉතිහාසය ගැන කරන කතා. එහෙත් පළමුව වෙනත් කතා. සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලෙයි චෙල්වනායගම් හෙවත් එස් ජේ වී චෙල්වනායගම් ගැන වචන කිහිපයක්. මලයාවේ උපන් ඔහු මව සමග කුඩා කල ලංකාවට පැමිණියා. ඔහුට වඩාත් බලපෑවේ ඔහුගේ මව වූ හැරියට්ගේ සහෝදරයකු වූ ක්‍රිස්තියානි පුජකවරයකු වූ ඔහුගේ පොන්නයියා මාමා. චෙල්වනායගම් කොළඹට පැමිණීමට පෙර යාපනයේ දී   දකුණු ඉන්දීය සභාවේ (පල්ලියේ) සාමාජිකයෙක්. කොළඹ පල්ලියේ ශාඛාවක් නොමැති නිසා එංගලන්ත සභාවේ හෙවත් ඇංග්ලිකන් ක්‍රිස්තියානි සභාවේ සාමාජිකයෙක් වුණා. ඔහු විවාහ වුණේ ලන්දේසි හා ඉංගිරිසි පරිපාලන තන්ත්‍රයට සේවය කළ බාර් කුමාර්කුලසිංහම් පවුලෙන්.

 

අප කිසිවකු ඕපපාතික පහළ වූවන් නො වෙයි. අපේ පවුල් පසුබිම් ලබන අධ්‍යාපනය ආදිය අපට බලපානවා. හරහා අප සමහරුන්ට හීනමානත් ඇති වෙනවා. ඒමෙන්ම අධිමානත් ඇති වෙනවා. අධිමානැති මෙන් හීනමානැති අය සිංහල බෞද්ධ විරෝධීන් අතර ඉන්නවා. මා දැක්කා පසුගිය දා පඬි නැට්ටකු දරුවන්ට දහම් පාසල් අනිවාර්ය කිරීමකට විරුද්ධ කිසිවක් කියා තිබුණා. දහම් පාසල් අනිවාර්ය කිරීම කෙසේ වෙතත් අපේ ආච්චි අම්මලාගේ කාලයේ සිට වත්මන් ඇංග්ලිකන් ක්‍රිස්තියානි අධ්‍යාපනය යම් ආකාරයකට අනිවාර්ය කර තිබුණා. එකල නඩු දාන මහත්තයා කියා නිලධාරියකු පාසලට පැමිණ පාසල් නොපැමිණෙන දරුවන්ගේ දෙමවුපියන්ට විරුද්ධ නඩු දාන ක්‍රමයක් තිබුණා කියා මට ආච්චි අම්මා කියා තියෙනවා. අද ඒ ඇංග්ලිකන් ක්‍රිස්තියානි අධ්‍යාපනය අනිවාර්යයි. නීතියෙන් පමණක් නොව ජීවත්වීම සඳහා රැකියා සඳහා ඇංග්ලිකන් ක්‍රිස්තියානි අධ්‍යාපනයෙන් ලබා ගත් සහතික ඉල්ලනවා.

 

අපට එයින් ගැලවීමක් නැහැ. මට අවුරුදු හතළිහකට පමණ පෙර එයින් කැඩෙන්නට හැකි වුණත් ඉන් පසු මා විශ්වවිද්‍යාලවල ඉගැන්වීම පසෙකට දා කතන්දර කියන්න පටන් ගත්තත් එය ක්‍රියාවට නැගීමට, ඉතා විශාල බහුතරයකට ඒත්තු ගැන්වීමට බැරි වුණා. ඇංග්ලිකන් ක්‍රිස්තියානි අධ්‍යාපනය අද ලෝකය පුරා පැතිරිලා. ඔවුන්ගේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයත් ලෝකය පුරා අධ්‍යාපනය හේතුකොට ගෙන පැතිරිලා. මා හිතන්නේ ඉංගිරිසින් ලබාගත් ලොකුම ජයග්‍රහණය තම ක්‍රිස්තියානි අධ්‍යාපනය හා පාලන තන්ත්‍රය ඊනියා නිරාගමික දෙයක් බව ලෝකයට ඒත්තු ගැන්වීම කියා. මා එයින් කැඩුණේ හා එහි ක්‍රිස්තියානි කතාව තේරුම් ගත්තේ පූරුවෙ වාසනාවකට වෙන්න ඕන.

 

මුළු මහත් බටහිර දැනුම බිහිවන්නේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි, ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි. අපට බටහිර විද්‍යාඥයන් කරන්නේ දෙවියන් වහන්සේගේ මනස තේරුම් ගැනීමට උත්සාහ කිරීම බව කියා දෙන්නේ නැහැ. ඊනියා පරම සත්‍යයක් විශ්වාස කරමින් පරම සත්‍යය දැන ගැනීමට තමයි ඔවුන් උත්සාහ කරන්නේ. පරම සත්‍යය යන්න බුදුහමෙහි කියැවෙන පරමාර්ථය නොවන බව බොහෝ බෞද්ධයන් දන්නේ නැහැ. ක්‍රිස්තියානි අධ්‍යාපනයේ බලපෑම හමුවේ ඔවුන් ඊනියා පරමාර්ථ සත්‍යයක් ගැන කියවනවා.

 

අද ඩිජිටල් තාක්‍ෂණයත් සමග ලෝකය බැඳිලා. බැඳී ඇත්තේ බටහිර ක්‍රිස්තියානි සංස්කෘතියට. අධ්‍යාපනයත් සමග ලෝකය අද වේගයෙන් ජාතිකත්වවලට විරුද්ධ යනවා. ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ මැතිවරණ ප්‍රතිඵලවලින් හා තායිලන්තයේ මැතිවරණ ප්‍රතිඵලවලින් පෙන්වන්නේ එයයි. මෝදිගේ හින්දුත්වයට තායි රාජ්‍යත්වයට තර්ජනයක් එල්ල වෙලා. එහෙත් චාල්ස්ගේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි මෞලිමංගල්‍යයට මුළු ලෝකයම සහභාගි වෙනවා. එහි ඇති ක්‍රිස්තියානිය පඬිනැට්ටන්ට ප්‍රශ්නයක් නො වෙයි. ඔවුන් ඉන්නෙත් කිඳා බසින්න බැරි වුණත් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි.  

 

මෙරට පරගලය බටහිරයන්ගේ හා ඉන්දියාවේ සැලසුමක්. එය සිංහල බෞද්ධ සංස්කෘතියට හා යම් ජාතිකත්වයක් තිබූ ගෝඨාභයට හා මහින්දට එරෙහි සැලසුම් කෙරුණක්.  එය ක්‍රියාත්ම කර ගත හැකි වුයේ අර අධ්‍යාපනයෙන් මුසපත් වී ඇති වරද්දාගත් පරම්පරාව නිසා. විමල් එහි දී පොඩි උත්තේජකයක් වුණා පමණයි. ආසියාවේ බොහෝ රටවල මේ වරද්දා ගත් පරම්පරාව දැක ගන්න පුළුවන්.     

 

අපට ඉතිහාසය හා පුරාවිද්‍යාව ඉගෙනීමට සිදුව ඇත්තෙත් බටහිර ක්‍රිස්තියානි අච්චුවේ ඔවුන්ගේ ප්‍රවාද (කතන්දර) පදනම් කරගෙන. ජී සී මැන්දිස් පූජකවරයා තමයි මෙරට විශ්වවිද්‍යාලවල උගන්වන ඉතිහාසයේ පියා. ඔහු ක්‍රිස්තියානි සංස්කෘතිය අනුව පියතුමකු කියා මා දන්නේ නැහැ. එහෙත් ඔහු මෙරට ශාස්ත්‍රාලයීය ඉතිහාසයේ පියා. ඔහුගේ ගෝල බාලයන් මහාවංසය විවේචනය කරන්නේ ක්‍රිස්තියානි ඇසකින්. එහෙත් මෙරට සුපිරි ජාතිකවාදීන් ඔවුන්ට විරුද්ධ කතා කරන්නේ නැහැ. එහෙත් මා විජයට පෙර මෙරට මිනිසුන් හිටියේ යැයි කී සැණින් ඔවුන් අමනුෂ්‍යයන්ට මිනිස් වෙස් ගැනීමට පුළුවන් බව මට ප්‍රත්‍යක්‍ෂයෙන් දැන ගන්න සලස්වනවා.

 

අද රනිල් මෙරට ඉතිහාසය වෙනස් කිරීමට කටයුතු කරන බව පැහැදිලියි. ඔහු ඉතිහාසය ගැන උනන්දුවක් දක්වනවා. එය වැදගත්. ඔහු ඉතිහාස අධ්‍යයන ආයතනයක් පටන් ගන්න යනවා. එයත් වැදගත්. එහෙත් ඔහුට අවශ්‍ය ඉතිහාසය කුමක් ? එය වඩාත් වැදගත්. මෙරට යම් ආකාරයක ඉතිහාසයක් මෙරට සංස්කෘතියට සාපේක්‍ෂ ඉදිරිපත් කෙළේ ඉතිහාසඥයන් නොව පුරාවිද්‍යාඥයන් යැයි කියන කිහිප දෙනෙක්. හැම පුරාවිද්‍යාඥයකු එසේ කළා යැයි මා කියන්නේ නැහැ.  අද රනිල්ට අවශ්‍ය පුරාවිද්‍යාඥයන් කිහිප දෙනාත් අකර්මණ්‍ය කිරීමට. එමගින් ව්‍යවස්ථාවටත් විරුද්ධ බුදුසසුනත් නාය යෑමට සැලැස්වීමට. (මතු සම්බන්ධයි).