Main Logo

Sunday 9 February 2014

ජෙනීවා පරදවමු -1


මෙරට උගතුන් යැයි හැඳින්වෙන බටහිර දැනුම අවිචාරයෙන් අනුකරණය කරන්නෝ මාර්තුවේ දී ජෙනීවා හි දී කුමක් සිදුවන්නේ දැයි දැනගැනීමට වළිකති. ආණ්ඩු විරෝධී ඇතැමෙක් ජෙනීවාහි දී ආණ්ඩුව පරාජය වනු දැකීමට කැමැත්තෙන් පසුවෙති. තවත් අය ඊනියා රෙජීමය වෙනස් කරගැනීමට හැකි වේ යැයි සිතති. ළඟක දී නම් මැතිවරණවලින් ආණ්ඩුව පරාජය කිරීමට නොහැකි බව දන්නා ඔවුහු ජෙනීවාහි දී ඊනියා රෙජීමය වෙනස් කිරීමේ සිහිනය දකිති. මහින්ද රාජපක්‍ෂ මහතා විදුලි පුටුවට යනු දැකීමට කැමැත්තෙන් සිටින අය ද ඒ අතර වෙති. රනිල් වික්‍රමසිංහ මහතා රට වෙනුවෙන් විදුලි පුටුවට යෑමටත් ජෙනීවා ගොස් ගේමක් දීමටත් කැමැත්ත පළකර ඇත.  ඒ මහතා විදුලි පුටුවට යන්නේ නම් සුද්දන් විදුලිය විසන්ධි කර පුටුව අක්‍රීය කරනු ඇත. ඒ බව ඒ මහතා නොදන්නවා නො වේ. මේ අතර මාදුළුවාවේ සෝභිත හිමියෝ පසුගිය ඉරිදා තිනකුරල් නම් දෙමළ පුවත්පතට ප්‍රකාශයක් කරමින් හිටපු ජනාධිපතිනිය හෝ හිටපු අගවිනිසුරුවරිය හෝ ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන්නේ නම් තමන්වහන්සේ ඉදිරිපත්වීමට සූදානම් බවත් මානව අයිතිවාසිකම් කඩකිරීම් පිළිබඳ ජාත්‍යන්තර පරීක්‍ෂණයකට තමන්වහන්සේ එකඟ බවත් දැනුම් දෙති. උන්වහන්සේට ජනතාවගේ කෙසේ වෙතත් දෙවියන්ගේ ම පිහිට ය. උන්වහන්සේ නොව දෙවියන් වහන්සේ ම මිනිස් වෙසින් ඉදිරිපත් වුවත් දැන් තිබෙන තත්වය අනුව නම් මහින්ද රාජපක්‍ෂ මහතා පරාජය කිරීම සුද්දන්ගේ බසින් ම කිවහොත් ගිම්හානයේ මැද දකින සිහිනයක් වනු ඇත. හීතල දුරුත්තේ විවිධ අයට විවිධ අදහස් පහළ වෙයි. ජ වි පෙ නව නායක අනුර දිසානායක මහතාට කිනම් අදහසක් පහළ වුවත් ඔහුට නියමිත කාර්යභාරය වනුයේ මියගොස් ඇති පක්‍ෂය වළ දැමීම ය. මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි විශේෂත්වය නොපිළිගන්නා කිසිවකුට මින්පසු මෙරට කිසිම තැනක් හිමි නොවනු ඇත. සුද්දන්ගේ සංස්කෘතික ආධිපත්‍යයෙහි එක් අංගයක් වුව පරාජය කිරීමට ජාතික ව්‍යාපාරයට හැකි වී ඇත.    

රටට හිතැති ඇතැමෙක් ආර්ථික සම්බාධක පැණවුවහොත් ජනතාව අසීරු තත්වයකට ඇද වැටෙනු ඇතැයි බියෙන් පසුවෙති. රටට හිතවත් වුවත් ඔවුහු සුද්දන්ගේ අධ්‍යාපනය හේතුවෙන් මොළය පාවිච්චි නොකරන්නෝ වෙති. බොහෝ මහාචාර්යවරුන්ගේ මෙන් ම මොවුන්ගේ ද පාවිච්චි නොකරන ලද මොළ ඉතා වටියි. අපේ රටට ඇති මූලික ප්‍රශ්නය නම් පට්ටපල් බොරු වූ බටහිර විද්‍යාව ප්‍රධාන බටහිර දැනුම් ආධිපත්‍ය ය. ජෙනීවා පරාජය කළ හැකි ය. ඒ සඳහා බටහිර දැනුම් ආධිපත්‍යය පරාජය කළ යුතු ය. කලක් තමන්වහන්සේ සභාපතිත්වය දැරූ චින්තන පර්ෂදය විසින් මහනුවර දී බටහිර විද්‍යාව පට්ටපල් බොරු යන මැයෙන් පවත්වන ලද රැස්වීමක දී ඒ සඳහා යම් උත්සාහයක් දරා ඇති බව මාදුළුවාවේ සෝභිත හිමියන් දන්නේ දැයි නො දනිමි. උන්වහන්සේටත් ඒ රැස්වීමට සහභාගි වීමට නොහැකි වූ අන් අයටත් අවශ්‍ය නම් හා පහසුකම් තිබේ නම් ඒ රැස්වීමේ පූර්ණ හඬ පටය වෙබ් අඩවි ඔස්සේ පහත සඳහන් සම්බන්ධතා තුන මගින් ලබාගත හැකි ය. 


ජෙනීවා හි ඇති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය එක්සත් ජාතීන්ගේ ආයතනයකි. එක්සත් ජාතීන්ගේ ආයතනය මෙන් ම එයට බද්ධ වූ ආයතන ද පවත්වාගෙන යනු ලබන්නේ් මූලික වශයෙන් ඇමරිකාවේ, එංගලන්තයේ හා තවත් බටහිර රටවල් කිහිපයක මුදලෙනි. ඇතැම් ආයතන  ඒ රටවල මුදලෙන් පමණක් ම නඩත්තු වෙයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇතැම් විටෙක බටහිර රටවලට බහුතර බලයක් නොමැති වුවත් මුදල් බලයෙන් ඒ ඒ ආයතන මෙහෙයවීමට එංගලන්තයට හා ඇමරිකාවට හැකි වෙයි. පහළොස්වැනි සියවස අග ඇරඹී බටහිර යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යය හා ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තන ආධිපත්‍යය තවමත් ක්‍රියාත්මක වෙයි. එය මූලික වශයෙන් අධ්‍යාපනය හා ජනමාධ්‍ය මගින් ප්‍රචලිත කෙරෙයි. ලංකාව ඇතුළු ආසියා අප්‍රිකා රටවල කරුමය වී ඇත්තේ මේ සංස්කෘතික හා චින්තන ආධිපත්‍ය ය. ඒ සමග දේශපාලන හා ආර්ථික ආධිපත්‍ය ද ගැට ගැසී ඇත. අද බටහිර යටත්විජිත වාදය පවත්ව්ගෙන යනු ලබන්නේ දේශපාලනඥයන් හා නිලධාරීන් කිහිප දෙනකු විසිනි. එයට ධනේෂ්වරය සම්බන්ධ නමුත් ඊනියා ධනපති පංතියක් සජාතීය වශයෙන් ක්‍රියාත්මක නො වෙයි. චින්තනය හා සංස්කෘතිය විසින් තමන්ට අවශ්‍ය  දේශපාලනඥයෝ හා නිලධාරීහු බිහි කෙරෙති. ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයේ නියෝජිතයෝ විශ්වවවිද්‍යාලවල ද ජනමාධ්‍යයෙහි ද ඊනියා රාජ්‍ය නොවන ආයතනවල ද වෙනත් තැන්වල ද ක්‍රියාත්මක වෙති. මොවුන් ආගමෙන් බෞද්ධ විය හැකි ය. එහෙත් සංස්කෘතියෙන් හා චින්තනයෙන් ඔවුහු මූලික වශයෙන් ක්‍රිස්තියානි වෙති. අප බිහිකර ගත යුත්තේ ආගමෙන් ක්‍රිස්තියානි හෝ හින්දු හෝ කතෝලික හෝ මුස්ලිම් හෝ වුවත් සංස්කෘතියෙන් හා චින්තනයෙන් සිංහල බෞද්ධ වූ පිරිසකි. 
අපේ රටේ දෙමළ ප්‍රශ්නයට මුල්වන්නේ එංගලන්තය ය. ඉංගිරිසි සුද්දන්ගෙන් කිහිප දෙනෙක් ප්‍රශ්නය තමන්ට අවශ්‍ය ආකාරයට මෙහෙයවීම සඳහා ඇමරිකන් දේශපාලනඥයන් හා නිලධාරීන් කිහිප දෙනකු ද වෙනත් අය ද යොදා ගනිති. සුද්දන්ට මානව අයිතිවාසිකම් ගැන කැක්කුමක් නැත. අදාළ දේශපාලනඥයන්ට හා නිලධාරීන්ට අවශ්‍ය යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතික හා ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තන ආධිපත්‍යය තහවුරු කිරීම පමණකි. ඔවුහු ඒ සඳහා අවශ්‍ය පරිදි ඊනියා මානව අයිතිවාසිකම් නමැති ආයුධය යොදා ගනිති. බටහිර අධ්‍යාපනය විසින් මොළය අක්‍රීය කරවනු ලුබුවෝ මානව අයිතිවාසිකම් නම් ගෝනි බිල්ලාට බියවෙති. අනුර දිසානායක මහතා ගෝනි බිල්ලන් ගැන දන්නා පක්‍ෂ නායකයෙකි.  (මතු සම්බන්ධයි)


නලින් ද සිල්වා

2014-02-09