Main Logo

Sunday 19 January 2014

වස විස, බටහිර විද්‍යාව හා සිංහලකම – 2


සිංහල වෙදකම, ගොවිකම, බටහිර කෘෂිකර්මයේ වස විස ආදිය ගැන අවුරුදු විසිපහකට අධික කාලයක් තිස්සේ මෙරට සාකච්ඡාවට බඳුන් වී ඇති නමුදු එය සමාජයේ පිළිගැනීමකට ලක් නොවීමට ප්‍රධාන හේතුව බටහිර විද්‍යාවේ ආධිපත්‍ය ය. බටහිර විද්‍යාවේ ආධිපත්‍යට එරෙහිව කෙරෙන විවේචනය කිසිවකුගේවත් අවධානයට යොමු නොවිණි යැයි කීම අතිශයෝක්තියක් නො වේ. එහි දී දෙමළ ත්‍රස්තවාදයෙහි බලපෑම ද අධික වූයේ බොහෝ දෙනාට වෙනත් කරුණක් ගැන සිතීමට පවා අවකාශයක් නොවූ බැවිනි. දෙමළ ත්‍රස්තවාදය පැරදවීමේ දී ද අපට එරෙහි වූ ප්‍රධාන කරුණක් වූයේ බටහිර විද්‍යාව ප්‍රමුඛ බටහිර දැනුම ය. බටහිර ඊනියා යුද්ධ විශේෂඥයන් ඇතුළු පඬියෝ කොටි ත්‍රස්තවාදීන් පැරදවීමට නොහැකි යැයි අපට කීවෝ ය. බටහිර දැනුම ඉදිරියේ වැඳ වැටෙන මෙරට සරසවි ඇදුරන් රාජ්‍ය නොවන බැළයන් ඇතුළු සියළු ආකාරවල පුස්සෝ හා නිවටයෝ බටහිර දැනුම් ආධිපත්‍යයේ මහිමයෙන් තම ඊනියා පඬිබවට මුවා වී බටහිර මත පුනරුච්චාරණය කළහ. එහෙත් මොවුන්ගේ හිස් බව ඒත්තු ගන්වමින් වීරෝදාර රණවිරුවෝ ජනාධිපතීතුමාගේ දේශපාලන නායකත්වය හා ආරක්‍ෂක ලේකම්තුමාගේ මගපෙන්වීම යටතේ කොටින් පැරදවූහ. එදා මෙන් ම අද ද පඬියෝ බටහිරයන් කියන ආකාරයට ම ඊනියා  මානව අයිතීන් කඩකිරීම පිළිබඳ කොමිසම් පත්කිරීමට කියා සිටිති. එ ජා පක්‍ෂයේ ලක්‍ෂමන් කිරිඇල්ල කියන්නේ බටහිරයන්ට අවශ්‍ය අන්දමට කොමිසම් පත්නොකිරීම පිළිබඳ ආණ්ඩුව වැරදිකරු කියා ය. ඕනෑම ගොනකුට යුද්ධ කළහැකි යැයි කී අයට මෙහෙයුම්වල දී සිදු වී යැයි කියන වැරදි ගැන ආණ්ඩුවට දොස් කීමට ඇති අයිතිය කුමක් ද? එ ජා පක්‍ෂයට එදා අවශ්‍ය වූයේත් අද අවශ්‍ය වන්නේත් බටහිරයන්ට අවශ්‍ය ආකාරයට උතුරු හා නැගෙනහිර පළාත් දෙමළ ජාතිවාදයට පාවා දීම ය.

රැප් නම් ඇමරිකානු නිලධාරියා මෙරටට පැමිණියේ ඊනියා මානව අයිතිවාසිකම් කඩවීම් පිළිබඳ චෝදනා ගොනු කිරීමට ය. එහෙත් ඔහු කළේ විනිසුරුවකු ලෙස හමුදාව පොකුරු බෝම්බ දැමීම, රසායනික ආයුධ යොදාගැනීම පිළිබඳ හමුදාවට විරුද්ධව තීන්දුවක් දීම ය. රැප් ද රායප්පු ජෝසෆ් හා සවුන්ද්‍රනායගම් බිෂොප්වරුද තීන්දු දෙන්නෙන් හෙළි නොකරණ ඇසින් දුටු සාක්‍ෂි පදනම් කරගනිමිනි. සාක්‍ෂි ඉදිරිපත් නොකර ඔවුහු රටේ ජාතියේ හමුදාවේ රාජ්‍ය නායකයාගේ කීර්ති නාමයන්ට එරෙහිව කටයුතු කරති. අද කළ යුත්තේ ඔවුන්ට අපහාස නීතිය යටතේ චෝදනා ඉදිරිපත් කිරීම ය. එහෙත් නීතිය අපේ නොව බටහිරයන්ගේ ය. එය අපට හරස් වෙයි.  එබැවින් කළ යුත්තේ බටහිරයන්ට බිය නොවී නීතිය (එනම් ඒ දැනුම) අපට අවශ්‍ය ආකාරයට වෙනස් කිරීම ය. ඇතැම් බටහිරයන් කියන්නේ සාක්‍ෂිකරුවන්ගේ ආරක්‍ෂාව සඳහා අවුරුදු විස්සක් යනතුරු නම් හෙළි කළ නොහැකි බව ය. ඒ අනුව නම් පරීක්‍ෂණ පැවැත්විය හැක්කේ අවුරුදු විස්සකට පසුව ය.

කෙසේ වෙතත් බටහිර විද්‍යාව ද නීතිය ද හමුදා කටයුතු ද ඇතුළු සියළු බටහිර දැනුම් මගින් අද අප පාලනය කෙරෙයි. අපට ඇත්තේ අපේ නොවූ අපේ ම දැනුමකි. මෙරට පැරණි දැනුම ගැන එක් රූපවාහිනී නාලිකාවක් මගින් පැවැත්වූ සාකච්ඡාවක දී එයට සහභාගිවූවකු කියා සිටියේ පැරණි දැනුමේ (බටහිර) විද්‍යාත්මක බව පෙන්විය යුතු බව ය. ඔහුට අනුව කාලෝ ෆොන්සේකා එසේ පෙන්වා දෙන විද්වතෙකි! අපේ වෙදමහත්වරු බොහෝ දෙනෙක් බටහිර වෛද්‍ය විද්‍යාවට බියෙන් පසුවෙති. අද කෘෂි රසායනික කෘෂිකර්මයට පක්‍ෂ ව කතාකරන්නෝ බටහිර විද්‍යාඥයෝ ය. රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ සභාපතිට අනුව බටහිර වෛද්‍යවිද්‍යාවේ නැණට ගුණ ටිකක් එකතු කළහොත් පිටිකිරි ද රසායනික පොහොර ද ආදිය නිසා සිදුවන අහේනි වළකාගත හැකි ය. අවාසනාවකට දැනුම ගැන කතාකරන බොහෝ දෙනාට දැනුම පිළිබඳ බටහිර දැනුමවත් (ඥානවිභාගය – එපිස්ටමොලජි) නැත. ඔවුන් වීමංසාවක් ගැන අසාවත් නැත. එහෙත් ඔවුගු දැනුම ගැන පඬි බයිලා කියති. අප බටහිර දැනුම් පද්ධතිය වුවත් බැලිය යුත්තේ අපේ ඇසෙනි. අපි එය සමස්තයක් ලෙස දකිමු. දෙමළ ත්‍රස්තවාදයට විරුද්ධ (නො)දත්  දොස්තරලා ද තමන් හරිහැටි නොදන්නා ගැලීලියෝලා වෙනුවෙන් පෙනී සිටිති. එහෙත් ගැලීලියෝගේ සාපේක්‍ෂතාව මෙන් ම අයින්ස්ටයින්ගේ සාපේක්‍ෂතාව ද වියුක්ත පට්ටපල් බොරු ය. ඒ බව විසිතුන්වැනි දා මහනුවර තැපැල් ශ්‍රවණාගාරයේ දී හෙළිදරවු කරමි. (නො)දත් දොස්තරලාට හැකි නම් මා වැරදි බව පෙන්වා දෙන ලෙස අභියෝග කරමි.

අද අප හමුවේ ඇති ප්‍රධානතම අභියෝගය බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුමේ ආධිපත්‍යය පරාජය කිරීම ය. බටහිර දැනුම පහළොස්වැනි සියවසේ සිට නිරමාණය වන්නේ ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි ය. හැකි නම් ඒ දැනුමේ යම් යම් දේ අපේ සංස්කෘතියට අවශෝෂණය කිරීම ප්‍රශ්නයක් නො වේ. එහෙත් එය අනුකරණය කිරීම රටට අහිතකර ය. බටහිර දැනුමේ සමස්තයක් ලෙස ගත්කල ඇති ගුණක් නැත. නැණ ද නැත. එබැවින් නැණට ගුණ එකතුකිරීම තකතීරු කතාවකි. අපේ දැනුමෙහි නැණගුණ එකට ගැනෙයි. එහි වෙන් කිරීමක් නැත. සමස්තය සමස්තය ලෙස දැකිය යුතු ය. සමස්තය යනු නිව්ටන්ගේ විද්‍යාවේ කියැවෙන ආකාරයට කොටස්වල එකතුවකි. වකුගඩු බද්ධ කෙරෙන්නේ රථවලට අමතර කොටස් එකතුකරන නිව්ටෝනීය දර්ශනය මත පදනම් වෙමිනි. වකුගඩු රෝගයට සිංහල ප්‍රතිකාර තිබිය දී ආණ්ඩුව බටහිර වෛද්‍යවරුන්ගේ උපදෙස් මත පදනම් වෙමින් රුපියල් කෝටි ගණනින් බටහිර වෛද්‍ය විද්‍යාවට වෙන් කරන්නේ බටහිර දැනුමේ ආධිපත්‍යයට යටවී ය. කෙතරම් කීවත් ආණ්ඩුව අදාළ පෙදෙස්වල වෙදගෙවල් (සායන) පැවැත්වීමට වෙදමහතුන්ට ආධාර නොකරන්නේ බටහිර වෛද්‍ය ආධිපත්‍යයට යට වී ද? කෙසේ වෙතත් කෘෂිරසායනිික වකුගඩු රෝගය නිසා රටට යහපතක් ද සිදු වී ඇත. එය ලෙඩා මළත් බඩ සුද්ද වන ගණයේ එකක් නො වේ. අද ක්‍රමයෙන් ජනතාව බටහිර දැනුමට ඇති බිය නැතිකර ගනිමින් සිටිති. එමෙන් ම මෙරට ඇති දැනුම ලබාගැනීමේ ක්‍රම ගැන බියක් නැතිව බැලීමට පෙළඹෙති. අප කෘෂිරසායනික වකුගඩු රෝගයට හේතු තුනක් දුන්නේ නාථ දෙවියන් නමින් හැඳින්වෙන ප්‍රණියකුගේ ආධාරයෙන් මිස ඊනියා විද්‍යාත්මක පරීක්‍ෂණවලින් නො වේ. මේ පරීක්‍ෂණ ද මොන තරම් බොරු දැයි අප කියා ඇති නමුත් විසිතුන්වැනි දා ද නැවතත් කියමි. අප ඉදිරිපත් කළ හේතු වූයේ ආසනික් (කෘෂිරසායනික නිසා එකතුවන) කිවුල් ජලය හා ආසනික් මිත්‍ර පස ය. මෙරට සිටින බටහිර කසිකබල් විද්‍යාඥයන් ආසනික් ගැන එකඟ නොවන නමුත් අද ඔවුන් බොහෝ දෙනාට පෙරණ බෙදාහැරීම සඳහා වුව ද පානීය ජල ප්‍රශ්නයක් ඇති බව පිළිගැනීමට සිදු වී ඇත. අපේ ම වූ අපේ දැනුමක් මෙන් ම දැනුම නිර්මාණය කිරීමේ (ලබාගැනීමේ) ක්‍රම ද අප සතුව ඇති බව ඊනියා උගතුන්ට කියා දීමට නූගතුන් යැයි කියන්නන් බියක් සැකක් නැතිව ඉදිරිපත්වන දිනය ක්‍රමයෙන් ළඟා වෙයි. 


නලින් ද සිල්වා

2014-01-19