Main Logo

Sunday, 12 January 2014

වස විස, බටහිර විද්‍යාව හා සිංහලකම - 1


අද වන විට බොහෝ ජනමාධ්‍ය පමණක් නොව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද වස විස නැති ආහාර ගැන කතාකිරීම අරඹා ඇත. එය යහපත් ය. ඒ ඇතැම් ජනමාධ්‍යවලට හා සංගම්වලට අනුව සියල්ල ඇරඹී ඇත්තේ ඔවුන්ගෙන් පසුව ය. එසේ කීම පෘථග්ජන ය. ජනාධිපතිතුමා පවා අද වස විස නැති ආහාර ගැන කතාකරන්නේ තමන් නිසා යැයි සිතන්නෝ ද ජනමාධ්‍යයෙහි වෙති. එසේ සිතීමෙන් තම සිතට සැනසීමක් සතුටක් ලැබෙන්නේ නම් එහි වරදක් නැත. එහෙත් මා දන්නා තරමින් වස විස ඇති ආහාර ගැන මෙන් ම නැති ආහාර ගැන ද කතාව තරමක් පැරණි ය. ආහාරවලට වස විස තොග වශයෙන් එකතුවීමට පටන්ගත්තේ ඊනියා හරිත විප්ලවයෙන් පසුව ය. ඒ හැටේ දශකයේ කතාවකි. එහෙත් එයට පෙර ද ආහාරවලට වස විස එකතු වී ඇත. ලොවේ රසායනික කෘෂිකර්මය ඇරඹුණේ කවදාද ආහාරවලට වස විස එකතුවීම එදින පටන් ගැනිණි. අප අතර සිටින හැට පැන්නන් දන්නා පරිදි මෙරට කෘෂිකර්මය වැරදි මාවතකට වැටුණේ හැටේ දශකයෙහි ය. ඒ එ ජා ප ආණ්ඩුවක් යටතේ ය. ගොවියන්ට නොමිළේ කෘෂි රසායන බෙදා දී (සුද්දන් අපට සිගරට් නොමිළේ දුන් ආකාරයට) බටහිරයෝ අපේ ගොවි මහතුන් සාම්ප්‍රදායික ගොවිකමෙන් (සිංහලකමෙන්) ඈත්කිරීමට කටයුතු කළහ. කුඹුරෙන් මිහරකුන් ඈත්කර ට්‍රැක්ටර් යෙදවීමට අපට උපදෙස් දුන්නේ මූමා නමැති ඊනියා විශේෂඥවරයෙකි. නමින් මූමා වූ ඔහු මීමුන්ට විරුද්ධ විය. අද වන විට කෘෂිකර්මයෙහි භූතයන් මෙන් ම සුනාමි ද දැකිය හැකි ය. පැහැදිලිව ම දේශීය ගොවිකම ඒ සමග සුනාමියකට හසු වී ඇත. හැටේ දශකයෙහි ම ඊනියා හරිත විප්ලවය විවේචනය කළ රනිල් සේනානායක මහතා වැනි අය වූහ. එහෙත් එකළ බටහිර පට්ටපල් බොරු විද්‍යා බොරු වළෙහි වැටී සිටි අපට ඒ විවේචන නො ඇසුණේ ය. වස විස ඇති ආහාර බටහිර විද්‍යාවේ හා තාක්‍ෂණයෙහි ප්‍රතිඵලයකි. බටහිර විද්‍යාව හා තාක්‍ෂණය යනු බටහිර ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි ප්‍රතිඵලයකි. අධාර්මික වෙළඳාම, පරිසරය සූරාකෑම, පෞද්ගලිකත්වය විසින් සාමූහිකත්වය පරදවනු ලැබීම, ධනපති ක්‍රමය ආදිය බටහිර විද්‍යාව හා තාක්‍ෂණය සමග බැඳී ඇත. ඒ සියල්ල පිටුපස ඇත්තේ ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය ය. 

බටහිර පට්ටපල් බොරු විද්‍යා බොරු වළෙන් මට ගොඩ ඒමට හැකිවූයේ අසූවේ දශකයේ මුළ ය. මට එයට ආධාර වූයේ ද බටහිර විද්‍යාවේ පරස්පර ය. විශේෂයෙන් ම ක්වොන්ටම් භෞතික විද්‍යාව ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය සමග නොපෑහෙන බව ඒ විෂය කොළඹ විශ්වවිද්‍යාලයේ උගන්වමින් සිටි මට අවබෝධ විය. චින්තනය යන සංකල්පය අසූහය වසර වන විට නිර්මාණය කරගත හැකි විය. එකල මා ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය හැඳින්වූයේ යුදෙවු චින්තනය ලෙස ය.එහි ඥාන විභාගය, ආකල්ප හා දර්ශනය පිළිබඳ  කෙටි විස්තරයක් මගේ ලෝකය කෘතියෙහි සඳහන් වෙයි. ඒ දිනවල දිවයින බදාදා අතිරේකයෙහි දේශීයත්වය මුල්කරගෙන  ලිපි රාශීයක් පළවිණි. දිවයින බදාදා අතිරේකය මෙන් ම ඉරිදා දිවයින ද මෙරට මෑත කාලයෙහි සිංහලකමේ බිජුවට වැපිරීමට දුන් ආධාරයට අලගු තැබීමට අද තමන් ගැන මහා ආඩම්බරයෙන් කතාකරන බොහෝ ජනමාධ්‍යවලට නො හැකි ය. ගුණදාස අමරසේකර මහතා බටහිරයකුගෙන් ලබාගත් ජාතික චින්තනය යන අදහස දිවයින වාදවල ප්‍රධාන දේශපාලන මාතෘකාව වූ නමුත් ඒ මහතා දායක නොවුණු දේශීයත්වයක් (සිංහලකමක්) ගැන සාකච්ඡාවක් ද දිවයින පිටුවල දැකගත හැකි විය. ඒ සාකච්ඡාවට සහභාගී වූවන් අතර ධර්මසේකර මහතා (දැන් අනගාරික ධර්මසේකරතුමා), ඩී ජී හපුතන්ත්‍රී ආදී විවිධ නම්වලින් ලිපි සැපයූ සූරිය ගුණසේකර මහතා කැපී පෙනෙති. ගුණසේකර මහතා අද සිංහල බෞද්ධ සංස්කෘතියෙහි ඊනියා නැවැත්ම හෙළ ශිව සංස්කෘතිය යැයි නම් කළ හැකි සංස්කෘතියක පැවැත්මට යටකිරීමට උත්සාහ කරණ, කොඩ්රින්ටන්ලාට මුවා වී මහාවංසයට හා බුදුදහමට බැටදෙන ශිව රාවණලා (අද මහා ඇමති විග්නේෂ්වරන් ද දෙමළ ශිව රාවණ කෙනකු ගැන කතාකරයි) සමග එකතු වී ඇති නමුත් එකල ඒ මහතා උපදෙස් ලබාගත්තේ ගොවියකු වූ අගමැති අයියා හෙවත් මුදියන්සේ තෙන්නකෝන් මහතා හා බොරුපන වෙදමහතා ගෙනි. එකල අපේ පවුලේ වෛද්‍යවරයා ලෙස සැලකිය හැක්කේ බොරුපන වෙදමහතා ය. මේ අද ඊයේ නොව අසූවේ දශකයෙහි ය. අගමැති අයියා කොළඹ විශ්වවිද්‍යාලයෙහි ගවේෂකයන්ට ගොවිකම හා වැව ගැන දේශනයක් පැවැත්වී ය.  

සිංහලකම ඇත්තේ මහණකමෙහි,  ගොවිකමෙහි හා වෙදකමෙහි ය. අද බිබිල ප්‍රදේශයෙහි ගස් මහණකිරීමක් සිදුවන්නේ ඒ කරුණු තුන එක්කිරීමෙනි. මහණකම නොමැතිව සිංහලකමක් නැති බව බෞද්ධ විරෝධී ශිව රාවණාලාට මතක්කර දිය යුතු ය. ඒ කුමක් වුවත් අපේ ආහාරයට වස විස එකතු වී ඇත්තේ අප සිංහලකමෙන් බැහැරකර තුට්ටු දෙකේ අනුකාරක බටහිර විද්‍යාඥයන් බවට පත්කර ඇති බැවිනි. විදුසර, දිවයින, දි අයිලන්ඩ් හා මෑතක සිට ඩේලි නිවුස් පුවත්පත හැරෙන්නට අනෙක් ජනමාධ්‍යවල බටහිර විද්‍යාව විවේචනය කිරීමට ඉඩක් නැත. එහෙත් අපට වස විස නැති ආහාරවලට ආපසු යා හැක්කේ බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුමේ අධර්මය හෙළිදරවු කිරීමෙන් පමණකි. බටහිර විද්‍යාවේ (දැනුමේ) ආධිපත්‍යය බිඳ නොහෙළා සිංහලකමක් ඇතිකිරීමට කතාකරන ව්‍යාජ ජාතිකවාදීන්ට හා බොරු කොණ්ඩාකාරයන්ට පිළිතුරු දෙමින් බටහිර විද්‍යාව පට්ටපල් බොරු බව පැහැදිලි කිරීමේ රැස්වීමක්් මේ මස විසිතුන්වැනි දා මහනුවර දී පැවැත්වෙයි. බටහිර දැනුම හැකි නම් සිංහල සංස්කෘතියට අවශෝෂණය කිරීම එකකි. වහලුන් ලෙස බටහිර දැනුම අනුකරණය කිරීම තවත් එකකි. අසූවේ දශකයේ සිට කෘෂිරසායනික කෘෂිකර්මයට විරුද්ධව සිංහලකමක් වෙනුවෙන් අප බොහෝ දෙනකු කතාකර ඇති නමුත් එය ජනතාවගේ අවධානයට යොමු නො වී ය. එයට ප්‍රධාන හේතුු දෙකක් විය. එකක් අපට බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුම ධාතුකරඬුවක් ලෙස සැලකීමට පුරුදුකර තිබීම ය. බටහිර දැනුමේ ඉහළින් ම ඇත්තේ බටහිර වෛද්‍ය විද්‍යාවවත් බටහිර ඉංජිනේරු විද්‍යාවවත් නොව බටහිර ගණිතය හා බටහිර භෞතික විද්‍යාව ය. එයට අමතර ව බටහිර ඥානවිභාගය (එපිස්ටමොලජි) වෙයි. ඒ ගැන ප්‍රමාණවත් අධ්‍යයනයකින් තොරව බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් බව ඊනියා උගතුන්ට අවබෝධ කර ගැනීම අසීරු ය. එහෙත් නූගතුන් යැයි කියන්නන්ට නම් එය ඉතා ඉක්මණින් අවබෝධ වෙයි. බටහිර අනෙක් සියළු දැනුම් බටහිර ගණිතය හා බටහිර භෞතික විද්‍යාව පිටුපස නොන්ඩි ගසන දැනුම් වෙයි. අපට දැනුමක් ලෙස සිංහලකම ජනතාව අතරට ගෙන යෑමට නොහැකිවීමට දෙවැනි හේතුව වූයේ දෙමළ ත්‍රස්තවාදය ය. එය පරාජය කරන තෙක් අඩුම තරමෙන් දෙමළ ජාතිවාදය පිළිබඳ අපේ ප්‍රවාදවත් ජනතාවට ඒත්තු ගැන්වීමට අපට නොහැකි විය. එහෙත් නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසුව එය වෙනස් වී ඇත. බටහිර විද්‍යාව හේතුවෙන් ආහාර විස වීම පිළිබඳ කතාව ජනතාවට වැටහෙන්නට පටන්ගත්තේ කෘෂිරසායනික වකුගඩු රෝගය හා ආසනික් ජනතාවගේ අවධානයට යොමුවීමෙන් පසුව ය. (මතු සම්බන්ධයි)                                 


නලින් ද සිල්වා

2014-01-12