Main Logo

Monday 1 August 2016

සමාධියට ගල් ගසන්නේ කවු ද?

සමාධියට ගල් ගසන්නේ කවු ද?

චන්ද්‍රිකා කුමාරතුංග පාද යාත්‍රාවට විරුද්ධව පොලිසියට පැමිණිලි කරලා. ඒ පාද යාත්‍රාවේ ගමන් කරන අය හොරගොල්ලේ බණ්ඩාරනායක සමාධියට ගල් ගසා විය කියායි. පොලිසිය ඒ පැමිණිල්ල ඉතා බැරෑරුම් ව අරගෙන. ඒ පොලිස්පතිවරයා ඉතා අපක්‍ෂපාත නිසා ද චන්ද්‍රිකා හිටපු ජනාධිපතිනියක් නිසා ද ඒ දෙක ම නිසා ද වෙනත් හේතුවක් නිසා ද යන්න පැහැදිලි නැහැ. කෙසේ වෙතත් සමාධිය අසල පොලිස් සේනාංකයක් නැවැත්වීමට පියවර ගෙන තිබුණා.


එහෙත් චන්ද්‍රිකා බලාපාරොත්තු වූ පරිදි ගල් ගැසීමක් සිදු වුණේ නැහැ. ඒ වෙනුවට පාද යාත්‍රාවේ ගිය අය සමාධිය ඉදිරිපිට දී ටන් පාඨ කීම නවතා කොඩි ආදිය පහත හෙළා සමාධියට ආචාර කර එතනින් ගියා. මෙරට ජනතාව තමා මෙන් කටයුතු නොකරන බව චන්ද්‍රිකා නොසිතන්නට ඇති. ඇය පොලිසියට එම ප්‍රකාශය කෙළේ දේශපාලන වාසියක් ලැබීමට බව පැහැදිලියි. ඇයට මෛත්‍රිපාල හෝ ඔහුගේ ප්‍රධානියා වූ රනිල් හෝ දොශපාලන වශයෙන් කිසිම වැදගත් කමක් නොදෙන නමුත් ඇය තවමත් සිතා සිටින්නේ තමාට බණ්ඩාරනායක දේශපාලන උරුමය ඇත කියායි.

සමහරවිට ඇය සිංහල බෞද්ධ විරෝධී ඇගේ හා විජයගේ පුතා වූ විමුක්තිට බණ්ඩාරනායක උරුමය ලබාදීමට සිතා සිටිනවා ඇති. එහෙත්් තමා සිංහලයකු වීම ගැන ලජ්ජා වන්නේ යැයි කත විමුක්තිට බණාඩාරනායක උරුමයක් නැහැ. ඔහුට ඇත්තේ දෙමව්පියන්ගෙන් ලැබෙන සිංහල බෞද්ධ විරෝධය පමණයි. පුතාට තබා මවටවත් බණ්ඩාරනායක උරුමය නැහැ. එය සුනේත්‍රාටත් නැති බව අප කාටත් වඩා දන්නේ පාකියසෝති සරවනමුත්තු. 

බණ්ඩාරනායක සමාධියට ගල් ගසන තැනැත්තියක් ඉන්නවා. සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කෙළේ බණ්ඩාරනායක මහතායි. එ ජා පක්‍ෂය, දෙමළ ජාතිවාදීන්, කසිකබල් මාක්ස්වාදීන්, පඬියන් පමණක් නොව චන්ද්‍රිකා ද එය වරදක් ලෙස සලකනවා. සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමට විරුද්ධ සියල්ලන් ම බණ්ඩාරනායක සමාධියට ගල් ගසනවා. දැන් වැඩියෙන් ම ගල් ගසන්නේ චන්ද්‍රිකායි.

මොවුන් බණ්ඩාරනායක මහතාගේ සමාධියට පමණක් නොවෙයි, බණ්ඩාරනායක මැතිණියගේ සොහොනටත් ගල් ගහනවා. අද රනිල්ටත් කසිකබල් මාක්ස්වාදීන්ටත් පඬියන්ටත් දෙමළ ජාතිවාදීන්ටත් වෙනත් සිංහල බෞද්ධ විරෝධීන්ටත් 1972 ව්‍යවස්ථාවෙන් බුද්ධ ශාසනයට දී ඇති නිසි තැන පිළිබඳ විරෝධයක් ඇති වී තිබෙනවා. එය 1815 සිංහල ඉංගිරිසි ගිවිසුමෙත් තිබෙන බව මොවුන් අමතක කරනවා. ඒත් ඔවුන් බ්‍රවුන්රිග්ට ගල් ගසන්නේ නැහැ. මැතිණිය කෙළේ වරදක් කියලා නම් කියනවා. ඒක අර සංහිඳියාවටත් බාධාවක්ලු. ලාල් විජේනායකට මැතිණිය කොල්වින් ආර් ද සිල්වා ලවා ලියවූ අදාළ වගන්තිය ඕන වෙලා. පාද යාත්‍රාවෙ යන අය බණ්ඩාරනායක මහතාත් මැතිණියත් වෙනුවෙන් පෙනී ඉන්නවා. චන්ද්‍රිකා නම් එහෙම නැහැ. ඇය දේශපාලනිකව පංචානන්තරීය පාප කර්මය කරලා. 

තම මවටත් පියාටත් ගල් ගසන දුවක් ලෝකයේ ම ඇත්නම් ඒ චන්ද්‍රිකා විය යුතුයි. සමහරවිට ඇය ප්‍රබුද්ධ නිසා එසේ කරනවා වෙන්න පුළුවන්. ප්‍රබුද්ධයන් නොකරන දෙයක් නැහැ. ඔවුන් වල්මැඩියන්. ඒ කියන්නෙ වල්ගෙම්බන්. චන්ද්‍රිකා කවුදැයි දන්නා අයකු ඉන්නවා ද? 



මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද  කියවිය හැකි යි. 

(https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/)


නලින් ද සිල්වා
2016 අගෝස්තු 01