Main Logo

Wednesday 12 February 2014

වචන හා වචන


පළමුකොට ම සඳහන් කළ යුත්තක් නම් පසුගිය සතියේ මේ තීරුව යටතේ පළ වු වෙබ් සම්බන්ධය (ඈඳීම - link)  වැරදියට මුද්‍රණය වී ඇති බව ය. එය පහත සඳහන් ආකාරයට නිවැරදි විය යුතු ය. http://www.youtube.com/watch?v=kiLHfmfYoS4 අවශ්‍ය අයකුට සම්පුර්ණ දේශනයට සවන් දීමට පහත සඳහන් සම්බන්ධ ද යොදාගත යුතු ය. http://www.youtube.com/watch?v=-35_bat62mQhttp://www.youtube.com/watch?v=AMPlnr7LCoI නැතහොත් www.kalaya.org යන චින්තන පර්ෂදයේ වෙබ් අඩවියට පිවිස දේශනයට සවන්දිය හැකි ය.

අපි දැන් ඩී එස් සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතාගේ විද්වත් ප්‍රකාශ කිහිපයක් සලකා බලමු. ඔහු ජනවාරි 08 වැනි දා ලිපියෙහි මෙසේ කියයි. …“එනමුත් ඔහුට එක් දෙයක් අමතක වී ඇති බව කිව යුතු ය. එනම් සමහර මහාචාර්යවරුන්ට විශ්‍රාම යන විට ඔවුන් ගේ මහාචාර්ය පට්ටම රැකගන්නට බැරි වන්නේ විශ්වවවිද්‍යාල පද්ධතියේ ඇති දුර්වලතාවක් නිසා ද නැතිනම් සහජ දුර්වලතාවක් නිසා ද යන්න පහදා දීම ය. එවැනි විධිමත් මාර්ගයක් අනුගමනය කරන විශ්වවිද්‍යාල පද්ධතිය අවතක්සේරුවට ලක්කරන්නේ මිදි ඇඹුල් බව පැවසු උඩ පනින්නට බැරි හිවලා වැනි අය විය හැකි බව ද ඔහුට අමතක වත ඇත.”

ඉහත සඳහන් වාක්‍යය ලියා ඇත්තේ ඩී එස් සී උපාධිධාරී සේවාර්ජිත මහාචාර්යවරයා මිස ඔහු කියන අන්දමට විශ්‍රාම යන විට මහාචාර්ය පට්ටම රැකගැනීමට බැරි වූ මා නො වේ. එහෙත් එහි සඳහන්වන එවැනි විධිමත් මාර්ගය කුමක් දැයි මහාචාර්යතුමා නො කියයි. එවැනි යනුවෙන් සඳහන් කිරීමට ඒ විධිමත් ක්‍රමය කුමක් දැයි පළමුව ප්‍රකාශ කළ යුතු ය. එසේ නැතිව එවැනි යන වචනයට ලැබෙන වැදගත්කම, ඒ වචනයෙන් විස්තර වන්නේ කුමක් ද ආදිය පිළිබඳ ව අවබෝධයක් පාඨකයාට නො ලැබෙයි. මගේ මහාචාර්ය පදවිය මා විශ්‍රාම යනවිට අවසන් විය. අමරතුංග මහතාගේ මහාචාර්ය පදවිය ද එතුමා විශ්‍රාම ගිය  දිනයේ සිට අවසන් විය. 

එහෙත් ලංකාවේ විශ්වවිද්‍යාල මූලික වශයෙන් එංගලන්තයේ විශ්වවිද්‍යාල අනුකරණය කරමින් මහාචාර්ය ධුරයෙන් විශ්‍රාම ගිය ඇතැම් අයට ගෞරවයක් වශයෙන් මහාචාර්ය නාමය රඳවා ගැනීමට අවසර දෙයි. ඒ ඒ විශ්වවිද්‍යාල ඒ අවසරය දීම සඳහා සපුරාලිය යුතු නිර්ණායක සම්මත කරගෙන ඇත. ඒ නිර්ණායක විශ්වවිද්‍යාලයෙන් විශ්වවිද්‍යාලයට වෙනස් වෙයි. කැලණිය විශ්වවිද්‍යාලයේ නම් එක් නිර්ණායකයට අනුව අදාළ පුද්ගලයා අඩුම තරමෙන් මහාචාර්ය පදවිය අවුරුදු අටක් දරා තිබිය යුතු ය. එසේ ම බොහෝ විට අදාළ පීඨයෙන් ඒ අවසරය දීම සනාතන සභාවට හා පාලක මණ්ඩලයට නිර්දේශ විය යුතු ය. විවිධ අධ්‍යයන නොවන හේතු නිසා මට මහාචාර්ය ධුරයේ සේවය කිරීමට සිදුවූයේ අවුරුදු හතක් පමණ ය. එය ද මට කිසිදු පත්වීමක් ලබා නොදීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලවලට විරුද්ධව කිසිම නීතිඥයකුගේ සහායක් නොමැතිව ප්‍රතිපාදන කොමිසමේ අභියාචන මණ්ඩලය ඉදිරියේ නඩු කීමෙන් ලබාගත් ජයග්‍රණයක ප්‍රතිඵලයකි. හැත්තෑවේ දශකයෙහි අග පේරාදෙණිය විශ්වවිද්‍යාලය (එවකට මණ්ඩපය) මට පත්වීමක් ලබා නොදීමට තීරණය කළ විට අමරතුංග මහතා ඒ විශ්වවිද්‍යාලයෙහි  සේවය කළේ දැයි මම නො දනිමි.     

කෙසේ වුවත් අවුරුදු අටක් මහාචාර්ය ධුරය නොදැරූ ඇතැම් අයට ද කැලණිය විශ්වවිද්‍යාලයෙන් අදාළ අවසරය ලැබී ඇත. එහෙත් කැලණිය විශ්වවද්‍යාලයේ විද්‍යා පීඨය මා සම්බන්ධයෙන් එවැනි විශේෂයක් නොකරන බව මම දනිමි. මා එම පිඨයෙහි පීඨාධිපති ධුරය අවුරුදු තුනක් දැරූ නමුත් පීඨයෙහි මාණ්ඩලික රැස්වීම් ශාලාවෙහි පීඨාධිපතිවරුන්ගේ ඡායාරූප අතර මගේ ඡායාරූපය නැත්තේ  මගේ සහජ අවලක්‍ෂණයක් (දුර්වලකමක්)  නිසා යැයි මම නො සිතමි. මට මහාචාර්ය නමින් ආමන්ත්‍රණයක් අවශ්‍ය නැත. මගේ ඡායාරූපය සතපහක් නොවටිනා විශ්වවිද්‍යාලයක බිත්තියක එල්ලා තැබීමට ද මට අවශ්‍ය නැත. මට මගේ ස්වාධීනත්වය, විශේෂයෙන් ම බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුමෙන් සිංහලයන් ස්වාධීන කරගැනීම සඳහා කරන අරගලයේ දී මගේ ස්වාධීනත්වය, වැදගත් වෙයි. අමරතුංග මහතාගේ අපහාසාත්මක ප්‍රකාශ නොවන්නට මට ඉහත සඳහන් සටහන ලිවීමට අවශ්‍යතාවක් ඇති නොවීමට තිබිණි. 

අමරතුංග මහතාට මහනුවර දී මා පැවැත්වූ දේශනයකට සහභාගිවීමට ආරාධනය කළෙමි. ලිපියක සඳහන් කළ හැකි දෙයට වඩා බොහෝ දේ පැය දෙකහමාරක දේශනයක සඳහන් කළ හැකි  ය. ඒ දේශනයට සහභාගි වී නම් ඒ මහතාට යමක් ඉගෙන ගැනීමට තිබිණි යැයි මම විශ්වාස කළෙමි. එහෙත් ඒ මහතා පෙබරවාරි 05 වැනි දින පළ වූ ලිපියෙන් කියන්නේ තමා මගෙන් කිසිවක් ඉගෙන ගෙන නැති බවත් මා තමන්ගේ ම දේශනයක ගැන පුරසාරම් දෙඩීම ශිෂ්ට සමාජය පිළිකුල් කරන බව මා නොදන්නා බව පෙනී යන බචත් ය. 

මා මගේ දේශනය ගැන කළ පුරසාරමක් නැත. මා කළේ මගේ දේශනයට සහභාගි වීමට ඔහුට ආරාධනය කිරීමත් එයට සහභාගි වීමෙන් ඔහුට යමක් ඉගෙන ගැනීමට හැකි බවත් කීම පමණ ය. මා කොහේ දේශන පැවැත්වුවත් එයින් බලාපොරොත්තු වන්නේ අසන්නන්ට යමක් ඉගැන්වීමට ය. අමරතුංග මහතා දේශන පවත්වන්නේ ඉගැන්වීමට නොව දිමනාවක් (වැටුපක්) ලබාගැනීමට විය හැකි ය. මම එය නො දනිමි. බොහෝ මහාචාර්යවරුන්ගේ දේශනවලින් පොතක පතක ඇති දෙයකට වැඩි කිසිවක් ඉගෙන ගැනීමට නොහැකි බවත් මම අත්දැකීමෙන් ම දනිමි. විශ්වවිද්‍යාලයේ දී හැකිතාක් දේශනවලින් ඉවත් ව සිටීම මට ප්‍රිය විය.

මා දේශන පවත්වන්නේත් ලියන්නේත් අලුත් යමක් කියා දීමට ය. එහෙත් අමරතුංග මහතා කියන්නේ මිථ්‍යාව නොඉවසන ඔහුට මගෙන් ඉගෙනීමට කිසිවක් නැති බව ය. බටහිර විද්‍යාව නමැති පට්ටපල් බොරු විශ්වාස කරන ඔහු මගෙන් කිසිවක් ඉගෙන නොගන්නා බව නම් පැහැදිලි ය. ඒ බව ඔහුගේ පෙබරවාරි 05 වැනි දා ලිපියෙන් ද පැහැදිලි වෙයි. ෆැක්ට්ස්  (facts) යන්න වෙනුවට  සිද්ධාන්ත යන්න යෙදිය නොහැකි බව මගේ ජනවාරි 22 වැනි දා ලිපියෙන් ශබ්දකෝශවලින් හා පාරිභාෂික ශබ්දමාලාවලින් උදාහරණ ගෙන පෙන්වීමි. එහෙත් පෙබරවාරි 05 වැනි දා ලිපියෙන් ඔහු කියන්නේ කුමක් ද? 

ඔහුට අනුව ෆැක්ට්ස් යන්නට සුදුසු වචනයක් නොමැති බැවින් ඔහු දිගට ම ඒ සඳහා සිදාධාන්ත යන වචනය යොදා ගන්නා බව කියයි. ෆැක්ට් යන්නට තනි වචනයක් පැරණි සිංහලයේ තිබී නැත. එයට  හේතුව ෆැක්ට් යන්න සිංහලයන්ට විෂය වූවක් නොවූ බැවින් යැයි සිතිය හැකි ය. එහෙත් දැන් පාරිභාෂික ශබ්දමාලාවෙහි පරිසිද්ධිය යනුවෙන් ඒ සඳහා වචනයක් වෙයි. අමරතුංග මහතා ඒ වචනයට අකමැති නම් ඔහුට වෙනත් සුදුසු වචනයක් නිර්මාණය කරගත හැකි ය. එහෙත් ඔහු එසේ නොකර ෆැක්ට් යන්නෙන් දෙන අදහසට ඉඳුරා විරුද්ධ අර්ථයක් දෙන සිද්ධාන්තය යන්න යොදා ගනියි. මෙයින් පැහැදිලිවන්නේ අමරතුංග මහතාට වචන පිළිබඳ නිරවුල් අවබෝධයක් නැති බව ය. අපි ලිපියෙහි අග මේ ගැන තවදුරටත් කතාකරමු. 

ඒ අතර අමරතුංග මහතා පෙබරවාරි 05 වැනි දා ලිපියෙන් තවදුරටත් කියන්නේ මා කිසිදාක කිසිවිටෙක කියා නැති බව ය. ඔහුට අනුව මා ෆෙයරාබන්ඩ් වැනි දාර්ශනිකයන්ගේ අදහස්වල එල්බගෙන (බටහිර) විද්‍යාව බොරුවක් බව පවසයි. මා ෆෙයරාබන්ඩ්ගෙන් පමණක් නොව කූන්ගෙන් ද ආභාසය ලබා ඇත. ඔවුන් නිර්මාණය කළ ඇතැම් දැනුමක් සිංහල බෞද්ධ සංස්කෘතියට අවශෝෂණය  කරගෙන ඇත. එය මා බොහෝ විට පවසන කරුණකි. එහෙත් මා දන්නා තරමින් ෆෙයරාබන්ඩ් හෝ කූන් හෝ පොපර් හෝ බටහිර විද්‍යාව පිළිබඳ වෙනත් දාර්ශනිකයකු හෝ බටහිර විද්‍යාව පට්ටපල් බොරු යැයි කියා නැත. එසේ කියා ඇත්නම් රායප්පු ජෝසෆ් හා සවුන්ද්‍රනායගම් බිෂොප්වරුන් මෙන් සාක්‍ෂි නොමැතිව හිස් ප්‍රකාශ නොකර බටහිර දාර්ශනිකයකු බටහිර විද්‍යාව පට්ටපල් බොරු යැයි කියා ඇත්තේ කොතනක දැයි සාක්‍ෂි සහිතව සඳහන් කරන මෙන් ඉල්ලමි.

මා කිසිම අලුත් සත්‍ය දෙයක් කියා නැති බව කී පළමු තැනැත්තා අමරතුංග මහතා නො වේ. මෙයට කලින් කාලෝ ෆොන්සේකා මහතා එක්තරා රූපවාහිනී සාකච්ඡාවක් අවසානයේ දී මට පිළිතුරකට කාලය නොතබා ඉතා නිවට ආකාරයකට ඒ අරුත දෙන ප්‍රකාශයක් කළේ ය. ඔහු බලාපොරොත්තු නොවූ පරිදි ඔහුගේ නිවට බව හෙළිදරවු කිරීමට මම ඒ අවස්ථාව ම යොදා ගත්තෙමි. මෙයට කලකට පෙර කලක් ජ වි පෙ අනුගාමිකයකු ව සිට පසුව චින්තන පර්ෂදයේ කටයුතුවලට ද සහභාගි ව ජාතිය මලකඳක් යැයි  කියමින් නැවතත් චන්ද්‍රිකා කුමාරතුංග මංගල සමරවීර දේශපාලනයට 1994 දී ගිය පාඨලී චම්පික රණවක මහතා ද මා රැම්සේ වෙත්තිමුනි මහතාගේ අදහස් හැරෙන්නට වෙනත් දෙයක් (බටහිර) විද්‍යාව හා බුදුදහම පිළිබඳ කියා නැතැයි මහා ඝෝෂාවක් කළේ ය. වෙත්තිමුනි මහතාගේ අදහස් සමග මා එකඟ නොවූ බව ඒ මහතාට නොවැටහුණේ ඔහුට වෙනත් දේශපාලන ප්‍රශ්නයක් තිබූ නිසා බව මම දැන සිටියෙමි. 

අද අමරතුංග මහතා කියන්නේ මා මහායාන දහමේ අදහස්වල එල්බගෙන බුදුදහම විකෘත කරන බව ය. එය චම්පික රණවක මහතා කී දේට පටහැණි ය. දෙදෙනා ම හෝ අඩුම තරමෙන් ඔවුන්ගෙන් එක් අයකු හෝ බොරු කියන (කී) බව පැහැදිලි ය. මා අශෝක බුදුදහමෙහි සඳහන් ඇතැම් දේ නොපිළිගත් පමණින් මා බුදුදහම විකෘත කරන බව අමරතුංග මහතා පවසන්නේ කෙසේ ද? අපි කාලෝ ෆොන්සේකා මහතා හා අමරතුංග මහතා බටහිර දැනුමට අවශ්‍ය කරන ආකාරයට කාළාම සූත්‍රය විකෘත කර ඇති ආකාරය පසුව සාකච්ඡා කරමු. මහනුවර දේශනයට සවන් දෙන්නකුට එය පැහැදිලි විය යුතු ය. 

අපි සංවාදයක යෙදී ඇත්තෙමු. අප වැන්නන් සංවාද කරන්නේ, බොහෝ විට සන්නිවේදනය කරන්නේ භාෂාවක වචන යොදා ගනිමිනි. එබැවින් අපි වචන යොදා ගැනීමේ දී හැකිතාක් නිරවුල්වීමට උත්සාහ දැරිය යුතු වෙමු. එහෙත් අමරතුංග මහතා ඒ ගැන කිසිම සැලකිල්ලක් නො දක්වයි. ඔහු වරක් ඉන්කන්සිස්ටන්සි යන වචනය වෙනුවට අවිනිශ්චිතතාව යන පදය යෙදී ය. එය වැරදි බව ජනවාරි 15 වැනි දා මගේ ලිපියෙන් පෙන්වා දුනිමි. මගෙන් කිසිවක් ඉගෙනීමට නැතැයි කීයන අමරතුංග මහතා ජනවාරි 29 වැනි දා ලිපියෙන් ද ඒ වරද කරයි. ඔහු “නිව්ටන්ගේ න්‍යාය තුළ අවිනිශ්චිතතාවන්, අස්ථිරතාවන්, නිරවද්‍ය නොවූ තැන් (inconsistency, impreciseness, uncertainty, inexactitude) තිබිය හැකි” යැයි පවසයි. මෙහි න්‍යාය යනුවෙන් යොදාගෙන ඇත්තේ තියරී යන්නට විය යුතු ය. එය ද වැරදි ය. කෙසේ වෙතත් අමරතුංග මහතා සිංහල වචන තුනක් වෙනුවට වරහන් තුළ ඉංගිරිසි වචන හතරක් යොදයි. පැහැදිලි ව ම මෙය කපටි උපක්‍රමයකි. තමන් කිනම් සිංහල වචනයක් කිනම් ඉංගිරිසි වචනයක් වෙනුවෙන් යොදාගන්නේ දැයි පාඨකයාට නොකීමට ඔහුට ඉන් අවස්ථාව ලැබෙයි. කෙසේ වෙතත් අප කතාකරන්නේ නිවුටෝනීය විද්‍යාවේ බොරුව ගැන මිස ඊනියා අස්ථිරතාවන්, අවිනිශ්චිතතාවන් ගැන නො වේ. බොරුව වචන දමා ගැසීමෙන් වැසිය හැකි නො වේ. මේ සියල්ලටත් වඩා අමරතුංග මහතා තම අනවබෝධය ප්‍රදර්ශනය කරන්නේ පෙබරවාරි 05 වැනි දා ලිපියෙන් වියුක්තය ගැන කතාකිරීමේ දී ය. ඔහු වියුක්තය යනුවෙන් වටහා ගෙන ඇත්තේ විවික්තය ය! අපි මේ සියල්ල පසුව විස්තරාත්මක ව සාකච්ඡා කරමු. බටහිර විද්‍යාවේ ඇත්තේ වියුක්ත ප්‍රවාද බැවින් අමරතුංග මහතා ඉගෙන ගත්තත් නැතත් අප ඉක්මනින් එය පැහැදිලි කළ යුතු ය.


නලින් ද සිල්වා

2014-02-12