Main Logo

Saturday 27 August 2016

තල්මස් දඩයම

තල්මස් දඩයම


එක්සත් රාජ්‍යවල වයඹ අන්තයේ ම ජීවත් වූ මකා ජනතාවගේ සංස්කෘතිය තල්මසුන් සමග සම්බන්ධයි. ඔවුන්ගේ සංස්කෘතියේ සතුන් හා මිනිසුන් අතර එක්තරා විධියක සමානත්වයක් තිබුණා. සතුන් සමග කතාකළ හැකි වූ මුතුන් මිත්තන් ගැන ඔවුන් කියනවා. මා මේ දැනගත්තේ චාලට් කෝට්ගේ පොත කියවීමෙන්. මට මතක් වුනේ කාවන්තිස්ස රජු වැනි අය. සතුන් කී දේ තේරුම්ගැනීමට හැකි වූ අය ගැන අපේ සංස්කෘතියේත් කියැවෙනවා. ජාතක පොතේ කතාකළ සතුන් ගැන සඳහන් වෙනවා. ඒ සතුන් සමග සන්නිවේදනයක් ගැන කියවෙන්නෙ. අපට හත්වැනි පන්තියේ සිංහල ඉගැන්වූ ගුරුතුමා ජාතක කතාවක් ගැන කියලා දෙන ගමන් ඇහුව්වා සතුන්ට කතාකරන්න පුළුවන් ද කියලා. අබෞද්ධයකු වූ ඔහු ඉන් බලාපොරොත්තු වුනේ ජාතක කතා බොරුයි කියලා කියන්න. අප යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියට හුරු කෙරුවෙ ඒ විධියට. සංසාර පුරුද්දට වෙන්න ඕන ඊට අවුරුදු විසිපහකට විතර පස්සෙ මට ඒ සංස්කෘතියෙන් කැඩෙන්න පුළුවන් වුනා.

මකාවරුන් අද එතරම් ප්‍රමාණයක් නැහැ. ඔවුන් ඇංග්ලිකන් සංස්කෘතියට යටවෙලා. ඒත් තවමත් තම සංස්කෘතිය යම් පමණකින්වත් පවත්වාගෙන යන්න ඔවුන් උත්සාහ දරණවා. එහි දී එක්සත් රාජ්‍යවල පමණක් නොව කැනඩාවේ ඕස්ටේ‍ර්ලියාවේ හා නවසීලන්තයේ ස්වදේශික උගතුන් විශාල සේවයක් කරනවා. ඒ ජනතාව ඔවුන් ජාතිවාදීන් පසුගාමින් අතීතකාමීන් මිථ්‍යාමතධාරීන්් ලෙස හඳුන්වන්නේ නැහැ. තල්මසුන් දඩයම් කළ ආකාරය, ඒ සඳහා ප්‍රධානීන් පේවූ ආකාරය, දඩයම, තල්මසාට ගොඩට ඒමට කරන ලද ආරාධනා, තල්මසා ගොඩට ගෙන ඒමෙන් පසු මකා ජනතාව ඒ සතාගෙ මස් තෙල් ආදිය බෙදාගත් ආකාරය ආදිය චාලට්ගේ පොතේ කියැවෙනවා. අපේ සංස්කෘතියේ වැව ආශ්‍රීත ව  අප කළ ගනුදෙනුව බොහොම සමීපයි. මකා සංස්කෘතියත් සාමූහික සංස්කෘතියක්.

එක්සත් රාජ්‍ය මකා ජනතාව තම රාජ්‍යයට ඇතුල්කරගෙන ඇත්තේ 1855 ඇති කරගත් ගිවිසුමකින්. මේ ගිවිසුමෙන් මකා ජනතාවට තල්මසුන් දඩයම් කිරීමේ අයිතිය ලබා දී තිබෙනවා. අදත් ඒ ප්‍රදේශයේ මසුන් අල්ලන්න පුළුවන් මකාවරුන්ට පමණයි. එවැනි සහන මගින් ජනතාවක් බැඳ තබාගන්නට ඇංග්ලිකන් ක්‍රිස්තියානීන් දන්නවා. ඔවුන් ගිවිසුම් කඩන්නත් දන්නවා.  1815 සිංහල නායකයන් සමග ඇතිකර ගත් ගිවිසුමෙන් බුද්ධාගම හා දේවාගම ආරක්‍ෂා කිරීමටත් සිංහල සිරිත අනුව රට කරවීමටත් පොරොන්දු වූ ඉංගිරිසින් 1817 වන  විට ඒ ගිවිසුම කැඩුවා. 1848 දී දළදා මාළිගාවේ කටයුතු වලිනුත් අයින්් වුනා. එක අතකට එහෙම කරපු එක හොඳයි. නැත්නම් අද මාළිගාවෙ කටයුතු සිද්ධ වෙන්නෙ රනිල්ට ඕන විධියට. ඔහු අලි කරුණාව නිසා අලින්ට නිිදහස දෙන්න පෙරහැර නවත්වන්නත් තිබුණා. අලින්ට වධකරන්න යොදා ගන්නවයි කියන හෙණ්ඩුව වෙනුවට ඇත්ගොවුවනට වයි ෆයි පහසුකම් ලබාදෙන්න පොරොන්දු වෙන්නත් තිබුණා.

මකාවරුන් තල්මසුන් මැරුවෙ ලාභ උපයන්න නොවෙයි. ජනතාවගේ ආහාරය සඳහා පමණයි. ඔවුන් තල්මසුන් විනෝදයටවත්, තෙල් ගැනීමටවත්, එක් රැස් කර තබාගැනීමටවත් මැරුවේ නැහැ. බටහිර ක්‍රිස්තියානි නූතනත්වය මේ සියල්ල වෙනස් කරා. පෞද්ගලිකත්වය ඉස්මතු වුනා. ලාභ ලැබීමට, පෞද්ගලික විනෝදයට, පිරිමිකම පෙන්නන්නට සතුන් මැරුවා. තල්මසුන් ද මැරුවා. විවිධ සතුන් හා ජීවීන් යම් ප්‍රමාණයක් අපට නැතිවුනේ මෙහි ප්‍රතිඵලයක් ලෙස. බටහිර විද්‍යාඥයන් ජෛව විවිධත්වය ආදී සංකල්ප ගොඩ නැගුවා. ඒ මිනිසුන්ගේ පැත්තෙන් බලලා මේ වෙන වැඩේ මිනිසුන්ට අහිතකර නිසා මිසක් ගහකොළ සතුන් සමග වූ සාමූහික ජීවනය සඳහා නොවෙයි. අද පරිසරය රකින්න කෑගහන්නෙත් ඒ ආකල්පයෙන්.

ඊනියා ජාත්‍යන්තර සංවිධාන එකතුවෙලා තල්මසුන් රකින්න නීති රීති පැනෙව්වා. මේ සත්ව කරුණාවක් නිසා කළ දෙයක් නොවෙයි. තමන්ට ම වූ කරුණාව නිසා කළ දෙයක්. මේවා ජාත්‍යන්තර සම්මුතීන් ලෙස සලකලා එක්සත් රාජ්‍යයනුත් තල්මසුන් මැරීම තහනම් කළා. දැන් මකාවරුන් සමග ඇතිකරගත් ගිවිසුම වලංගු වන්නේ නැහැ. ඔවුන්ට ආහාරය සඳහා තල්මසුන් මැරීම තහනම් වුනා. මකා ප්‍රධානීන්ට එයට එකඟ වීම හැර වෙන කරන්න දෙයක් තිබුණෙ නැහැ. ඔවුන්ගේ සංස්කෘතිය තවත් දියවෙන්න පටන් ගත්තා. මේක වැදගත් දෙයක්. රටේ නීතියට ජන වර්ගයකගේ සංස්කෘතික සිරිතක් සම්ප්‍රදායක් යටවුනා. 

මේ නීතිවලින් පසුවත් කැලිෆෝනියා අළු පැහැති තල්මසුන් රැකගන්න බැරිවුනා. 1970 දි ඒ තල්මසුන් වඳවී යන සත්ව වර්ගයක් කියන කොටසට දැම්මා. ඒ දවස්වල අතුරුදහන් වූවන්ගේ කාර්යාලය තිබුණෙ නැති නිසා කවුරුන්වත් තල්්මසුන් නැතිවීම පිළිබඳ පැමිණිළි කරන්න කොළඹ ආවේ නැහැ. පසුව ඒ අළු පැහැති තල්මසුන් ටික ටික වැඩි වුනා. 1994 දි ඒ සතුන් අර වඳවී යන ලැයිස්තුවෙන් ඉවත් කළා. ඉන්පසු මකාවරුන්ට නැවතත් තල්මසුන් මරන්නට හැකි වුනා. ඒ සම්බන්ධයෙන් ඔවුන් විශේෂ සැණකෙළියක් පවත්වලා තියෙනවා. ඒකට ජනාධිපති ගිය බවට ආරංචියක් නැහැ. එක්සත් රාජ්‍යයන්හි ජනාධිපතිලාට තරමක් වැඩ තියෙනවා.

මකාවරුන්ගේ තල්මස් දඩයම තහනම් කෙරුණෙත් පසුව නැවත ඒ සඳහා ඉඩ ලැබුණෙත් සත්ව කරුණාවක් නිසා නොවෙයි. සතුන් හා ගහකොළ දැන් වඳවී යන්නෙ බටහිර ක්‍රිස්තියානි නූතනත්වය නිසා. ඔවුන් හිතනවා ස්වභාව ධර්මය පමණක් නොවෙයි අනෙක් සංස්කෘතීන්වල ගැහැණුත් පිරිමිත් තමන්ගෙ සංස්කෘතියෙ ගැහැණුත් ඉන්නෙ සුදු පිරිමින්ගෙ ප්‍රයෝජනය සඳහා කියලා. ඊනියා කාන්තා විමුක්ති අරගල ඇතිවන්නෙ ඒ හේතුව නිසා. මේ සුදු පිරිමින් යම් යම් දේට ඉඩ දෙන්නෙ එසේ නොකිරීමෙන් තමන්ට ප්‍රශ්නයක් ඇති වෙන කොට විතරයි. ඔවුන්ගෙ මූලික අරමුණ යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියෙ ඇංග්ලිකන් උච්චාධිපත්‍යය රැකීම. අලි කරුණාවත් ඒ සඳහා පමණයි. අපේ රටේ පඬියන් හා පඬිනියන් සුද්දන් අනුකරණය කරනවා හැරෙන්න වෙන දෙයක් දන්නෙ නැහැ. 



මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද  කියවිය හැකි යි.

https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/


නලින් ද සිල්වා

2016 අගෝස්තු 27