Main Logo

Friday 14 July 2017

ඩෙංගු මර්දනය


ඩෙංගු මර්දනය



මේ ලිපි මුහුණු පොතේ පළ කිරීම ගැන මගේ කිසිම සතුටක් නැහැ. මා ලිපි ලියන්නේ කාලය වෙබ් අඩවියට පමණයි. එහෙත් දෙතුන් දෙනෙකු එකතු වී ඒ ලිපි මුහුණු පොතේ පළ කරනවා. එය තේරුමක් නැති වැඩක්. මුහුණු පොතේ ඉන්නා අය මට වඩා දන්නවා. ඔවුන්ගේ ප්‍රතිචාරවලින් පැහැදිලි වන්නේ එයයි. මා ඒ කිසිවකටවත් පිළිතුරු දෙන්න යන්නේ නැහැ. මට වඩා දන්නා අයට මා යමක් කියන්නේ කෙසේ ද? ක්‍රිස්තියානිය මෙරට රාජ්‍යාගම බව බොහෝ දෙනකු බොහෝ කලක සිට දන්නා බව ඉතා පැහැදිලියි. මා ඒ බව කීමෙන් මෝඩකමක් කළා යැයි මට හිතෙනවා. මා නම්  ඒ බව දැනගත්තේ සති දෙකතුනකට කලින්.  1840 දී සිදු වූ දේ ගැන බොහෝ දෙනා දන්නවා. මා කුමකට ඒ ගැන ලියනවා ද කියලා මට හිතෙනවා. මගේ මිතුරන් මේ ලිපි මුහුණු පොතේ පළ නොකරනවා නම් හොඳයි.




මා චින්තනය යන්න ඉංගිරිසියෙන් Chinthanaya යනුවෙන් ලිවීම ගැන විවේචන ඇති වුණා.  චින්තනය යන්නට ඉංගිරිසියෙන් වචනයක් නැහැ. එය තෝට්, තින්කින් නම් නො වෙයි. ඉංගිරිසියෙන් චින්තනයට මා කියන්නේත් ලියන්නේත් Chinthanaya කියා. එවිට එය ඉංගිරිසි වචනයක් මිස සිංහල, පාළි හෝ සංස්කෘත හෝ නො වෙයි. එවිට එය ඉංගිරිසියෙන් ලියන්නේත් සාමාන්‍ය ඉංගිරිසි ලියන විධියට මිස පාළි වචන ලියන ආකාරයෙන් Cintanaya කියා නො වෙයි. ඉංගිරිසියෙන් Church thought ආදී චන ලියද්දී ච, ත ශබ්ද ලියන අකාරයක් තියෙනවා. මා චින්තනය යන ඉංගිරිසි වචනය ඉංගිරිසියෙන් ලිව්වෙ ඒ සම්ප්‍රදාය අනුගමනය කරමින්.  මා දි අයිලන්ඩ් පුවත්පතට අවුරුදු දහයකට වැඩි කාලයක් ලිව්වා. එහි දී චින්තනය ලිව්වේ මා සාමාන්‍යයෙන් ලියන ආකාරයටයි. එය ඉංගිරිසි වචනයක් මිස පාළි හෝ සංස්කෘත හෝ වෙනත් වචනයක් නොවන බව දි අයිලන්ඩ් පාඨකයන් දැනගත්තා. ඔවුන් එයට විරෝධයක් පළ කළේ නැහැ. වෙනත් භාෂාවල වචනවලට යම් භාෂාවක වචනයක් නැත්නම් ඒ වචනය දෙවැනි භාෂාවේත් වචනයක් ලෙස ගන්නා අවස්ථා රාශියකට උදාහරණ දෙන්න පුළුවන්. ඩෙංගු (ඩෙංගි) මොන භාෂාවෙන් ගත්තත් අප සිංහලෙන් ලියන්නෙ සිංහල සම්ප්‍රදාය අනුවයි. 



ඩෙංගු රෝගය ඇති කරන මදුරුවා පිරිසිදු ජලය ආශ්‍රිත ව බිහිවන බවයි එකල කියැවුණේ. එහෙත් දැන් කියැවෙන්නේ කුණු ආශ්‍රිත ව ඩෙංගු මදුරුවා බිහිවන බවයි. බටහිර වෛද්‍යවරයකු කියන්න පුළුවන් ඩෙංගු නොවෙයි ඩෙංගි කියා. ඒකට කමක් නැහැ. අද ජනවහරේ කියැවෙන්නේ ඩෙංගු කියලයි. සිංහලයන්ට ඩෙංගු කියන එක ඩෙංගි කියනවාට වඩා පහසු ද දන්නේ නැහැ. ඒ කොහොම වෙතත් ඩෙංගු මදුරුවාගේ ගැහැණු සතා (මැදිරිවි?) පිරිසිදු ජලයේ සිට කුණු ගොඩට ගියේ කවදා ද දන්නේ නැහැ. මා මෙසේ අසන්නේ හුදෙක් දැන ගැනීම පිණිස.



මෙරට බටහිර වෛද්‍යවරුන් කරන්නේත් ජනමාධ්‍යකරුවන් කරන දේ ම පමණයි. ඔවුන් සියළු දෙනා ම සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරනවා. ලක්‍ෂයකට ඩෙංගු රෝගීන් කී දෙනකු ඉන්නවා ද? රෝහලක ඩෙංගු රෝගීන් කී දෙනකු සිටිනවා ද, එක ඇඳක ඩෙංගු රෝගීන් කී දෙනකු සිටිනවා ද ආදී ප්‍රශ්නවලට උත්තර ඔවුන් ළඟ තියෙනවා. එහෙත් ඩෙංගු කීට නැති කරන්නේ කෙසේ ද කියා ඔවුන් දන්නේ නැහැ. අප කියුබාව, ඕස්ත්‍රේලියාව ආදී රටවල්වලින් කීටනාශකයන් බලාපොරොත්තුවෙන් සිටිනවා. අවුරුදු එකසිය හතළිස්හතක බටහිර වෛද්‍ය අධ්‍යාපනයකින් පසුවත් අපට වෙනත් රටවල් නැත්නම් දෙවියන්ගෙ පිහිටයි. දැන් මුහුණු පොතේ කාට හරි ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ඒ නාථ දෙවියන් ද කියා! 



ඩෙංගු රෝගය ගැන සිංහල වෙදමහතකුගෙන් ප්‍රශ්න කිරීමට කිසිම ප්‍රබුද්ධයකුට නොහැකි වුණා. පුවත්පත්වල වාර්තා අනුව සිංහල වෛද්‍යවරුන්ට වෛද්‍යවරියන්ට ඩෙංගු රෝගයට ප්‍රතිකාර තියෙනවා. ඒත් ඒවාට සමාජ පිළිගැනීමක් නැහැ. පෞද්ගලික මට්ටමෙන් ඇතැම් ඩෙංගු රෝගීන් ප්‍රතිකාර ගැනීමට සිංහල වෙදමහතුන් කරා යනවා වෙන්න පුළුවන්. ඒත් සමාජය ලෙස ගත්කල වෙදමහතුන්ට පිළිගැනීමක් නැහැ. වෙදමහතකුගෙන් ප්‍රතිකාර ගෙන ලෙඩකු සුව වුවත් පඬියන් ඔහුගෙන් එසේ සුව වූ බවට බටහිර වෛද්‍යවරයකුගෙන් සහතික ඉල්ලාවි. රෝගියා සුව වූ බව බටහිර වෛද්‍යවරයකු කියන තෙක් අප ඒ බව පිළිගන්නේ නැහැ. මේ ආධිපත්‍යය අපේ දේ රැක ගන්නේ යැයි කියන රූපවාහිනී නාළිකාත් පිළිගන්නවා.



කෘෂිරසායනික වකුගඩු රෝගයට සිංහල ප්‍රතිකාර තියෙනවා. ඒත් එයට ප්‍රචාරයක් ලැබෙන්නේ නැහැ. බටහිර විද්‍යාව පට්ටපල් බොරු යැයි කීමට ඔවුන් බයයි. ඒත් ඔවුන් ඒ පිළිබඳ කාලෝ සමග විවාදයක් කිරීමට මට අවස්ථාව දෙන්නේ නැහැ. කාලෝත් මගේ ආරාධනය පිළිගන්නේ නැහැ.



ඩෙංගු ගැන සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කිරීමෙන් පමණක් අපට ඩෙංගු මර්දනයකරන්න බැහැ. අප කුණු ගොඩවල්වලට අමතර ව පිරිසිදු ජලය තිබෙන තැන් නැති කරන්න ඕන ද? සිංහල වෙදමහතුන් මේ ගැන කියන්නේ කුමක් ද?





මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.



http://www1.kalaya.org



නලින් ද සිල්වා



2017 ජූලි 14