කාලෝගේ හා වෛද්‍ය නිලධාරී සංගමයේ ටියුබ් ලයිට්
ඊයේ මහින්ද පැරදුණේ සිංහල බෞද්ධ ඡන්ද අහිමි වීමෙන් මිස මුස්ලිම් ඡන්ද
අහිමි වීවෙන් නොවන බව මා කී විට එක් පඬියකු අසා තිබුණේ මහින්ද පැරදුණු විට ඔහු වටා
ඩිටියේ සිංහල බෞද්ධයන් බව අමතක වී ද කියා. 2015 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අධ්‍යයනය කර විශ්ලේෂණය කළහොත් පෙනේවි
මහින්දට සිංහල බෞද්ධ ඡන්ද අඩු වූ ආකාරය. එහෙත් පඬියන් විශ්ලේෂණවලට කැමති නැහැ.
මහින්දගේ පරාජයෙන් පසුව ඔහු වටා ජනයා එකතු වූ බව පැහැදිලියි. අද ඒ පිරිස තවත් වැඩි
වී ඇති. එහෙත් මා කියා සිටියේ ජනාධිපතිවරණයෙන් පැරදීම මිස ඉන්පසු ආණ්ඩුවේ වැඩ
බැරිකම් හා වෙනත් හේතු නිසා ජනයා මහින්ද වටේ නැවතත් එකතු වීම ගැන නො වෙයි. පඬියන්ට
විශ්ලේෂණය, තර්ක බැහැ. ඔවුන් දන්නේ හැඟීමෙන් හා
වෙනත් අරමුණු වෙනුවෙන් කට කියවීමට පමණයි. වෛද්‍ය නිලධාරීන් ද ඔවුන්ගේ දේශපාලන ව්‍යාපෘතියකට
අනුව ජනයා මුළා කිරීමට කියවනවා.
අද ඊනියා උගතුන් අතර වීරයකු වීමට නම් සයිටම් විරෝධියකු විය යුතුයි.
මා උගතකුවත් බුද්ධිමතකුවත් වීරයකුවත් නොවන නිසාත් මා අඩු තරමෙන් ජාතික
ලැයිස්තුවෙන් මන්ත්‍රීවරයකුවත් අමාත්‍යාංශ ලේකම්වරයකුවත් සභාපතිවරයකුවත් වීමට
උත්සාහ නොකරන නිසාත් මට මගේ අදහස් නිදහසේ ප්‍රකාශ කරන්න පුළුවන්. සයිටම් විරෝධීන්
තර්ක කරන්නේ බොහෝ විට හැඟීමෙන් හා ආණ්ඩු විරෝධය මුල් කරගෙන දේශපාලන හා පෞද්ගලික
අරමුණු ඇතිව. ආණ්ඩු විරෝධය සයිටම් අනුමත කිරීමට බාධාවක් නො වෙයි. සයිටම් මහින්දගේ
ආණ්ඩුවේ වැඩක්. මා එදත් සයිටම් විරෝධියකු වුණේ නැහැ. අද සයිටම් විරෝධීන් ද එදා
සයිටම් අනුමත කළා.
බටහිර වෛද්‍යවරුන්ගේ සංගමයත් මහින්දගේ ආණ්ඩුවට සයිටම් සම්බන්ධයෙන්
විරුද්ධ වුණේ නැහැ. එකල අඩුම තරමෙන් ප්‍රමිතියක් ගැන කතා කෙළේත් නැහැ. සයිටම් පටන්
ගත්තේ රුසියානු විශ්වවිද්‍යාලයක උපාධි සඳහා සිසුන් පුහුණු කරන ආයතනයක් ලෙස. එයට
වෛද්‍ය සභාව විරුද්ධ වුණා. ඉන් පසුවයි සයිටම් මෙරට ම වෛද්‍ය උපාධිය ලබා දීමට
කටයුතු කෙළේ. මේ සියල්ල සිදුවුණේ මහින්දගේ කාලයේ. මා දන්නා තරමින් කාලෝ 2012 දී වෛද්‍ය සභාවේ සභාපති ධුරයට පත්කෙරුණු විට
ඔහුටත් අවශ්‍ය වූයේ සයිටම් උපාධිධාරීන්ට
වෛද්‍ය සභාවේ තාවකාලික ලියා පදිංචිය ලබා දීමයි. මහින්ද සයිටම් ශිෂ්‍යයන්
පිරිසකට ශිෂ්‍යත්වත් ලබා දුන්නා. සයිටම් වෛද්‍ය උපාධිය එස් බී පිළිගන්නා විට කාලෝ
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සාමාජිකයකු වූවා. මගේ දැනුම අනුව ඔහු එකල එහි
වෛද්‍ය අනුකමිටුවේ සභාපති වුණා. සයිටම් වෛද්‍ය උපාධිය නීත්‍යානුකුලයි. එයට අභියෝග
කිරීමට වෛද්‍ය සභාවට බැහැ. අභියාචනාධිකරණ තීන්දුවෙන් කියැවුණේ සයිටම් උපාධිධාරීන්ට
තාවකාලික ලියා පදිංචිය නොදීමෙන් වෛද්‍ය සභාව වරදක් කර ඇති බවයි.
කාලෝටත් වෛද්‍ය නිලධාරි සංගමයටත් ඊනියා කල්පනාව පහළ වන්නේ කල් ගියාට
පසුවයි. මහින්දගේ කාලයේ ඔවුන් සයිටම් ප්‍රමිතිය ගැනවත් කතා කෙළේ නැහැ. අද ඔවුන් කියන්නේ සයිටම් අහෝසි කරන ලෙසයි. එහෙත් වෛද්‍ය සභාවේ රිස්වි ෂෙරීෆ් කමිටු
වාර්තාව ගැන ඔවුන් කතා කරන්නේ නැහැ. ඒ වාර්තාවේ නිර්දේශ හා වෛද්‍ය සභාවේ නිගමනය
අතර පරස්පරයක් ඇති බව අධිකරණය පෙන්වා දී තිබෙනවා. එමෙන් ම ශික්‍ෂණ රෝහලක් නැතිව
තිබියදීත් වෛද්‍ය සභාව කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිධාරීන්ට
ලියාපදිංචිය දීමට තීරණය ගැනීම පිළිබඳවත් අධිකරණය සඳහන් කරනවා. ඊයේ කාලෝගේ කතාවෙන්
පෙනී ගියේ ඔහු සයිටම් ගැන සාකච්ඡා කිරීමට සූදානම් නැති බවයි. ඔහු කියන්නේ සයිටම්
අහෝසි කළ යුතු බවයි. ඔහුට අනුව සයිටම්හි ප්‍රමිතිය කෙසේවත් සම්මත මට්ටමකට ගෙන එන්න
බැහැ. ඔහු ඒ සම්බන්ධ නිගමනයකට ඇවිත්. ඔහු ඒ නිගමනයට පැමිණියේ ඊනියා විද්‍යාත්මක ක්‍රමයට
අනුව ද?
කාලෝට උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇති බව
තේරුම් ගැනීමටත් කල් ගිහින් තිබෙනවා. ඔහුට අනුව එහි ප්‍රශ්නයක් තිබී නැහැ. පසුව
මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා ලුණු ඇඹුල් ඇතුව කියා දීමෙන් පසුව පමණක් කාලෝට ප්‍රශ්නයක්
ඇති බව තේරුම් ගිහින්. මේ ප්‍රමාදය සමාජයේ හැඳින්වෙන්නේ ටියුබ් ලයිට් ප්‍රපංචය
ලෙසයි. අද කොල්වින් ගුණරත්න දුෂ්ටයකු ලෙස හැඳින්වීමේ ප්‍රයත්නයක් තියෙනවා. ඔහු
උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය සම්බන්ධ ප්‍රශ්නයේ දී විශාල මෙහෙයක් ඉටු කළා. මා
ඔහුගේ ඇතැම් ප්‍රතිපත්තිවලට විරුද්ධයි. ඒ බොහොමයක දී ඔහු කාලෝ සමග ඉන්නේ චන්ද්‍රිකාගේ
පැත්තේ. එහෙත් සයිටම් ගැන ඔහු එදත් අදත් එකම ප්‍රතිපත්තියක ඉන්නවා. කාලෝ මෙන් පුහු
වීරයකු වෙන්න උත්සාහ කරන්නේ නැහැ.
වෛද්‍ය ආඥා පනත අනුව වෛද්‍ය සභාවේ සභාපති නම් කෙරෙනුයේ සෞඛ්‍ය (අදාළ)
ඇමති විසින්. ආඥා පනතේ 14 වැනි වගන්තියට අනුව වෛද්‍ය සභාවේ නිල
දෙකකට හැරෙන්න අනෙක් නිලවලට තෝරා පත්කර ගැනෙන්නේ හෝ නම් කෙරෙන්නේ හෝ අවුරුදු පහකට.
ආඥා පනතේ 15 වැනි වගන්තියෙන් කියැවෙන්නේ අවුරුදු
පහට පෙර හෝ පහකින් හෝ සේවය අත්හැර යෑම ගැනයි. අවුරුදු පහකට පසු නැවත තෝරා පත්කර
ගනු නොලැබුවහෙත් අදාළ පදවිය නැති වෙනවා.
වෛද්‍ය ආඥා පනතේ කිසිවකු නිලයකින් අස්කිරීම ගැන කියවෙන්නේ නැහැ. තෝරා
පත්කර ගනු ලැබූ අයකු කෙරෙහි අදාළ තේරීම් මණ්ඩලයේ විශ්වාසයක් නැති වුවහොත් කළ
යුත්තේ කුමක් ද? වෙනත් අයකු ඒ තනතුරට පත්කර ගත හැකි ද?
ඇමතිවරයා නම් කරන සභාපතිවරයාගේ නම කලකට පසුව
අස්කර ගැනීමට ඇමතිවරයාට බලයක් නැද්ද? මේ
ප්‍රශ්න අධිකරණයේ දී නිරාකරණය කළ යුතු ඒවා. කාලෝ සම්බන්ධයෙන් එවැනි ප්‍රශ්නයක් මතු
වී නැහැ. අවුරුදු පහ ගෙවෙන තෙක් ඔහු තම තනතුරේ වැඩ කළා. ඉන්පසු ඔහුට ඇමතිවරයා
(රාජිත) 2017 ජනවාරි සිට මාස හයක සේවා දිගුවක් දී
තිබෙනවා. සේවා දිගුව ජූනි මස අග දී බල රහිත වූවා. එවිට කාලෝට තවදුරටත් වෛද්‍ය
සභාවේ සභාපති ලෙස කටයුතු කරන්න බැහැ. ඔහු වෙනුවෙන් වෛද්‍ය නිලධාරීන් අඛණ්ඩ
වර්ජනයක් කිරීමට සූදානමින් සිටියා, එහෙත්
කාලෝ එවැනි වර්ජනයකට විරුද්ධයි! වර්ජනයක් කළා නම් වෛද්‍ය නිලධාරීන්ට තම තත්වය
තේරුම් ගැනීමට තිබුණා.
කාලෝට ජනවාරියේ සේවා දිගුවක් දුන්නේ වෛද්‍ය ආඥා පනතේ කිනම් වගන්තිය
යටතේ ද යන ප්‍රශ්නය පැන නගිනවා. එවැනි වගන්තියක් නම් නැහැ. එහෙත් ඇමති සාමාන්‍ය
සම්ප්‍රදාය අනුව ජනවාරියේ මාස හයකට සේවා දිගුවක්
දී තිබෙනවා. කාලෝ එය පිළිගත්තා. වෛද්‍ය නිලධාරීන් ද එය ප්‍රශ්න කෙළේ නැහැ.
වෛද්‍ය නිලධාරීන් ප්‍රති ටියුබ් ලයිට් ප්‍රපංචය (යමක් කල් ගත වී වැරදියට තේරුම්
ගැනීම) අනුව අද එය ප්‍රශ්න කරනවා. පත්වීම අවුරුදු පහකට යැයි තර්ක කරනවා. එය ජනයා
නොමග යැවීමට කරන ගොඩ පෙරකදෝරු කතාවක්. වෛද්‍ය ආඥා පනත අනුව සේවා දිගුවක් දීමට
නොහැකි නම් කාලෝගේ මාස හයේ සේවාව නීත්‍යානුකූල නොවිය යුතුයි. නිගමනය කළ හැක්කේ එය
හෝ සේවා දිගුව නීත්‍යානුකූල බව හෝ මිස සේවා කාලය (දිගුව) අවුරුදු පහක් ය යන්න නො
වේ. මේ පිළිබඳ ව වර්ජන කතා කියන්නේ නැතිව වෛද්‍ය නිලධාරීන්ට අධිකරණයට යෑමට තිබුණා.
එසේ ගියා නම් සිදු වීමට තිබුණේ කුමක් ද යන්න පැහැදිලියි. වෛද්‍ය නිලධාරීන්ගේ
සංගමයේ තර්ක ඥානය පිළිබඳ ප්‍රශ්න තිබෙනවා.
රාජිත කාලෝට සේවා දිගුවක් දුන්නේ ඇයි ද කියා තේරුම් ගන්න බැහැ. ඔහු
ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී කියා පෙන්නීමට ද? එසේත් නැත්නම් කාලෝට මාස හයකින් ටියුබ් ලයිට් ප්‍රපංචයට අනුව කරුණු
පැහැදිලි වේය කියා හිතුවා ද? ඒ කුමක් වුවත් වැඩක් නැහැ. කාලෝ ඉන්නේ ඉතාමත් දරදඬු තත්වයක. ඔහුට
සයිටම් අහෝසි කිරීම හැර වෙන විසඳුමක් නැහැ. සයිටම් ප්‍රමිතිය දියුණු කළ හැකි බවවත්
ඔහු පිළිගන්නේ නැහැ. කිසිම නම්‍යශීලිභාවයක් නැති අයකු මේ අවස්ථාවේ වෛද්‍ය සභාවේ
සභාපතිකමට සුදුසු නැහැ. ඔහුගේ සේවා කාලය
නීත්‍යානුකූල ව වුවත් තවත් දික් කරන එක අපරාධයක්.
මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.
නලින් ද සිල්වා
2017 ජූලි 11