Main Logo

Monday 15 August 2016

මේ සිංහල අපගෙ රටයි

   මේ සිංහල අපගෙ  රටයි


‍ මාලබේ ප්‍රශ්නයට අපි පස්සෙ එමු. අඩු තරමෙන් තර්ක කරන්නවත් ඉගෙන ගන්න පුළුවන් වේවි. මේ හැම ලිපියක ම තර්ක කරන්න ඉගැන්වෙනවා. ඒත් අපට යම් මතයක් ගැන කියන විට ඒ සියල්ල අමතක වෙනවා. ඒ ගැනත් අපි පස්සෙ කතා කරමු. නන්දා මාලිනී මේ රටේ ඉන්න ප්‍රබුද්ධ ගායිකාවක් ලෙසයි සැලකෙන්නෙ. ප්‍රබුද්ධ කියලා කියන්නෙ ප්‍රබුද්ධයන් ඒ වචනෙ පාවිච්චි කරන අර්ථයෙන්. එහෙම කිව්වම කිසි දෙයක් තේරෙන්නෙ නැහැ. මට වෙලාවකට හිතෙනවා ප්‍රබුද්ධ කියන එක බුද්ධ කියන එකට වඩා ඉහළ ද කියලත්. අපි ඒක පැත්තකින් තියමු. කොහොමත් මා නම් ප්‍රබුද්ධ නැහැ. ඇයි කියලා ඕනම මාක්ස්වාදියකුගෙන් අහන්න.
නන්දා මාලිනී කාලෙකට ඉස්සර මේ සිංහල අපගෙ රටයි කියලා ගීයක් ගැයුවා. එයට ඉතාමත් ප්‍රබුද්ධයකු වූ සුචරිත සුපිරි ට්‍රොට්ස්කිවාදී ගම්ලත් සහෝදරයා විරුද්ධ වුනා. ඔහුත් සිංහල මහාචාර්යවරියක වූ පියසීලී විජේගුණසිංහ සහෝදරියත් අතරෙ සාහිත්‍ය විචාරය ගැන නොමියෙන වාදයක් ඒ දවස්වල තිබුණා. දැන් දෙදෙනාම මියගිහින් වාදයත් මියගිහින්. ගම්ලත් ඒ ගීතය සිංහල ස්වෝත්තමවාදී කියලා දෙන්නම් බැටේ විචාරයක් කළා. ප්‍රබුද්ධ නන්දා ගීය ගායනා කිරීම නැවැත්තුවා. මා දන්නෑ දැන් ගායනා කරනවාද කියලා. ගම්ලත් මියගියාට තවත් අතිප්‍රබුද්ධයන් මේ රටේ ඉන්නවා. මට මේ ගීතය මතක් වුනේ ළඟදි කියවපු ලිපියක් නිසා. ඒ ලිපිය මෙරට දෙමළ ජාතිවාදය විකාශය ගැන ලියපු එකක් නොවෙයි. ඒත් ඒකෙන් කියැවුනෙ රනිල්ගෙ තාත්තා එස්මන්ඩ් වික්‍රමසිංහ, ලක්‍ෂමන් වික්‍රමසිංහ ඇංග්ලිකන් බිෂොප්ගෙ සහෝදරයා, කලක් ලේක්හවුස් අධිපතියා, රාජ්‍ය භාෂා පනත විකෘත කරලා ප්‍රචාරය කරපු අන්දම. රාජ්‍ය භාෂා පනතෙන් කියැවුනෙ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරන බව. එස්මන්ඩ් වික්‍රමසිංහ ඒක ප්‍රචාරය කෙළෙ සිංහල පමණක් රාජ්‍ය භාෂාව කරපු විධියට.
සිංහල රාජ්‍ය භාෂාව කියන එකේ හා සිංහල පමණක් රාජ්‍ය භාෂාව කියන එකේ අර්ථ දෙකක් තියෙනවා. 1815න් පස්සෙ රටේ රාජ්‍ය භාෂාව වුනේ ඉංගිරිසි. ඊට ඉස්සර සිංහල. දැන් පඬියකු අහන්න බැරි නැහැ ඒ කාලෙ රාජ්‍ය භාෂා පනතක් තිබුණ ද කියලා. නැහැ ඒ දවස්වල පනත් තිබුණෙ නැහැ. රටේ වැඩ කෙරුනෙ සිංහල සිරිතට අනුව. ඒවා බලා කියා ගන්න සිරිත් ලේනා කියලා කෙනෙක් හිටියා. කාට හරි ඕන නම් එයාට නීතිපති කියන්න පුළුවන්. රාජ්‍ය භාෂාව කියන සංකල්පය නැතිවුවත් ඒ කාලෙත් රජයට වැඩ කරන්න භාෂාවක් තිබුණා. ඒ සිංහල. යාපනේ ආර්ය චක්‍රවර්තිලාත් වැඩ කෙළේ සිංහල බස මුල් තැනේ තියලා. 1566 පෘතුගීසින් හා ආර්ය චක්‍රවර්ති රජු අතර ගිවිසුම කෙටුම්පත් කරලා තිබුනෙ සිංහලෙන් හා පෘතුගීසි භාෂාවෙන්. ඒකෙ දෙමළ තිබුණෙ නැහැ. යාපනයේත් සෙල්ලිපි තියෙන්නෙ සිංහලෙන්. එංගලන්තෙ තාමත් රාජ්‍ය භාෂා පනතක් නැහැ. ඒත් රාජ්‍ය භාෂාව ඉංගිරිසි. ඇමරිකාව ස්පාඤ්ඤ භාෂාවට බයේ ඉංගිරිසිය රාජ්‍ය භාෂාව කරල අවුරුුදු දහයක් විතර ඇති. ඒත් කෙනඩිත් වැඩ කෙළේ ඉංගිරිසියෙන්, ඇමරිකන් ඉංගිරිසියෙන්.
රාජ්‍ය භාෂාව 1815 දි සිංහලෙන් ඉංගිරිසියට මාරු වුනා. ඒකටත් බ්‍රවුන්රිග් පනතක් ගෙනාවෙ නැහැ. ඒත් 1931න් පස්සෙ ඒ වගේ වැඩට පනත් ඕන කියලා සුද්දන් කියලා තිබුණා. ඒ අනුව සිංහල නැවතත් රාජ්‍ය භාෂාව කරන්න පනතක් ඕන වුනා. 1956 රාජ්‍ය භාෂා පනත ගෙනාවෙ ඒකට. එතන දි දෙමළ රාජ්‍ය භාෂාව කරන්න කිසිම වුවමනාවක් තිබුණෙ නැහැ. ඓතිහාසික වශයෙන්වත්, ජනගහනය අනුවවත් එහෙම අවශ්‍යතාවක් තිබුණෙ නැහැ. එස්මන්ඩ් වික්‍රමසිංහගෙ සිංහල පමණක් කියන කතාවෙන් සිද්ධ වුනේ දෙමළත් රාජ්‍ය භාෂාව කරන්න ඕන නමුත් සිංහල පමණක් රාජ්‍ය භාෂාව කළා කියලා ප්‍රචාරය වීූම. දෙමළ ජාතිවාදයට ඒ වන විටත් අවුරුදු සිය ගණනක්. එස්මන්ඩ් දෙමළ ජාතිවාදී ගින්නට පිදුරු දැම්මා. රටේ භාෂා දෙකක් තිබුණට එක භාෂාවටයි රාජ්‍ය භාෂාව වෙන්න සුදුසුකම තිබුණෙ. එස්මන්ඩ් එක පෑන් පහරින් ඒ සුදුසුකම දෙමළටත් දුන්න.
මේ සිංහල අපගෙ රට කිවුවම ඒකෙ තියෙන්නෙ වෙන අර්ථයක්. සිංහල පිළිබඳ මහාචාර්ය වෙලා හිටිය ගම්ලත්ට තේරෙන්න ඕන ඒකෙන් මේ සිංහල අපගෙ පමණක් රට කියලා කිවුවෙ නැති බව. නන්දාට තවත් සිංහල මහාචාර්ය කෙනකු වූ සුනිල් ආරියරත්නගෙන් ඒ බව අහගන්න තිබුණා. සුනිලුත් සරුංගල් ඇරපු අයෙක්. සිංහලයන්ට මේ සිංහල අපගෙ රටයි කියලා කියන්න බැරි මොක ද? ඒකෙන් කියැවෙන්නෙ නැහැ මේ රට දෙමළ රටවැසියන්ගෙ රට නොවන බව. ව්‍යංගයෙන්වත් කියැවෙන්නෙ නැහැ එහෙම එකක්. හැබැයි සිංහලයන්ට වෙන රටක් නැති බව නම් කියැවෙනවා. නන්දා ගයන්නෙ නැත්තන් ඉන්දිකා උපමාලි ගයන ගීතයවත් අහලා ඒ පිළිබඳ නිගමනයකට එන්න.
සිංහල රාජ්‍ය භාෂාව කෙරුවෙ ඉංගිරිසිය පන්නන්න. බණ්ඩාරනායක මහත්තයා දෙමළට නිසි තැන දෙන පනතකුත් ගෙන ආවා. මේ සිංහල අපගෙ රටයි කිවුවෙ රටේ වරුණෙ කියන්නයි අප ඉපදෙන මැරෙන රට මේක බව කියන්නයි. එත් සිංහල විරෝධීන් ඒවට වෙනම අර්ථකථන දුන්න. එස්මන්ඩ් සිංහල භාෂාවට විරුද්ධව දෙමළ ජනයා උසිගැන්නුව. ගම්ලත්ට ඒක කරන්න බැරිවුනා. සිංහල දෙමළ කෝළාහලවලට එස්මන්ඩ්ු වග කියන්න ඕන. 1983 ජූලි කලබලවලට ජේ ආර් හා එ ජා ප වග කියන්න ඕන. එස්මන්ඩ් හා ජේ ආර් අවසන් වශයෙන් කෙරුවෙ සිංහලයන්ට විරුද්ධව දෙමළ ජනයාට ආයුධ සැපයීම. අද රනිල් එයත් කරන අතර එයටත් වඩා දුර ගිහින් රට සිංහලයන්ට අහිමි කිරීමට සැරසෙනවා.

මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද/ කාලය වෙබ් අඩවියෙන් ද  කියවිය හැකි යි.
 https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/
https://www1.kalaya.org

නලින් ද සිල්වා
2016 අගෝස්තු 15