Main Logo

Wednesday 29 January 2014

පොල් ගෙඩියේ විහිළුව


පසුගිය විසිතුන්වැනි දා චින්තන පර්ෂදය විසින් බටහිර විද්‍යාව පට්ටපල් බොරු මැයෙන් මහනුවර දී පවත්වන ලද රැස්වීමට ඩී එස් සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා නො පැමිණියේ ය. පූජ්‍ය බෙංගමුවේ නාලක හිමිපාණන් වහන්සේ මුලසුනෙහි වැඩ සිටි ඒ රැස්වීමට පැමිණ වාදයකට සහභාගි වීමට ඒ මහතා චින්තන පර්ෂදය වෙනුවෙන් ඒ මහතාට ආරාධනය කළ අයට මුල දී කැමැත්ත දී තිබුණ ද පසුව තම මතය වෙනස් කරමින් රණ්ඩු වීමට අකමැති බැවින් රැස්වීමට සහභාගි වීමට නොහැකි බව පවසා ඇත. ගෞරවනීය භික්‍ෂූන් වහන්සේ කෙනකු මුලසුනෙහි වැඩසිටින රැස්වීමක රණ්ඩු වීමට අවශ්‍ය කාහට ද යන්න ඒ මහතා දැන සිටින්නට ඇත. අපි නම් එවැනි රැස්වීමක දී මුලසුනෙහි වැඩසිටින භික්‍ෂූන් වහන්සේගේ ගෞරවය ආරක්‍ෂා කරමින් මුලසුනට අවනත වන්නෙමු.

ඒ මහතා ඒ රැස්වීමට අඩුම තරමෙන් අසන්නකු ලෙස සහභාගි විණි නම් බොහෝ දේ ඉගෙනීමට තිබිණි. එහෙත් පසුව රැස්වීමෙහි පටිගත (වීඩියෝ) කරන ලද සම්පූර්ණ වාර්තාවක් කාලය වෙබ් අඩවියෙහි (www.kalaya.org) ඇතුළත් කිරීමට කටයුතු කරන බැවින් එමගින් අමරතුංග මහතාට තම දැනුම වර්ධනය කරගැනීමේ අවස්ථාව පමා වී නමුත් ලැබෙනු ඇත. ඒ මහතා බොහෝ මහාචාර්යවරුන්ගෙන් වෙනස් නො වේ. යමක් තේරුම් ගැනීමට ඔවුන්ට බොහෝ කලක් ගතවන බව අවුරුදු පනහක අත්දැකීමෙන් මම දනිමි. අමරතුංග මහතාට ද කාලෝ ෆොන්සේකා මහතාට ද කාළාම සූත්‍රය වටහා ගත නොහැකි වී ඇත. අවශ්‍ය නම් ඒ මහත්වරුන්ට සනත් කරුණාරත්න මහතා ලියා ඇති කාළාම සූත්‍රය හා චින්තන නිදහස යන පොත කියවා බුදුන් වහන්සේ කාළාමයනට විඤ්ඤූන් අනුගමනය කිරීමට කී බව දැනගැනීමට හැකි වනු ඇත. මේ සම්බන්ධයෙන් මා ද අවුරුදු විසිපහකට පමණ පෙර දිවයින පුවත්පතට ලියා ඇති නමුත් ඒ මහත්වරුන් මගෙන් යමක් දැනගැනීමට වඩා වෙනත් අයකුගෙන් දැනගැනීමට කැමතිවනු ඇත.

අමරතුංග මහතාගේ ජනවාරි 1, 8, 15 ලිපිවලට පිළිතුරු දීම පමාකර අපි ඒ මහතාගේ 22 වැනි දා ලිපිය සලකා බලමු. එයට හේතුව අන්කිසිවක් නොව ඒ මහතා මගේ අදහස් තේරුම් ගැනීමේ මාවතකට සේන්දුවීමට එමගින් උත්සාහයක් දරා ඇති බවක් පෙනෙන නිසා ය. එහෙත් ඒ අතර ම ඒ මහතා තමාට සුපුරුදු ආකාරයෙන් විහිළු සැපයීම ද අත්හැර නැත්තේ තවත් බොහෝ දේ ඔහුට දුරාවබෝධ නිසා ය. බටහිර විද්‍යාව ගැන තබා පොල් ගෙඩිය පොල්ගහ මුල වැටීම හේතුවෙන් පොළොවේ චලිතය පිළිබඳ ගැලීලියෝට එල්ලවූ අභියෝගය පිළිබඳවවත් ඒ මහතාට කිසිම අවබෝධයක් නැත. 

“ගහෙන් ගෙඩියක් වැටෙන විට එය ගහ මුලට වැටෙන්නේ ලෝකය චලනය නොවන නිසා යැයි නලින් මහතා විශ්වාස කරන බව ඔහු ගේ වැල්වටාරම් තුළින් කියැවෙන බව අනුමාන කළ හැකි ය.” මෙවැනි වාක්‍යයක් මහාචාර්යවරයකුට හැරෙන්නට වෙනත් අයකුට ලිවීමේ හැකියාවක් ඇතැයි නො සිතමි. මා ලියන්නේ වැල්වටාරම් යැයි කියමු. එහෙත් මෙවැනි අනුමානයකට අමරතුංග මහතා පැමිණියේ කෙසේ ද? ඒ සඳහා මා ලියා ඇති දේ සාක්‍ෂි වශයෙන් ඉදිරිපත් කිරීමට ඒ මහතාට හැකි ද?

මා සඳහන් කර ඇත්තේ ගැලීලියෝට විරුද්ධව එකල විසූ බුද්ධිමතුන් ගෙන ආ තර්කයකි. ඉතාලියේ ගැලීලියෝ සිටි පෙදෙසෙහි හෝ වතිකානුවෙහි හෝ පොල් ගස් නොතිබීම වෙනත් කරුණකි. තර්කයට පොල් ගස ඈඳීම නම් මගේ ක්‍රියාවකි. එහෙත් තර්කය මා විසින් නිර්මාණය කරන ලද්දක් නො වේ. මා ලෝකය (පෘථිවිය - පොළොව) චලනය නොවන්නේ යැයි කියා නැත. කෙසේ වෙතත් මට නිරපේක්‍ෂ චලිත නැත. පොළොව මගේ ප්‍රත්‍යක්‍ෂයට අනුව චලනය නො වේ. එය අමරතුංග මහතාගේ ප්‍රත්‍යක්‍ෂයට අනුව චලනය වන්නේ ද? 

පොළොවෙහි සිටින නිරීක්‍ෂකයන්ට අනුව පොළොව චලනය නො වේ. එනම් පොළොවේ සිට නිරීක්‍ෂණය කරන්නන්ට සාපේක්‍ෂව පොළොව චලනය නො වේ. එහෙත් එයින් කියැවෙන්නේ කිසිම නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව පොළොව චලනය නොවන බව නො වේ. හඳ මත සිටින නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව පොළොව චලනය වෙයි. පැරණි සිංහලයන්ට පොළොව ඉර වටා චලනය වන්නේ ය කීව ද ඉර පොළොව වටා චලනය වන්නේ ය කීව ද ගැටළුවක් වී නැත. ඒ සාපේක්‍ෂ චලිත දෙකක් බව ඔවුහු දැන සිටියෝ හ. අඩුම තරමෙන් පැරණි සිංහල බුද්ධිමත්තු ඒ බව දැනසිටියහ. පොළොව ඉර වටා චලනය වන බව පැරැන්නන් දැන ගත්තේ පංචෙන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂයෙන් නම් නො වේ. එය පංචෙන්ද්‍රිය නොමැතිව මනසෙන් දැනගත් දෙයකි. එය පංචෙන්ද්‍රියයන්ගෙන් (හා මනසෙන්) දැනගැනීමට නො හැකි ය. අමරතුංග මහතා පොළොව ඉර වටා යන බව පංචෙන්ද්‍රියයන්ගෙන් දන්නේ ද? 

එහෙත් ගැලිලියෝගේ කාලයෙහි ඉතාලි යෙහි බුද්ධිමත්තු සාපේක්‍ෂ චලිත ගැන නොදැන සිටියෝ ය. ඔවුන්ට චලිතය යනු එකක් ම විය. එය නිරපේක්‍ෂ (ඔවුන් ඒ සංකල්පය යොදා ගත්තත් නැතත්) විය. පොළොවේ සිටින නිරීක්‍ෂකයකුට අනුව පොළොව චලනය නො වෙයි. ගැලීලියෝ පොළොව චලනය වන්නේ යැයි කී විට ඉතාලියෙහි බුද්ධිමත්තු ඒ කාහට සාපේක්‍ෂව දැයි නො ඇසුහ. ඔවුන් දැන සිටි එකම (නිරපේක්‍ෂ) චලිතය ඔවුන්ට නිරීක්‍ෂණය කළ නොහැකි විය. ඔවුන්ට අනුව පොළොව චලනය නො වී ය. ඔවුන්ට එය ප්‍රත්‍යක්‍ෂය විය. අමරතුංග මහතා අවංක නම් ඔහුට ද තම  ප්‍රත්‍යක්‍ෂය අනුව පමණක් නම් පොළොව චලනය නොවන බව පිළිගැනීමට සිදුවෙයි. එහෙත් ඔහුගේ මහාචාර්යකම එයට හරස් වෙයි. තම ප්‍රත්‍යක්‍ෂය අනුව පොළොව චලනය නොවන බව ප්‍රකාශ කළහොත් ඔහුට සමාජයේ ඇති වැදගත්කම නැති වෙයි. 

ගැලීලියෝගේ කාලයේ ඉතාලියේ සිටි උගත්තු අමරතුංග මහතාට වඩා අවංක වූවෝ යැයි සිතිය හැකි ය. ඔවුහු පොළොව චලනය නොවන බව කීවෝ ය. ඔවුහු තම ප්‍රත්‍යක්‍ෂයෙන් දැනගත් එය නිවැරදි බවට තර්කයක් ද ඉදිරිපත් කළහ. ඒ අනෙකක් නොව පොල් ගෙඩිය පොල්ගහ මුල වැටීම ආශ්‍රයෙන් ගොඩනගාගත් තර්කය ය. අමරතුංග මහතාට ඒ තර්කයෙහි වරදක් දැකිය හැකි ද? පොල් ගෙඩිය ගහමුල වැටීම ද ප්‍රත්‍යක්‍ෂයකි. 

බටහිර විද්‍යාව ආරම්භ කරමින් ගැලීලියෝ ප්‍රත්‍යක්‍ෂය නොවූ සාපේක්‍ෂ චලිතය පිළිබඳ වියුක්ත සංකල්පය ඉදිරිපත් කළේ ය. ගැලීලියෝ බොරු කීවේ ඇයි යන ලිපියෙන් මා උත්සාහ ගත්තේ ඒ බව පැහැදිලි කිරීමට ය. එහෙත් මහාචාර්යවරයකු වූ අමරතුංග මහතා එයින් අනුමාන කරන්නේ මා පොල් ගෙඩිය ගහමුල වැටෙන නිසා පොළොව චලනය නොවන්නේ යැයි විශ්වාස කරන බවකි. ගැලීලියෝගේ කාලයේ සිටි බුද්ධිමත්තු පොල් ගෙඩිය ගහමුල වැටීම යන ප්‍රත්‍යක්‍ෂය පොළොව චලනය නොවන්නේ ය යන ප්‍රත්‍යක්‍ෂය තහවුරු කිරීමට යොදාගත්හ.

අමරතුංග මහතා කොටින් පැරදවීමට මා දෙවියන්ගේ පිහිට ලබා නොගත්තේ ඇයි දැයි අසයි. එකල තබා මෙකලවත් මට දෙවියන් හෝ වෙනත් මනුෂ්‍ය නොවන ප්‍රාණීන් සමග සන්නිවේදනය කළ නො හැකි ය. කෘෂිරසායනික වකුගඩු රෝගය පිළිබඳ ව මැදිහත් වූයේ ප්‍රියන්තා සේනානායක මහත්මිය ය.අපට ආසනික්, කිවුල් ජලය හා ආසනික් මිත්‍ර (මිශ්‍ර නොවේ) පස කෘෂිරසායනික වකුගඩු රෝගයට හේතු යැයි දැන්වූයේ ඒ මහත්මිය ය. ඒ පිළිබඳ කිසිම ගෞරවයක් මට හිමි විය යුතු නැත. කිවුල් ජලය රෝගයට හේතුවක් බව පළමුවෙන් සඳහන් කළේ කැලණිය කණ්ඩායම ය. එයට පෙර කිසිවකු රෝගයට හේතුවක් ලෙස ජලය නම්කර නො තිබිණි. අද පවා බටහිර විද්‍යාවේ ආධිපත්‍යය පැතිරවීම සඳහා පිහිටුවාගෙන ඇති ආයතනයක් වන ඊනියා ලෝක සෞඛ්‍ය සංවිධානය ඔවුන්ගේ බසින් කියන්නේ නම් පානීය ජලය රෝගයට හේතුවක් යැයි සෘජුව නො කියයි.  අමරතුංග මහතාට අනුව කිවුල් ජලය කෘෂිකාර්මික වකුගඩු රෝගයට හේතුවක් යැයි කියමින් මා ලජ්ජාවක් නොමැතිව මට අහිමි ගෞරවයක් ලබාගැනීමට කටයුතු කරයි. 

අමරතුංග මහතා නොදන්නවාට කොටින් පරාජය කළ හැකි බව මා කීවේ 1990 තරම් ඈත කාලයක සිට ය. එකල ගුණදාස අමරසේකර මහතා හෝ වෙනත් කිසිවකු හෝ මගේ සහායට සිටි බවක් මම නො දනිමි. අමරතුංග මහතා ගැන මා එකල අසාවත් නො තිබිණි. ඔහු දෙමළ ප්‍රශ්නය පිළිබඳ ව කරලියට පැමිණියේ තමා විශ්‍රාම ගැනීමට ටික කලකට පෙර ය. එසේ ම අමරතුංග මහාචාර්යවරයා සිනහසුනත් කිව යුත්තක් වෙයි. මාවිල්ආරු සිද්ධිය දිනවල මෙරට බුදු පිළිම වහන්සේලාගෙන් බුදු රැස් විහිදුණු බව බොහෝ දෙනාට මතක ඇත. ඒ දිනවල ම මා මාතර දී පවත්වන ලද රැස්වීමක දී කියා සිටියේ කොටින් පැරදවීමට අපට දෙවියන්ගේ ආශිර්වාදය ඇති බවට ඒ සාක්‍ෂියක් බව ය. 

කෙසේ වුවත් පසු කලෙක සේනානායක මහත්මිය ප්‍රකාශ කළේ දෙවියන් පිළිම වහන්සේලාගෙන් එසේ බුදුරැස් විහිදීමට සලස්වා යම් ආධ්‍යාත්මික ශක්තියක සටනට එකතු කළ බව ය. එය පංචෙන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂයක් නො වේ. සාපේක්‍ෂ ප්‍රවේගය පිළිබඳ වියුක්ත සංකල්පය ද පංචෙන්ද්‍රිය ගෝචර සංකල්පයක් නො වේ. මහනුවර දී ඒ බව පෙන්වා අද පාසල්වල උගන්වන සාපේක්‍ෂ චලිතය පිළිබඳ සමිකරණය වැරදි බව පැහැදිලි කළෙමි. ඒ බව දැනට අවුරුදු තුන හතරකට පෙර අධ්‍යාපන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ දී පවත්වන ලද වැඩමුළුවක දී ද මා පෙන්වා දී ඇති නමුත් එය කිසිවකුගේ අවධානයට ලක් නො විණි. අමරතුංග මහතා නම් ඒ අවධානයට ලක්විය යුත්තක් නො වේ යැයි කීමට ඉඩ ඇත. 

නිවුටන්ගේ ගුරුත්වාකර්ෂණ බලය ද පංචෙන්ද්‍රිය ගෝචර සංකල්පයක් නො වේ. ඒ බව මහනුවර දී පමණක් නොව අමරතුංග මහතා ද නරඹා ඇතැයි සිතිය හැකි රුපවාහිනි වැඩ සටහනක දී මා පෙන්වා දී ඇත. මහනුවර දී ගැලීලියෝගේ සාපේක්‍ෂතාව පමණක් නොව අයින්ස්ටයින්ගේ සාපේක්‍ෂතාව ද වැරදි බව පෙන්වා දුන්නෙමි. මේ කරුණු මෙරට සිටන බොහෝ උගතුන්ට දිරවාගත නො හැකි බව ද මම දනිමි. ඉඩකඩ ලැබෙන පරිදි මේ සියල්ල විදුසර පුවත්පතින් හෙළිදරවු කිරීමට ද බලාපොරොත්තු වෙමි. 

බටහිර විද්‍යාවේ කෙරෙන්නේ පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධි “තේරුම් කිරීමට” පංචෙන්ද්‍රිය ගෝචර නොවන වියුක්ත කතන්දර ගොඩනැගීම ය. මේ කතන්දර ගෙතීමකි. ඒ කතන්දර පට්ටපල් බොරු වෙයි. පංචෙන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂ (මේවා හුදු ප්‍රත්‍යක්‍ෂ නොවන බව ප්‍රත්‍යක්‍ෂ හා හුදු ප්‍රත්‍යක්‍ෂ යන ලිපියෙහි පැහැදිලි කර දී ඇත) “තේරුම් කිරීමට” පංචෙන්ද්‍රිය ගෝචර නොවන වියුක්ත ප්‍රවාද (කතන්දර) ගෙතීම බටහිර විද්‍යාවෙහි දී සිදු වෙයි. ඒ ප්‍රවාද පට්ටපල් බොරු වෙයි. 

පොල් ගෙඩි පොළොවට වැටීම පංචෙන්ද්‍රිය ප්‍රත්‍යක්‍ෂයකි. පොල් ඉහළට යන්නේ නැති බව ද ප්‍රත්‍යක්‍ෂයකි. අමරතුංග මහතාට ඒ පිළිබඳ තේරුමක් නැතිව විකාර කතා කියයි. ඒ බව අපි පසුව පෙන්වා දෙමු. දැනට කිව යුත්තේ පොල් ගෙඩි උඩට නොගොස් පොළොවට වැටීම නමැති පංචෙන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂය “තේරුම් කිරීමට” නිවුටන් පට්ටපල් බොරුවක් වූ පංචෙන්ද්‍රිය ගෝචර නොවූ ද ප්‍රත්‍යක්‍ෂයක් නොවූ ද ගුරුත්වාකර්ෂණ බලය නමැති කතාව ගොතා ඇති බව ය. 


නලින් ද සිල්වා

2014-01-29