Main Logo

Sunday 2 February 2014

උතුරු පළාත් සභාව හා ජෙනීවා


මේ දෙමළ ජාතිවාදයේ හතරවැනි යුගය යි. එහි පළමු යුග තුන ප්‍රභාකරන් ඔහුගේ සීයලා බාප්පලා හා මස්සිනාලා කෘතියෙහි විස්තර කෙරෙයි. නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසු අභ්‍යන්තර වශයෙන් ගත්කල දෙමළ ජාතිවාදයට මෙරට කිසිදු ශක්තියක් තිබීමට හේතුවක් නැත. ඒ සමග දහනවවැනි සියවසේ මුල (1833 පමණ) ඇරඹි දෙමළ ජාතිවාදී ව්‍යාපෘතිය කෙළවර විය යුතුව තිබිණි. ඉන්පසු පළාත් සභා ආකෘතිය හා දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය කුණු කූඩයට දැමිය යුතුව තිබිණි. හිට්ලර්ගේ පරාජයෙන් පසු නට්සිවාදයට යුරෝපීය දේශපාලනයේ තැනක් නැත. දෙමළ ජාතිවාදයේ අවුරුදු දෙසීයයකට ආසන්න සිංහල විරෝධය හා බටහිර ගැති දේශපාලනය උරුම කරගත් ප්‍රභාකරන්ගේ පරාජයෙන් පසුව දෙමළ ජාතිවාදයට මෙරට තැනක් නොතිබිය යුතුව තිබිණි. ආණ්ඩුව හා රණවිරුවන් දෙමළ ත්‍රස්තවාදීන් පරාජය කර සාමය උදාකළ නමුත් රටේ අසහනයක් ඇත. එ ජා පක්‍ෂයේ කොටින් පරාජය කිරීමට විරුද්ධව ඕනෑම ගොනකුට යුද්ධ කළ හැකි යැයි කියමින් පාමංකඩ දිවූ බටහිර ගැති නායකයෝ, අද මෙරට සාමයක් නැත්තේ ආණ්ඩුවේ වරදින් යැයි කියති. එහෙත් මෙරට සාමයක් ඇත. අද කිසිම තැනක බෝම්බ පිපීරිමක් නැත. ලක්‍ෂමන් කිරිඇල්ලට වුව ද ඕනෑම ගොන් කතාවක් කියමින් බියක් සැකක් නැතිව රටේ ම්නෑම තැනකට ගිය හැකි ය. යම්කිසි ආකාරයකින් එ ජා ප ආණ්ඩුවක් (හෝ චන්ද්‍රිකා ආණ්ඩුවක් හෝ) තිබිණි නම් එක්කෝ බටහිරයන්ට අවශ්‍ය ආකාරයට ඊළම දී දේශසීමා අරගලයක් ඇතිවීමටත් බටහිර හමුදා සාමයක් ඇතිකිරීමට යැයි කියමින් රටට ඒමටත් තිබිණි.

රටේ සාමය ඇතත් විශේෂයෙන් ඊනියා උගතුන් අතර අසහනයක් ඇතිකර තිබේ. නට්සිවාදයට අත් වූ ඉරණම දෙමළ ජාතිවාදයට අත්නොවිණි. ඒ බටහිර ගැති, එමෙන් ම ආණ්ඩු විරෝධී ලිබරල් හා ජ වි පෙරමුණ ද ඇතුළු කසිකබල් මාක්ස්වාදීන් කියන ආකාරයට ආණ්ඩුවේ වරදක් නිසාවත් බටහිරින් නඩත්තුවෙන රාජ්‍ය නොවන හා විශ්වවිද්‍යාලයීය නිවටයන් හා පුස්සන් (බටහිර ගැති දෙමළ ජාතිවාදීන්ට හා බටහිර විද්‍යාවේ දාසයන්ට අපහාස කිරීමට මම නො පැකිළෙමි. ඔවුන් කිසිම අපහාසයක් නොකරන සදාචාර සම්පන්න පුද්ගලයන් නොවන බව ඔවුන්ගේ ලිපි කියවන්නෝ දනිති) කියන ආකාරයට දෙමළ ජනයාට ඇතැයි කියන අසාධාරණකම්වලට විසඳුම් දී නොමැති නිසාවත් ප්‍රශ්නය ජාත්‍යන්තරකරණයට ලක් වී ඇති නිසාවත් නො වේ (නැති ප්‍රශ්නවලට පිළිතුරු දෙන්නේ කෙසේ ද?). දෙමළ ජාතිවාදය මෙරට ප්‍රශ්නයක් පමණක් වී නම් අපට කිසිම අසහනයක් නොමැතිවීමට තිබිණි. දෙමළ ජාතිවාදය ඇතිවුණේ ම බටහිරයන් විසින් නිර්මාණය කරන ලද ප්‍රශ්නයක් ලෙස ය. එය මුල සිටම ඊනියා ජාත්‍යන්තර ප්‍රශ්නයකි. ලන්දේසිහු මෙරටට වෙල්ලාලයන් ආනයනය කර ප්‍රශ්නයට මුල පිරූහ. ඔවුහු සිංහල රජුට වත්මන් නැගෙනහිර පළාත අහිමි කිරීමට වෙල්ලාලයන් යොදාගත්හ. ඉංගිරිසිහු තමන්ට එරෙහිව සටන් වැදුණු සිංහලයන් පාගාදැමීමට වෙල්ලායන් යොදාගත්හ. සර්වජන ඡන්දයෙන් පසු දෙමළ නායකයන්ට  රටේම නායකයන් බවට පත්වීමට නොහැකි බව තේරුම් ගැනීමෙන් පසු බටහිරයෝ දෙමළ නායකයන්ට ඊළමක් දීමට සූදානම් වෙති. වෙල්ලාලයන්ට බැරි වූ එය ප්‍රභාකරන් ලවා කරවීමට උත්සාහ ගත් නමුත් එය ව්‍යවර්ථ විය. අද බටහිරයන් සූදානම් වන්නේ උතුරු පළාත් සභාව හා ජෙනීවා මගින් ප්‍රභාකරන් පරාජය කිරීමේ පළිය ජනාධිපතිතුමාගෙන්, ආරක්‍ෂක ලේකම්තුමාගෙන් හා රණවිරුවන්ගෙන් ගැනීමටත්, මේ ආණ්ඩුව බලයෙන් නෙරපා රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවක් පත්කිරීමටත්, නිල නොවන අයුරෙන් ආර්ථික සම්භාධක පණවා සිංහලයන්ට දඬුවම් කිරීමටත්, ජනාධිපතිතුමාට වඩා පෘතුගීසීන් ලන්දේසීන් හොඳ යැයි කී රනිල් ලවා දෙමළ ජාතිවාදයට යථාකාලයේ දී ඊළම ලබාදීමටත් ය (පෘතුගීසීන් මෙරටට පැමිණීමට, පන්සල් කැඩීමට හා බලහත්කාර කතෝලිකරණයට අවුරුදු පන්සීයය පිරීම සැමරීමට රනිල් සූදානම් වූයේ නිවන් දැකීමට විය නො හැකි ය). 

බටහිරයන් අද දෙමළ ජාතිවාදය පවත්වාගෙන යන්නේ විසිරුණු දෙමළ ජනයා මගින් ය. දෙමළ ජාතික සංධානයේ ආනන්දී  කණ්ඩායම බටහිරයන්ගේ නියෝජිතයෝ වෙති. ප්‍රභාකරන්ගෙන් පසු විග්නේෂ්වරන් ද ඇතුළු වෙල්ලාලයන්ට උතුරේ දේශපාලනයේ තැනක් නැත. ඉන්දියාව කෙසේ වෙතත් බටහිරයෝ ඒ බව දනිති. මෙරට ස්වෛරීභාවයට තර්ජනයක් වී ඇති ඇමරිකානු තානාපතිනිය ඇතුළු බටහිරයන් අද උතුරු පළාත් සභාවේ නිල නොවන මහඇමතිනිය ලෙස පිලිගන්නේ ආනන්දිව ය. ඔවුන් ආනන්දි ජෙනීවා ගෙන යෑමට ඇති ඉඩකඩ අධික ය. ඇමරිකානු තානාපතිනිය රටෙන් පිටුවහල් කිරීමට මේ සුදුසු ම කාලය නොවෙතත් ආන්ඩුවේ අවධානය එයට යොමු විය යුතු ය. කොටින් පරාජය කිරීමෙන් පසුව අද උතුරේ ඇත්තේ කඩදාසි කොටින් ය. එහෙත් බටහිරයන් කඩදාසි කොටින්ට පණ දෙන්නේ ජෙනීවා මගින් ඊනියා මානව අයිතිවාසිකම් කඩවීම් යොදාගනිමිනි. බටහිරයන් නොවන්නට ආනන්දී ඇතුළු කඩදාසි කොටින් කඩදාසි මෙන් පාවී ගොස් අවසන් ය. බටහිරයෝ දෙමළ ජාතිවාදය යොදාගනිමින් ආණ්ඩුව අස්ථායි කිරීමටත්, රටේ ඊනියා උගතුන් අතර අසහනයක් ඇති කිරීමටත් කටයුතු කරති. ප්‍රශ්නයේ මුල ඇති එංගලන්තය ජෙනීවා හි දී ඇමරිකාව ලවා ලංකාවට විරුද්ධව ඉදිරිපත්කිරීමට බලාපොරොත්තුවන මානව හිමිකම් නඩුවේ අරමුණ සිංහලයන්ට හා ආණ්ඩුවට දඬුවම් කර අවසානයේ දේශසීමා අරගල ඇතිකිරීම මිස ඊනියා මානව අයිතිවාසිකම් රැකීම නො වේ. ප්‍රශ්නය මානව අයිතිවාසිකම් කඩවීම් නම් බටහිරයන් හා ඔවුන්ගේ ගැත්තන් එවකට හමුදාපති වූ සරත් ෆොන්සේකාට විරුද්ධව කිසිවක් නොකියන්නේ ඇයි? ෆොන්සේකාට ප්‍රභාකරන් මහින්ද රාජපක්‍ෂ මහතාට වඩා හොඳ ය. බටහිරයන්ගේ අවශ්‍යතාව පරිදි සුදුකොඩි කතාවක් ඇද ගත්තේ ද ෆොන්සේකා ය. බටහිරයන්ට ඉතිහාසයේ කිසි දිනෙක මානව අයිතිවාසිකම් ප්‍රශ්නයක් නො වී ය. පසුගිය දා බ්ලෙයාර්ට හා ඇමරිකන් ජනාධිපතිට එරෙහිව ඉරාක යුද්ධය සම්බන්ධ වාර්තාව පළකිරීම නවත්වා ඇති එංගලන්ත අගමැති කැමරන් ය. අප ජෙනීවා හි ද බටහිරයන් සතුටු කිරීමට දෙමළ ජාතිවාදීන්ට කිසිවක් දිය යුතු නො වේ. ඊනියා ජාත්‍යන්තර පරීක්‍ෂණවලට අපි මුළුමනින් ම විරුද්ධ වෙමු. අවශ්‍ය නම් පසුගිය අවුරුදු තිහක කාලයක කොටින්ගේ හා ඊනියා ඉන්දීය සාම සාධක හමුදාවේ කරුණු සෙවීමට නීතිඥයන්ගෙන් නොව සඟ වෙද ගුරු ගොවි රණවිරුවන්ගෙන් සැදි කමිටුවක් පත්කරමු. අප කළ යුත්තේ බටහිර නොවන රටවලට කරුණු පැහැදිලි කර හැකිනම් එංගලන්ත ඇමරිකානු යෝජනාව ජෙනීවාහි දී පරාජය කිරීම ය. ඒ සඳහා 2012ට පෙර කළ ආකාරයට දහතුන ක්‍රියාත්මක කිරීම වැනි සිංහල විරෝධී පොරොන්දු නොදිය යුතු ය. අප ජෙනීවාහි දී පැරදුණත් එය අසහනයට කරුණක් කරගත නො යුතු ය. බටහිරයන්ට අවශ්‍ය අසහනය වැඩිකර අප හෙම්බත් කර නැතිකර දැමීම ය. අවශ්‍ය වුවහොත් අපි බටහිරත් සමග ඕනෑම ආකාරයක සටනකට සූදානම් වෙමු. ඒ සඳහා ආධ්‍යාත්මික ශක්තිය දියුණු කරගැනීමට ද ක්‍රියාකරමු. ඇමරිකාව වියට්නාමයෙ දී ඉගෙන ගත් පාඩම එමෙන් දහස් ගුණයකින් එංගලන්තයට ඉගැන්වීමට ලංකාවේ දී කටයුතු කරමු.


නලින් ද සිල්වා

2014-02-02