Main Logo

Wednesday 3 August 2016

ජාතික දේශපාලනයක් සඳහා

ජාතික දේශපාලනයක් සඳහා 

ජාතික දේශපාලනයක් කිරීමට හොඳ ම පසුබිම සකස් වෙලා. ඒත් ඒ කරන්නේ කොහොම ද? මෙරට දේශපාලනය පක්‍ෂ මත පදනම් වෙලා. එපමණක් නෙවෙයි. මුහුණු පොතේ පළවන ලිපි හා වෙනත් දේට කැමැත්ත පළකරන්නේත් පක්‍ෂ දේශපාලනය මත. ඇතැමුන්ට ඒ සඳහා පක්‍ෂවලින් අණ ලැබෙනවා. ඒ අණ ලැබෙන්නේ උපදෙස් හැටියට. ජ වි පෙරමුණ එවැනි ක්‍රියා මාර්ගයක් අනුගමනය කරනවා. ඒ පක්‍ෂයෙන් විවිධ අවස්ථාවල කැඩී ගිය කණ්ඩායම් ද ඇත්තේ ඒ පිළිවෙතේමයි. 


තරුණයන් තමන් බොහොම පරමාදර්ශී කියා හිතනවා. ඒත් ඒක එහෙම ම නෙ වෙයි. අප හැමෝට ම මමත්වයක් තිබෙනවා. අප බොහෝ විට කල්පනා කරන්නේ අප දරණ මතය නිවැරදි කියායි. වැරැද්ද කියන්නේ මොකක් ද කියන එකත් පැහැදිලි නැහැ. ඒත් රටට වැඩදායකය කියලා අප හිතන දේ තියෙනවා. වැඩදායක කියන එක ගැනත් එක එක්කෙනා හිතන්නෙ එක එක විධියට.  

අද ඒකාබද්ධ විපක්‍ෂෙ තියෙන ඒකාබද්ධකම මොකක් ද? ආණ්ඩු විරෝධය පමණක් ද? වැට් බද්ද වැඩි කිරීමට ඇති විරෝධය ද? රණ විරුවන් ඉලක්ක කරගෙන පිහිටුවීමට යන අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත සම්බන්ධයෙන් ගන්නා පියවර කුමක් ද?  පුද්ගලික විශ්වවිද්‍යාල ඇති කිරීම සම්බන්ධයෙන් ප්‍රතිපත්තියක් තියෙනව ද? මාලබේ සහ උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාල අතර වෙනසක් තිබෙනවා ද? විරුද්ධ වන්නේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සම්බන්ධයෙන් පමණ ද? වෛද්‍ය සභාව මාලබේ හා පිටරට වෛද්‍ය විද්‍යාල සම්බන්ධයෙන් දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරනවා ද?

වකුගඩු සටන හුදෙක් රසායනික පොහොර, වල්නාශක, කෘමිනාශක නිෂ්පාදනය කරන සමාගම් විරෝධී සටනක් පමණ ද? එහි බටහිර දැනුම් ආධිපත්‍යයට විරෝධී සටනක් නැද්ද? වකුගඩු සටන ආරම්භ වූයේ කෙසේ ද? වකුගඩු රෝගීන් සඳහා ලේ කාන්දුකරණ යන්ත්‍ර ඉන්දියාවෙන් ගෙන්වීම ඉන්දීය ආධිපත්‍යයට යටවීමක්. ඒත් ඒකට පමණක් විරුද්ධ වීම සෑහෙනව ද? ලේ කාන්දුකරණය වකුගඩු රෝගයට පිළියමක් ද? මා මෙහි දී සඳහන් කරන්නේ ඊනියා හේතුව නොදත් වකුගඩු රෝගය ගැනයි. එයට හේතුව නොදන්නවා යැයි කියන්නේ බටහිර වෛද්‍යවරුන් හා බටහිර විද්‍යාඥයන්. මා නම් එයට කියන්නේ කෘෂිරසායනික වකුගඩු රෝගය කියායි. මා බටහිර විද්‍යාඥයකුවත් වෛද්‍යවරයකුවත් නෙවෙයි. මා ඒ රෝගය එලෙස නම් කරන්නේ නාථ දෙවියන් නමින් හඳුන්වන ප්‍රාණියකු මත පදනම් වෙලා. ඒ අවිද්‍යාත්මක දැයි චන්න ජයසුමන හා අනුරුද්ධ පාදෙණිය කියනවා ද? බටහිර වෛද්‍ය විද්‍යාවෙ නැණ තියෙනවා නැත්තෙ ගුණ යැයි කියා බටහිර වෛද්‍ය විද්‍යාවට ගුණ එකතුකරන්න ඒ අය උත්සාහ කරනවා ද? වකුගඩු රෝගයට පිළියම් අපේ වෙදකමේ තියෙද්දිත් ලෙඩුන් මැරෙන්නෙ මොක ද? දෙරණ හාමුුදුරුවන්ගෙ කතාවට හැරුනම බටහිර වෛද්‍යවරුන්ගෙ කතාවලට පමණක් ප්‍රසිද්ධිය දුන්නෙ මොක ද? 

ජාතික දේශපාලනයක සෑම දෙයක් ගැන ම සියයට සියයක එකඟතාවක් තියෙන්නත් බැහැ. තිබිය යුතුමත් නැහැ. ඒත් යම් යම් දේ ගැන පොදු එකඟතාවක් තිබිය යුතුයි. දෙමළ ජාතිවාදය ගැන අපට පොදු මතයක් නැහැ. මේ රට සිංහල බෞද්ධ රටක් ලෙස පිළිගන්න ඒකාබද්ධ විපක්‍ෂය සූදානම් ද? එලෙස කිව්වෙත් සිංහල කතෝලික/ක්‍රිස්තියානි, දෙමළ, මුස්ලිම් ඡන්ද නැති වේ ද?  මේ රට සිංහල බෞද්ධ කිවුවම ඒකෙන් කියන්නෙ මොකක් ද කියලා ඒකාබද්ධ විපක්‍ෂෙ අය දන්නවා ද? 

බටහිර විද්‍යාව පට්ටපල් බොරු ය කියන එක බොහෝ දෙනාට තේරෙන්නේ නැහැ. මුහුණු පොතේ සමහර උදවියත් තවමත් අහන්නෙ මුහුණු පොතේ තාක්‍ෂණය බොරු ද වගේ ප්‍රශ්න. ඒ අතර තවත් අයකු සියල්ල අවිද්‍යාවෙන් පටන් ගන්න නිසා ක්‍ෂණය කියන එකත් බොරු ඒ නිසා ක්‍ෂණය කියන එක තිබුණට කමක් නැහැ කියලා තිබුණා. ඔහු ‘ක්‍ෂණය දෘඪව ගන්න එපයි කියලත් කියනවා. උත්පාද, තිථි, භංග සංකල්ප තුන ම අවිද්‍යාව නිසා ඇතිවුනත් ඊනියා පැවැත්ම පිළිබඳ තිථිය ආත්මවාදීයි. එය නොදැඩි ආකාරයකින් ක්‍ෂණිකව පවතිනවයි කියලා ගත්තත් ආත්මවාදීයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම යන්නෙහි දුක්ඛ කියන්නෙත් අයහපත් හිස් බව. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නෙත් පෘථග්ජනයන්ට නම් සංකල්ප තමයි. ඒත් පෘථග්ජනයන්ගෙ බුදුදහම අඩුම තරමෙන් ඒ සංකල්ප එක්ක පරස්පර වෙන්න බැහැ. 

ඒකාබද්ධ විපක්‍ෂය මේ සියළු ප්‍රශ්න ගැන සාකච්ඡාවක් ආරම්භ කරන්න ඕන කියලා මා කියන්නෙ නැහැ. ඒත් දැන්වත් දෙමළ ජාතිවාදය, සිංහල බෞද්ධ රට ආදී රටේ ප්‍රධාන ම ප්‍රශ්නය හා සම්බන්ධ දේ ගැන එකඟතාවක් ඇති කරගන්න ඕන. ඒත් ඒක දේශපාලනය නෙවෙයි කියන්නත් බැරි නැහැ. ජනමාධ්‍ය වුනත් ප්‍රසිද්ධියක් ලබා දෙන්නෙ ඒ වගේ ප්‍රශ්නවලට නෙවෙයි. යාපනයේ සිංහල සිසුන්ට පහර දීම වගේ ප්‍රශ්නවලට. ඒවට ප්‍රසිද්ධියක් දෙන්න ඕන. ඒත් ජනමාධ්‍ය ප්‍රශ්නවල හරය සාකච්ඡා කරන්න ඉඩක් දෙන්නෙ නැත්තෙ ඇයි? ඒවට ඉල්ලුමක් නැති හින්ද ද? 

ජාතික දේශපාලනයක් ඇති කිරීම සඳහා පළමුව දෙමළ ජාතිවාදය ගැන සාකච්ඡාවක් තියමු ද?  එහෙම නැත්නම් ඒක දන්නව කියලා ප්‍රශ්නය මගහරිමු ද? 





මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද  කියවිය හැකි යි. 

(https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/)



නලින් ද සිල්වා

2016 අගෝස්තු 03