Main Logo

Wednesday 15 January 2014

මම බොරු වළෙන් ගොඩ ආවෙමි - මහාචාර්යවරයා තවමත් එ වළෙහි ය

 
 මා බොරු වළක වැටී ඇති බවත් පඹගාලක පැටලී ඇති බවත් ඩී එස් සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා ග්‍රෙගරියානු දින දර්ශනයට අනුව 2014 නව වසර අරඹමින් විදුසර පුවත්පත මගින් ජනතාවට කියා ඇත. බොරු වළක් ගැන ඒ මහතා සඳහන් කරන බැවින් මේ බොරු වළ කැපුවේ කවුද යන ප්‍රශ්නය ද මතුවෙයි. අංගුලිමාල බුදුන්වහන්සේ අමතමින් මහණ නවතින්න යැයි කීවේ ය. එවිට බුදුන් වහන්සේ දේශනා කළේ තමන් වහන්සේ නැවතී ඇති බවත් අංගුලිමාල නැවතී නැති බවත් ය. මා අමරතුංග මහතාට කියන්නේ මා ගැලීලියෝ කැපූ බොරු වළෙන් ගොඩ වී දැන් අවුරුදු විසිපහකට වැඩි බවත් ඒ මහතා නම් තමා පාසල් සමයේ වැටුණු බොරු වළේ තවමත් සිටින බවත් ය.

ඉහත සඳහන් කියමන සාදෘශ්‍යයක් (analogy) පමණකි. එය සර්වසාම්‍යයක් නො වේ. එයින් මා බුදුන් වහන්සේ සමග සංසන්දනය කිරීමක්වත් අමරතුංග මහතා අංගුලිමාල සමග සංසන්දනය කිරීමක්වත් සිදුවන්නේ නැත. අමරතුංග මහතාට සාදෘශ්‍ය ගැන වැටහීමක් නැති බව පැහැදිලි ය. කෙසේ වෙතත් අංගුලිමාල නැවතුණේ ය. එහෙත් අමරතුංග මහතා මේ භවයේ දී වළෙන් ගොඩ නොඑනු ඇත. ඔහුට ඒ සඳහා වාසනාවක් නොමැති වීම ගැන මා කුමක් කරන්න ද? තිලෝගුරු බුදුපියාණන් වහන්සේට තිබූ හැකියාවන්ගෙන් අංශු මාත්‍රයක්වත් ගුරුවරයකු ලෙස මට නැත.

අප සාදෘශ්‍යයකින් බලාපොරොත්තු වන්නේ ඒ සාදෘශ්‍යය මුළුමනින් ම සර්වසාම්‍යයක් ලෙස යොදාගැනීම නො වේ. අද මා පළ කරන මතවලට අමරතුංග මහතා වැන්නන් විරුද්ධ වන ආකාරයෙන් එදා ගැලීලියෝ පළකළ මතවලට ද විරුද්ධ වුවෝ සිටියහ. එයින් මා ගැලීලියෝ සමග සංසන්දනය කෙරෙන්නේවත් අමරතුංග මහතා එකල සිටි උගතුන් සමග සංසන්දනය කෙරෙන්නේවත් නැත. ඒ බව කුඩා දරුවෙක් වුව ද දනියි. එබැවින් අමරතුංග මහතා මා ලජජාවක් නැතිව ගැලීලියෝගේ තත්ත්වයට පත්කරගෙන ඇතැයි කියන්නේ ඔහු තවමත් කුඩා දරුවකු දන්නා දෙයවත් නොදන්නා බැවිනි. මට කිසිසේත් ම පට්ටපල් බොරු කියූ ගැලීලියෝගේ තත්ත්වයට පත්වීමට අවශ්‍ය නැත.    

අනෙක් අතට අමරතුංග මහතා සංගත ව කරුණු ඉදිරිපත් කිරීමට නො දනියි. මා ගැලීලියෝගේ තත්ත්වයට පත්කරගෙන ඇතැයි කියන ඒ මහතා ඒ කටින් ම තමා මා කොපර්නිකස්ගේ වැනි විප්ලවයක් කරන තුරු බල සිටින බවත් එදා කොපර්නිකස්ට විරුද්ධවූවන් එසේ කළේ සාක්‍ෂි සහිත ව ඉදිරිපත් කරන ලද මතයකට බවත් එහෙත් අද තමන් විරුද්ධ වන්නේ මා සාක්‍ෂි රහිතව ඉදිරිපත් කරන මතයකට විරුද්ධව බවත් කියයි. අමරතුංග මහතා සාදෘශ්‍යයක් සර්වසාම්‍යයක් නොවන බව එයින් අවිඥානික ව වුවත් නො කියන්නේ ද? අමරතුංග මහතා කියන ආකාරයට ඔහු වැන්නන් හා කොපර්නිකස්ට විරුද්ධ වූවන් අතර වෙනසක්බ ඇත! අමරතුංග මහතාට තම අසංගත බව නොතේරෙන්නේ ඔහු කිසිදා සංගත වීමට උත්සාහ දරා නැති බැවිනි.

ඒ මහතා අවිනිශ්චිතභාවය හා අසංගතභාවය පටලවා ගෙන ඇති බව අසංගතභාවය යන තේරුම ඇති ඉන්කන්සිස්ටන්සි (inconsistency) යන පදය අවිනිශ්චිතභාවය යන්න සඳහා යොදාගෙන තිබීමෙන් පැහැදිලි වෙයි. අමරතුංග මහතා මෙරට බොහෝ පඬියන්ගෙන් වෙනස් නො වෙයි. ඔහු තම පඬිබව පෙන්වීමට වචනවලින් දමා ගසයි. එහෙත් වචනවලින් කියැවෙන්නේ කුමක් ද යන්න පිළිබඳව ඔහුට නිරවුල් අවබෝධයක් නැත. මෙරට ඊනියා උගතුන් හා ඉලෙක්ට්‍රොනික ජනමාධ්‍යවල නිවේදක නිවේදිකාවන් අතර වෙනසක් නැත. දෙපිරිස ම අවබෝධයක් නොමැතිව වචනවලින් දමා ගසති.

කෙසේ වෙතත් කොපර්නිකස් කළ විප්ලවයක් නැත. සූර්ය කේන්ද්‍රවාදය ක්‍රි ව හයවැනි සියවසේ පමණ පළකර ඇති ආර්යභට්ටයන්ගේ කෘතිවල ද දැක්වෙයි. තෙල්මේ නැටුමෙහි නිදර්ශනය වන්නේ පෘථිවිය තමන් වටා භ්‍රමණය වෙමින් තම ගමන් මාර්ගයට ආනත වෙමින් සූර්යයා වටා චලනය වන අන්දම ය. කොපරනිකස් පෝලන්තයේ සිට ඉතාලියට ගෙන ගියේ අපේ රටවල තිබූ දැනුම ය. ඔහු අමරතුංග මහතා කියන ආකාරයට නිරීක්‍ෂණය හා ගණිතය යොදා ගනිමින් ලබාගත් දැනුමක් නැත.

කොපර්නිකස් යොදාගත් ගණිතය කුමක් දැයි හෝ අමරතුංග මහතා කියන ආකාරයට නම් ගැලීලියෝට පෙර දුරේක්‍ෂයක් නොමැතිව කොපර්නිකස් කළ නිරීක්‍ෂණය කුමක් දැයි හෝ උගත් මහාචාර්යතුමා අපට පවසන්නේ ද? පාඨකයා රැවටීම සඳහා කොපර්නිකස් නිරීක්‍ෂණ හා ගණිතය යොදා ගනිමින් පොළොව හිරු වටා ගමන්කරන බව දැනගත්තේ යැයි කීම අමරතුංග මහතාගේ හිතළුවක් නොවේ නම් බටහිරයන්ගේ තවත් පට්ටපල් බොරුවකි. මෙරට ඊනියා උගත්තු තමන් නිසියාකාරව නොදන්නා දේ පාඨකයන්ට කියාපාන්නේ එමගින් පාඨකයන් රැවටේ යැයි සිතා ගෙන ය. කොපර්නිකස් ඊනියා සාක්‍ෂි සහිත ව ඉදිරිපත්කළ දැනුමක් නැත. හැකිනම් ඒ සාක්‍ෂි කවරේදෑයි බයිබල් ක්‍රමයටවත් පොත, පරිච්ඡෙදය හා පිටුව සඳහන්කර ප්‍රකාශ කරන මෙන් අමරතුංග මහතාගෙන් ඉල්ලා සිටිමි.  

අමරතුංග මහතා තෙල්මේ නැටුම  ගැන දන්නේ නම් කොපර්නිකස් සාක්‍ෂි සහිතව ඉදිරිපත් කළ මතයක් ගැන නො කියනු ඇත. ඔහු ගුණදාස අමරසේකර මහතාගේ ගණයේ ජාතික චින්තකයෙකි. ඔවුන් දෙදෙනා ම මාර්ටින් වික්‍රමසිංහ මහතා මෙන් ම ඊනියා යථාර්ථවාදී සාහිත්‍යයක් ගැන කතා කරන්නේ මෙරට තිබූ කතාකීමේ කලාව ඊනියා යථාර්ථවාදයක කොටුකර ගත නොහැකි බව තේරුම් නොගෙනීමෙනි. ඔවුන් ඊනියා ජාතික චින්තනයක් ගැන කියවන්නේ මෙරට තිබූ දැනුම හෝ දැනුම නිර්මාණය කළ අන්දම හෝ අධ්‍යයනය කිරීමකින් තොරව බව පැහැදිලි ය. පෘථිවියේ චලිතය පිළිබඳ අපේ රටවල තිබූ දැනුම පිළිගැනීමට අමරතුංග මහතා සූදානම් නැත. ඔහු දන්නේ හා පිළිගන්නේ ඔහුට පාසලේ දී කියා දුන් බොරු දැනුම හා ජනප්‍රිය පොත්වල කොපර්නිකස්, ගැලීලියෝ, නිවුටන් ආදීන් ගැන සඳහන් බොරු පමණ ය.

පෘථිවියේ චලිතය පිළිබඳ ව කොපර්නිකස්ට තබා ගැලීලියෝටවත් කිසිම සාක්‍ෂියක් නො තිබිණි. ඒ බව මා කිහිප වරක් ම කියා ඇති නමුත් අමරතුංග මහතා පිළිගන්නේ බටහිරයන්ගෙන් ඔහු ලබාගත් බොරු දැනුම පමණකි. පොළොව ගමන් කරන බවට ගැලීලියෝට තිබූ සාක්‍ෂි කවරේ දැයි අමරතුංග මහතා පවසන්නේ ද? බටහිර ජනප්‍රිය පොත්වල ඒ පිළිබඳ කුමක් කියා ඇත් ද? පාප්වහන්සේ ගැලීලියෝට පොළොව ගමන් කරන්නේ ය යන්න ඉගැන්වීමට ඉඩ නොදුන්නේ ගැලීලියෝට ඒ බව ඔප්පුකිරීමට එකල තිබූ දැනුම් පද්ධතියෙහි, දැනුම් රාමුවෙහි, සාක්‍ෂි නොතිබූ බැවිනි.

පොළොව ගමන් නොකරන බවට නම් සාක්‍ෂි තිබිණි. පාප්වහන්සේ හා එකල සිටි උගත්තු ඒ බව ඔප්පු කළහ. ඔප්පු කිරීම යන්න වැදගත් වන්නේ මෙවැනි කරුණු හේතුකොට ගෙන ය. යමක් ඔප්පු කළ හැක්කේ යම් රාමුවක ය. එකල තිබූ දැනුම් පද්ධතියට, එනම් ඒ රාමුවට අනුව, පොළොව චලනය වන්නේ නම් නටුවෙන් ගිළුහුණු පොල් ගෙඩියක් වැටිය යුත්තේ තරමක අතිශයෝක්තියකින් වුවත් අල්ලපු වත්තේ ය. පොල් ගෙඩිය වැටෙන අතර පොළොව යම් දුරක් චලනය වන්නේ නම් පොල් ගෙඩිය පොල් ගහ මුල වැටීමට නො හැකි ය. එහෙත් පොල් ගෙඩිය වැටෙන්නේ ගහ මුල බැවින් පොළොව චලනය වන්නේ ය යන උපකල්පනය වැරදි විය යුතු ය.

පාසලේ ද ඉගැන්වෙන බටහිර යුක්ලීඩීය ජ්‍යාමිතියෙහි මෙවැනි තර්ක යොදා ගැනෙයි. එය ඇරිස්ටෝටලීය න්‍යායෙන් ලබාගත් තර්ක ක්‍රමයකි. එයට පාරිභාෂික ශබ්දමාලාවෙහි අභූත න්‍යාය (reductio ad absurdum  මෙයට අභූත ඌනිතය යැයි කීවේ නම් මැනවි. න්‍යාය යනු ලොජික් විය යුතු ය) යැයි කියැවෙයි. යම් ප්‍රස්තූතයක් උපකල්පනය කර ඇරිස්ටෝටලීය න්‍යායට අනුව නිගමනවලට පැමිණ ඒ නිගමනයෙහි පරස්පර් ඇති බව පෙන්වීම හා එමගින් උපකල්පනය වැරදි බව පෙන්වීම අභූත න්‍යාය ය. පොළොව චලනය වන්නේ යැයි උපකල්පනය කෙරෙයි. ඉන් ලැබෙන නිගමනයට අනුව පොල් ගෙඩිය ගහ මුල වැටිය නො හැකි ය. එහෙත් පොල් ගෙඩිය වැටෙන්නේ ගහ මුල ය. එහි පරස්පරයක් වෙයි. එබැවින් පොළොව චලනය වන බවට කරන ලද උපකල්පනය වැරදි ය. අමරතුංග මහතාට මේ තර්කය බිඳ පොළොව චලනය වන බව පෙන්විය හැකි ද? අහවලා මෙසේ කියා ඇත වැනි ප්‍රකාශ මෙහි දී නොපිළිගනිමු. අහවලා එසේ කියා ඇත්තේ කිනම් දත්ත, තර්ක මත  දැයි පැහැදිලි කළ යුතු ය.

අමරතුංග මහතා ඇතැම් විට නොදන්නවාට ගැලීලියෝට පෙරත් ඉන් පසුවත් බටහිර විද්‍යාඥයන් යොදාගන්නේ ඇරිස්ටෝටලීය න්‍යාය ය. බටහිර දන්ත වෛද්‍ය විද්‍යාවෙහි වෙනත් න්‍යායක් යොදා ගන්නේ නම් අමරතුංග මහතා ඒ කුමක් දැයි කියන්නේ ද? බටහිර විද්‍යාවට ඇරිස්ටෝටලීය නොවන න්‍යායක් නැත. රිචඩ් ෆයින්මාන් ද පවසා ඇති ආකාරයට බටහිර භෞතික විද්‍යාඥයන්ට ක්වොන්ටම් භෞතිකය නොතේරෙයි (සමීකරණ ලිවීමට හැකිවීම යන්නෙන් තේරුම් ගත් බවක් නො කියැවෙයි). එයට  හේතුව ක්වොන්ටම් භෞතිකය ඇරිස්ටෝටලීය න්‍යායට පටහැණි වීම ය.

ගැලීලියෝට ද ඇරිස්ටෝටලීය නොවන න්‍යායක් නො තිබිණි. එබැවින් ඔහු කළේ රාමුව මාරු කිරීම ය. පොළොව චලනය වන්නේ ය යන්නෙන් බටහිරයන් අදහස් කළේ එය “නිරපේක්‍ෂ” චලිතයෙහි යෙදෙන බව ය. ඔවුහු එකල වෙනත් චලිතයක් නොදැන සිටියහ. කොපර්නිකස්ට පෙරදිගින් ලැබුණු දැනුමට අනුව පොළොව චලනය විය. එය තෙල්මේ නැටුමෙහි දැක්වෙන ආකාරයට සංකීර්ණ චලිතයකි. ඒ සංකීර්ණ චලිතය කාහට, කිනම් නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂ ද? ප්‍රශ්නය වූයේ එතැන ය. බටහිරයන්ට එකල සාපේක්‍ෂ චලිත නො වී ය. ඔවුන්ගේ චලිත “නිරපේක්‍ෂ” විය. කෙටියෙන් කිවහොත් ඔවුන්ට චලිතය යනු චලිතය විය.

එහෙත් පෙරදිග සාපේක්‍ෂ චලිත විය. පොළොවේ සිටින අපට සාපේක්‍ෂව සූර්යයා චලනය වෙයි. අපේ පංචෙන්ද්‍රිය ගෝචර දැනුම, ප්‍රත්‍යක්‍ෂය, එයයි. එහෙත් ආධ්‍යාත්මික ව දියුණු තත්ත්වයකට පත්වූවනට පොළොව ගමන් කරන බව ද පෙනිණි. ඒ ඇසට පෙනුණක් නොව මනසට පෙනුණකි. මනස ඉන්ද්‍රියයක් ලෙස නොසලකන, මනස දියුණු නොවුණු ගැලීලියෝ ඇතුළු බටහිර බුද්ධිමතුනට ඒ චලිතය නො පෙනිණි. ගැලීලියෝ පංචෙන්ද්‍රියන්ට ගෝචර නොවන සංකල්පයක් ලෙස සාපේක්‍ෂ චලිතය බටහිරයන්ට ඉදිරිපත් කළේ ය. එය මනසට පෙනුණු චලිතයක් නො වී ය. ගැලීලියෝගේ සාපේක්‍ෂ චලිතය  වියුක්ත විය. වියුක්තය පට්ටපල් බොරුවකි. මෙය තවදුරටත් පසුව සාකච්ඡා කරමු.

අමරතුංග මහතා නගන සියළු ප්‍රශ්නවලට පිළිතුරු දිය හැකි ය. ඒ මහතා කරන ආකාරයෙන් හුදු ප්‍රකාශ නිකුත් කිරීම මට නුහුරු ය. මා ප්‍රකාශ කරන දේ හැකිතාක් දුරට පැහැදිලි කිරීමට උත්සාහ ගැනීම මගේ ප්‍රතිපත්තිය වෙයි. බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් බව දැනටමත් පෙන්වා දී ඇත. එහි දී බටහිර විද්‍යාව යොදා ගැනීමට කිසිසේත් ම අවශ්‍ය නො වී ය. බටහිර විද්‍යාවේ ඇති ප්‍රවාද වියුක්ත ය. ඒ පංචෙන්ද්‍රියයන්ට ගෝචර නොවන හුදු කතන්දර පමණක් වෙයි. ගුරුත්වාකර්ෂණය යනු අත්හරින ලද වස්තු පොළොවට වැටෙන්නේ ඇයි ද යන ප්‍රශ්නයට පිළිතුරු දීමට නිවුටන් ගෙතූ පංචෙන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂයක් නොවන වියුක්ත කතාවක් පමණකි. අමරතුංග මහතාට පිළිතුරු දෙමින් මේ සියල්ල පැහැදිලි කරන රැස්වීමක් මේ මස විසිතුන්වැනි දා සවස 2.30ට මහනුවර තැපැල් ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙයි. චින්තන පර්ෂදයෙන් සංවිධානය කෙරෙන, පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් මුලසුන හොබවන එයට සහභාගි වන ලෙස අමරතුංග මහතාට ආරාධනය කරමි.


නලින් ද සිල්වා

2014-01-15