Main Logo

Friday 28 July 2017

අවුරුදු හතළිහක ශේෂ පත්‍රයෙන් බිඳක්


අවුරුදු හතළිහක ශේෂ පත්‍රයෙන් බිඳක්





විවෘත ආර්ථිකයට අවුරුදු හතළිහයි. රනිල්ගෙ දේශපාලන ජීවිතයටත් අවුරුදු හතළිහයි. මේ කතාකරන්නෙ 1977 ගැනයි. හැත්තෑහතේ මැතිවරණයෙන් එ ජා පක්‍ෂයට හයෙන් පහක් ලැබුණා. ජේ ආර් අගමැති වුණා. රනිල් මන්ත්‍රීවරයෙක් වුණා. රොනී ද මැල් මුදල් ඇමති වුණා. විවෘත ආර්ථිකය රටට හඳුන්වා දුන්නා. ඊට පස්සෙ රට දියුණු වුණා ද? දියුණුව කියන්නෙ මොකක් ද? මහින්දගෙ කාලෙ අධිවේගී මාර්ග ඇතිවුණා. ඒක දියුණුව ද? අප දැන් මධ්‍යම පර්මාණයේ ආර්ථිකයක් කියලා කියනවා. මෙරට වාර්ෂික ඒක පුද්ගල ආදායම ඩොලර් කීයක් ද කියලා කියනවා. මා සංඛ්‍යා ගැන උනන්දුවක් දක්වන්නෙ නැහැ. චම්පකගෙන් අහගන්න පුළුවන් හරියට ම ඩොලර් ගණන කීය ද කියලා. ඒ කොහොම වුණත් අවුරුදු හතළිකට පස්සෙත් මෙරට මිනිසුන්ගෙන් සෑහෙන පිරිසකට වේල් තුන ම කන්න ලැබෙන්නෙ නැහැ. එක වේලක්වත් හරියට කන්න නැති පවුල් කීයක් ඉන්නව ද කියලා දැන ගන්න පඬියකුට සමීක්‍ෂණයක් කරන්න පුළුවන් ද? ඒත් ඒක කරන්න වෙන්නෙ නියැදි තෝරගෙන සංඛ්‍යානය යොදා ගෙන.  මේ සංඛ්‍යානය ගැන යම් ප්‍රශ්න තියෙනවා. ඒ පිළිබඳ ලිපියක් පසුගිය ජූලි 25 වැනි දා සයන්ටිෆික් කමියුනිටි සඟරාවෙ පළ කරලා තිබුණා. ඒ ලිපිය බටහිර වෛද්‍යවරුන්ට වඩාත් උචිතයි. ඒත් ඔවුන්ට ලිපි කියවන්න වෙලාවක් නැහැ. පෞද්ගලික වෙදකම (චැනල්) කකරන්න තියෙනවා.




ට්‍රම්ප්ගෙ රටෙත් හිසට වහළක් නැති අය ඉන්නවා. ඉතින් රනිල්ගෙ රටෙත් හිටිය ම මොකද කියලා පඬියකු අහන්න පුළුවන්. රනිල්ගෙ රට කිව්වම කාට හරි හිතෙන්න පුළුවන් මෛත්‍රිපාලගෙ රට නොවෙයි ද කියලා. මෛත්‍රිපාලට රනිල් නැත්නම් රජරටවත් නැහැ. ඒත් සුමන්තිරන්ගෙත් රට කිව්වට නම් ප්‍රශ්නයක් නැහැ. සුමන්තිරන්ගෙ දේශපාලනයට අවුරුදු කීය ද කියලා කවුරුවත් කියලා නැහැ. රනිල් කියලා තිබුණා දැන් ජාතික ගීය දෙමළෙනුත් ගයනව කියලා. එහෙම නැත්නම් සුමන්තිරන් සහාය දෙන එකක් නැහැ. ජාතික ගිය දෙමළෙන් කියන්නෙ මාමගේ, ඒ කියන්නෙ ජේ ආර්ගෙ ව්‍යවස්ථාවට එකඟව ද? සංහිඳියාව ඇති කරන්න ද? ඉන්දියාවෙ සංහිඳියාව ඇති කරන්න එරට ජාතික ගීය භාෂා කීයකින් ගයන්න ඕන ද?



රනිල් පහුගිය අවුරුදු හතළිහෙ කියලා තියෙන දේවලින් දැනගන්න පුළුවන් ඔහුට රට ගැන තියෙන දැනුම. කාට හරි පුළුවන් ද ඒ වැදගත් ප්‍රකාශ එකතු කරන්න. අවුරුදු හතළිහකට ඉස්සර රනිල් රට ගැන දැනගෙන හිටියෙ මොනවා ද? දැන් දන්නෙ මොනවා ද? රතන හාමුදුරුවන් ටික කාලෙකට ඉස්සර වදාළෙ රනිල්ට ජාතික චින්තනය ගැනත් දැනුමක් තියෙනවා කියලා. එක එක්කෙනා ජාතික චින්තනය කියන්නෙ එක එක දේට නිසා ඒ ගැන ප්‍රශ්නයක් නැහැ. ඒත් රනිල් පස්දුන් රට, ඉරටු තියෙන කොසු ගැන පරාක්‍රමබාහු රජු ගැන කියන කොට රතන හාමුදුරුවන් මතක් වෙනවා.



රනිල් පරාක්‍රමබාහු රජ්ජුරුවන්වත් විවෘත ආර්ථිකයට හවුල් කරගෙන. පරාක්‍රමබාහු රජු වෙළෙඳ පොළ අල්ලගත්ත වගේ කතාවක් රනිල් කියලා තිබුණා. මේ වෙළෙඳ පොළ පූර්ව ධනපති වෙළෙඳ පොළක් ද කියලා රවි කරුණානායක හරි පඬියකු හරි කියනවා ද? පඬියන් නම් නිතර කතාකරන්නෙ පශ්චත් දේ ගැන මිස පූර්ව දේ ගැන නො වෙයි. පරාක්‍රමබාහු රජුගෙ වෙළෙඳ පොළෙන් මාක්ස්ගෙ ධනපති වෙළඳ පොළට වෙන්නෙ මොකක් ද? පරාක්‍රමබාහු රජුගෙ කාලෙත් බැඳුම්කර තිබුණ ද? රනිල් දැන් වෙළඳ පොළ අල්ලගන්න යන්නෙ හම්බන්තොට වරාය චීනුන්ට අවුරුදු අනූනවයකට බදු දිල ද? චීනුන් රටවල් කොල්ල කන්නෙ බටහිරයන් කොල්ල කාපු විධියට නො වෙයි. චීනුන් ඇති කෙළෙ කප්පන් රාජ්‍ය. ඒවා ගැන මාක්ස්වත් ඇඩම් ස්මිත්වත් කියලා නැහැ. එ නිසා මෙරට පඬියන් දන්නෙත් නැහැ. රනිල් ලංකාවත් කප්පන් රාජ්‍යයක් බවට පත් කරනවා.



විවෘත ආර්ථිකය ඇති කරපු දවස්වල රොනී ද මැල් ස්ථිර තැන්පතුවලට 20% ක පොළියක් දුන්නා. පස්සෙ ඒක අඩු වුණා. දැන් ආයෙ වැඩි වෙනවා. ආණ්ඩුවට සල්ලි නැහැ. රවිට නොවෙයි මංගලටවත් සල්ලි හොයන්න බැහැ. සල්ලි හොයන්න රට විකුණන්න ඕන.

හැත්තෑ හතේ  ආණ්ඩුව කාලෙ මට මතක විධියට දුම්රිය වර්ජනයක් ඇති වුණ අවස්ථාවක මැරයන් දුම්රිය සේවකයන්ට පහර දුන්නා. මගේ මතකය හැටියට ලලිත් ඇතුළත්මුදලි කිව්වෙ දුම්රිය මගීන් පහර දුන්න කියලා. අද තෙල් සංස්ථාවෙ සේවකයන්ට පහර දෙන්නෙ තෙල් ගහන අය ද තෙල් බෙදන අය ද කියලා පැහැදිලි නැහැ. ජ වි පෙ දැන් තෙල් බෙදලා වැඩක් නැහැ, ආණ්ඩුව පත්කරන්න තෙල් බෙදලා.



ජේ ආර්ගෙ ආණ්ඩුව හා රනිල්ගෙ ආණ්ඩුව අතර සමානකම් බොහොමයි. මාමයි බෑනයි නාට්‍යය අලුතෙන් ලියන්න වෙනවා. ජේ ආර් බලයට පත්වුණෙ ධර්මෂ්ඨ රාජ්‍යයක් ඇති කරන්න. රනිල් යහපාලනය ඇති කරන්න බලයට පත් වුණා. ජේ ආර්ට ධර්මිෂ්ටර් කියලා නමක් පට බැඳුණා. රනිල්ට නමක් දාන්නෙ කවුද? යමපාලක කියන නම හොඳ වැඩි ද? ජේ ආර් වගේ ම රනිලුත් ව්‍යවස්ථාවක් ඇති කරන්න යනවා. ව්‍යවස්ථාව අවුරුදු හතළිහක් තිබුණ ම ඇති කියලා රනිල් හිතනව ද? රනිල් අවුරුදු හතළිහක් හිටිය ම මදි ද?



මිනිසුන් ජේ ආර්ට හයෙන් පහක බලයක් දුන්නෙ මැතිණිගෙ ආණ්ඩුවෙ ආර්ථික ප්‍රතිපත්ති ගැන කළකිරවලා. ඒ ආර්ථිකය සංවෘත ආර්ථිකයක් කියලා හැඳීන්නුව. ඒ කාලෙ  පාන් පෝලිමෙ ඉන්න වුණා. එය බොරු සමාජවාදය නිසා වුණු එකක්. ඒත් මිනිසුන් වගා කරන්න පුරුදු වුණා. සිංහල මිනිසුන් ඉන් ඉවත් කරන්න එ ජා ප කටයුතු කළා. ඇතුළත්මුදලි පස්සෙ කාලෙක දි කිවුවෙ හාල් පිටරටින් ලාබෙට ගේන පුළුවන් නම් මෙරට වී වගා කරන්නෙ මොකට ද කියලා. විවෘත ආර්ථිකෙන් මිනිසුන් නිෂ්පාදනයෙන් අයින් කෙරුණා. අද මඩ සෝදා ගත් ගොවියන් සික්‍යුරිටි වැඩ කරනවා, නැත්නම් ත්‍රිරෝද පදවනවා, ඒත් නැත්නම් මුකුත් නොකර ගෑණුන්ගෙ සල්ලිවලින් කසිප්පු බොනවා.



රනිල් බලයට පත්වුණෙ මහින්ද හොරා කියලා. මහින්දගෙ කාලෙ හොරකම් තිබුණෙ නැහැ කියලා මා කියන්නේ නැහැ. ඒත් දැන් තියෙන හොරකම එක්ක බැලුවම ඒවත් හොරකම් ද කියලා හිතෙනවා. මහින්ද ත්‍රස්තවාදය පරාජය කළා. අද රණවිරුවන් දඩයම් කෙරෙනවා, ත්‍රස්තවාදීන් නිදහස් කෙරෙනවා. ජේ ආර් හා ප්‍රේමදාස භිෂණය ඇති කළා. රනිල් භිෂණයට අත වනන්නෙ බොරු සමාජවාදියොත් එක්ක එකතු වෙළා.



ඊනියා විවෘත ආර්ථිකයෙන් ඇති වුණෙ විවෘත සංස්කෘතියක්. අද අම්ම තාත්ත හඳුනන්නෙ නැති සමාජයක් ඇති වෙලා. අධ්‍යාපනයට කරන්න බැරි වුණු හානිය ජනමාධ්‍යයෙන් කෙරෙනවා. හතළිස් අවුරුද්දක ශේෂ පත්‍රය ඔහොමයි.







මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.

http://www1.kalaya.org

නලින් ද සිල්වා

2017 ජූලි 28