Main Logo

Wednesday 19 July 2017

බෙන්ගේ ඩෙන්න ඩෙනා


බෙන්ගේ ඩෙන්න ඩෙනා



එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඊනියා මානව අයිතිවාසිකම් වර්ධනය කිරීමටත් ත්‍රස්තවාදය නැතිකිරීමටත් කතාකරන, එකී සංවිධානයේ විශේෂ වාර්තාකරුවකු වූ බෙන් එමර්සන් ලංකාවට තර්ජනය කරලා. 2015 ඔක්තෝබරයේ දී ලංකාවේ ද සහායෙන් ලංකාවට විරුද්ධව එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් මණ්ඩලය සම්මත කර ගත් යෝජනාව පූර්ණ ව ක්‍රියාත්මක නොකළහොත් දරුණු විපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බව එමර්සන් ප්‍රකාශ කරලා. ඔහු මේ ප්‍රකාශය කර ඇත්තේ කොළඹ එක්සත් ජාතීන්ගේ සංවිධාන පරිෂ්ඨයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී. එක්සත් ජාතීන්ගේ සංවිධානය අද අප පාලනය කරනවා.
 



හිටපු විදේශ ඇමති මංගල සමරවීර ද රනිල් ද මෛත්‍රිපාල ද දිගින් දිගට ම කියා සිටියේ මේ ඊනියා ජාතික ආණ්ඩුව හෙවත් විජාතික ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව ලංකාවට තිබූ සියලු බාධක නැති වූ බවත් දැන් ලෝකය ම ලංකාව පිළිගන්නා බවත්. එහෙත් එමර්සන් කියන්නේ වෙන ම කතාවක්. ඔහු එංගලන්තයේ රාජනීතිඥයෙක්. ඔහුට අනුව ලංකාවේ ත්‍රස්තවාදයට එරෙහි ව ඇති නීති ලෝකයේ ම ඇති නරක ම නීති. ඔහුට අනුව ලංකාව මේ නීති දෙමළ ජනයාට විරුද්ධව ක්‍රියාත්මක කරලා. බළලා මල්ලෙන් එළියට පැනලා. ඔහු කතා කරන්නේ දෙමළ ජාතිවාදීන් වෙනුවෙන්. එමර්සන් තවදුරටත් කියා ඇත්තේ ලංකාව ඊනියා ජාත්‍යන්තරයේ ඉවසීම ඉක්මවා නොගිය යුතු බවයි.



එමර්සන් එන්නේ මොකාට ද යන්න ඉතා පැහැදිලියි. ආණ්ඩුව මොන බොරු කිව්වත් බටහිරයන්ට අවශ්‍ය ආණ්ඩුව ලවා දෙමළ ජතිවාදයට හා දෙමළ ත්‍රස්තවාදයට කප්පන් දෙවීම. ලෝකයේ ත්‍රස්තවාදයට එරෙහිව හමුදා මෙහෙයුම් ජයග්‍රහණය කළ එකම රටේ ත්‍රස්තවාදය පිළිබඳ නීති ලිහිල් කරන ලෙස එමර්සන් ඉල්ලන්නේ නැවතත් මෙරට දෙමළ ත්‍රස්තවාදයක් ඇති කිරීමට. අප දෙමළ ත්‍රස්තවාදය සමග දෙමළ ජාතිවාදය ද නන්දිකඩාල්හි දී පරාජය කළත් එය නීති පොතට ඇතුල් කරන්න බැරි වුණා. එයට මහින්දත් වග කිව යුතුයි. මහින්ද අද රනිල්ගේ ව්‍යවස්ථාදායක සභාවෙන් ඉවත්වන්න තීරණය කරන්නේ නැහැ. ජා නි පෙ නම් එයින් අයින් වෙන්න තීරණය කරලා.



දෙමළ ජාතිවාදය ඇති කෙළේ ඉංගිරිසින්. ඒ සිංහල බෞද්ධ ජාතිකත්වයට එරෙහි ව. සුද්දන් දෙමළ ජාතිවාදය ඇති කෙළේ 1831 දී.  ඔබ්සර්වර් පත්‍රයෙන් දයාන් ජයතිලකන (අනුරුද්ධ තිලකසිරි) සමග එක් වී ජාතිකත්වයට මඩ ගැසූ ඇතැම් ජාතිකවාදීන් යැයි කියා ගන්නා අය අමුතු බෙරයක් වයන්න උත්සාහ කරනවා. ඔවුන් ජී ජී පොන්නම්බලම් හා රාමනාදන් අරුණාෂලම් සහෝදරයන් අතර වෙනසක් දකින්න හදනවා. ඒ සහෝදරයන්ට අවශ්‍ය වූයේ ලංකාවේ ම නායකයන් වීමට. එය බැරි බව වැටහුණු විට ඔවුන් සිංහලයන්ට විරුද්ධ වුණා. ලංකාවේ විකෘති දෙමළ ඉතිහාසයක් ලිවීමට අරුණාෂලම් කටයුතු කළා. ඔහුට අවශ්‍ය වූයේ යක්‍ෂයන් හා නාගයන් දෙමළ බව පෙන්වීමට. කුමාරතුංග මුනිදාස එය සිංහල ඉතිහාසයක් බව පෙන්වීමට කටයුතු කළා. ඔහු බෞද්ධකමට වඩා සිංහලකම අගය කිරීම සිංහල බෞද්ධයනට ප්‍රශ්නයක් වූවා. රාමනාදන් 1915 දී මුස්ලිමුන්ට පක්‍ෂ නොවී සිංහලයන්ට පක්‍ෂව කටයුතු කෙළේ ලංකාවේ ම ප්‍රධානියා ලෙස. ඔහු කොහොමටත් මුස්ලිමුන්ට කැමති වූයේ නැහැ. මුස්ලිමුන් ඔහු දෙමළ කතාකරන ජනතාව වෙනුවෙන් පෙනී සිටීම ගැන විරුද්ධත්වය පළ කර තිබුණා. රාමනාදන් හා අරුණාෂලම් සිංහලයන්ට ව්‍යවස්ථාදායක මණ්ඩලයේ එකකින් නමුත් වැඩි නියෝජනත්වයක් දීමට විරුද්ධ වුණා. රාමනාදන් හා අරුණාෂලම් වෙනුවෙන් කතා කරන ඊනියා ජාතිකවාදීන් කවුරුන් ද?



ඉතිහාසය ගැන කුමාරතුංග කතා කෙළේ බටහිර පුරාවිද්‍යාවේ සංකල්පවලට පිටින් බව එකී පුරාවිද්‍යාවේ ගැති අනුකාරකයන් බවට පත් වී ඇති පඬි පෝතකයන්ගේ දැන ගැනීම සඳහා කිව යුතුයි. බටහිර පුරාවිද්‍යාව මුළු ලෝකයට ම එකම විකාශයක් පැනවීමට කටයුතු කරනවා. ශිලා යුගය වැනි යුගවලට බෙදා පුරාවිද්‍යාව ලිවීමෙන් බටහිර විකාශයට වෙනස් අයුරකින් විකාශය වූ ජනවර්ගවලට, සංස්කෘතීන්ට වන්නේ අගතියක්. බටහිර පුරාවිද්‍යාවේ ඊනියා පොදු විකාශය මාක්ස්ගේ ව්‍යාජ පංති සටන් විකාශයේත් දැකිය හැකියි. මේ ප්‍රවාද සියල්ල ද්‍රව්‍යවාදීයි. බටහිර කේන්ද්‍රවාදීයි. බටහිර කේන්ද්‍රවාදී පුරාවිද්‍යවකින් ඈත ඉතිහාසය  නිර්මාණය කිරීමට තැත්කරන්නන් අවසන් වන්නේ සිංහල බෞද්ධ සංස්කෘතිය නැති කිරීමෙන්.



එමර්සන්ටත් අවශ්‍ය සිංහල බෞද්ධ සංස්කෘතිය නැති කිරීමට දෙමළ ජාතිවාදය යොදා ගැනීමට. ඔහු සිතන්නේ ලංකාව පාලනය වන්නේ දියවන්නාවේ පාර්ලිමේන්තුවෙන් නොව ජෙනීවාහි හුසේන් කුමරුගේ එක්සත් ජාතීන්ගේ ඊනියා මානව අයිතිවාසිකම් කාර්යාලයෙන් බවයි. ඔහුහේ ප්‍රකාශයට කිසිම විරුද්ධත්වයක් මේ නිවට ආණ්ඩුව දක්වා නැහැ. බටහිරයන් පත් කළ ආණ්ඩුවක් බටහිරයන්ට විරුද්ධව ක්‍රියා කරන්නේ කොහොම ද? නියම ජාතික ආණ්ඩුවක් තිබුණා නම් පළමුවෙන් ම එමර්සන් වැන්නකුට ලංකාවට ඒමට වීසා දෙන්නේ නැහැ. වීසා දුන්නත් අර ප්‍රකාශයෙන් පසු වහාම එමර්සන් පිටුවහල් කරනවා.



එමර්සන් උතුරට ගොස් දෙමළ දේශපාලනඥයන් සමග ද සාකච්ඡා කළා. මේ සාකච්ඡා පැවැත්වීමට අවසර දෙන්නේ කවු ද? දෙමළ ත්‍රස්තවාදියකුගේ සුවදුක් බැලීමට ඇපල් රැගෙන නවලෝක රෝහලට ගිය සිංහල බෞද්ධ විරෝධී අසූ වියැති ජනාධිපති ලේකම් ද?  ජනාධිපති ලේකම් නියෝජනය කරන්නේ මෛත්‍රිපාල ද චන්ද්‍රිකා ද?   මෛත්‍රිපාල  මෙහි දී කරන්නේ කුමක් ද? මෙරට ජනාධිපති මෛත්‍රිපාල ද, එමර්සන් ද, හුසේන් ද? මෛත්‍රිපාල ජනාධිපති බලතල යොදා නොගන්නේ ඇයි. ඔහු රනිල්ට හා චන්ද්‍රිකාට  තවමත් සර් මැඩම් කියනවා ද? එය කැබිනට් රහසක් ද?



ඒකාබද්ධ විපක්‍ෂය තවමත් සිංහල බෞද්ධ විරෝධී ව්‍යවස්ථාදායක මණ්ඩලයේ සාමාජිකයන්. ඔවුන් ඉන් ඉවත් නොවන්නේ තොරතුරු ලබා ගැනීමට ය කියන එක අප විශ්වාස කරන්නේ නැහැ. ඒකාබද්ධ විපක්‍ෂයේ උපදේශකයන් වන්නේ ජී එල්, දයාන් වැනි අය. මහින්දගේ කාලයේ දී ජෙනීවා අවුල් කෙළේ ඔවුන්. බෙන් එමර්සන්ලාට අතීතයේ දී උල්පන්දන් දුන්නේ ඔවුන්. අවාසනාවකට අද ඒකාබද්ධ විපක්‍ෂයේ ඇතැම් ජාතිකවාදීන් ද ජී එල්ලාට හවුල් වෙනවා.





මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.

http://www1.kalaya.org

නලින් ද සිල්වා

2017 ජූලි 19