Main Logo

Monday 24 July 2017

භික්‍ෂූ දේශපාලනය වෙනස් කිරීම


භික්‍ෂූ දේශපාලනය වෙනස් කිරීම



අස්ගිරි ප්‍රකාශය ගැන සිංහල බෞද්ධයන් යම් පිරිසක් අතර ප්‍රබෝධයක් ඇති වුණා. අපත් එය වැදගත් ප්‍රකාශයක් ලෙස සැලකුවා. එහෙත් උන්වහන්සේලා බැහැ දැකීමට ගිය නීතිඥයන් දොස්තරවරියන් ආචාර්යවරියන් ගැන අපේ කුකසක් තිබුණා. අපේ ලිපිවල ඒ බව සඳහන් කෙරුණා. පසුව මහානායක හාමුදරුවන් වහන්සේත් නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නැහැ කියලා ප්‍රකාශයක් කළා. දේශපාලනඥයන් සහ පඬියන් ඒ ගැන කලබල වුණා. මෛත්‍රිපාල තකහනියක් මහානායක හාමුදුරුවන් බැහැ දකින්න ගියා. සිංහල බෞද්ධ විරෝධී පඬියන් සංඝයා වහන්සේ රාජ්‍යයක් පසුපස තවත් රාජ්‍යයක් කියලා කියන්න පටන් ගත්තා. අපේ හාමුදුරුවරුන් ද එයට විවිධ පිළිතුරු දුන්නා. මහානායක හාමුදුරුවරුන් බෞද්ධයන් ලක්‍ෂ ගණනක් නියෝජනය කරන බව ඇතැම් හාමුදුරුවරුන් ප්‍රකාශ කළා. ඒත් එහි පදනම වූයේ සංඛ්‍යා මත සකස් වූ ඊනියා බටහිර ප්‍රජාතන්ත්‍රවාදය.   සිංහල බෞද්ධ රාජ්‍යයේ සංඝයා වහන්සේ එක් අංශයක් බව බොහෝ දෙනාට අමතක වුණා. අදත් අමතකයි. බොහෝ දෙනා වැඩ කරන්නේ බටහිර රාමුවක.




ඒ කොහොම වුණත් භික්‍ෂූන් වහන්සේගේ ප්‍රකාශය වෙනස් කරවන වෑයමක් තියෙන බව පේනවා. පහුගිය දවසක සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයේ පැවැත් වූ රැස්වීම නිසා ප්‍රශ්න මතු වෙනවා. එහි මැදගම ධම්මානන්ද හාමුදුරුවන් වහන්සේත් ජනාධිපති නීතිඥ මනෝහර සිල්වාත් කතා කර තිබෙනවා. ඒකාබද්ධ විපක්‍ෂය ඊනියා ව්‍යවස්ථා මණ්ඩලයෙන් ඉවත් වීමට කැමති නැහැ. එහි බොරු සමාජවාදීන්ට අවශ්‍ය සිංහල බෞද්ධ විරෝධී ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමට. එබැවින් ඔවුන් ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියේ රැඳී සිටිනවා. මනෝහර කතා කර තිබෙන්නේ සිංහල බෞද්ධ විරෝධී බොරු සමාජවාදීන්ට ශක්තිය සපයන අන්දමට.



ඒකාබද්ධ විපක්‍ෂයේ වාසුදේව, තිස්ස විතාරණ, ඩිව් ගුණසේකර වැනි ඊනියා සමාජවාදීන්ට සිංහල බෞද්ධ සංස්කෘතියට විශේෂ තැනක් නොදෙන ව්‍යවස්ථාවක් අවශ්‍යයයි. ඔවුන්ට පමණක් නොව ඩලස්ලා වැනි රෝස පාට සමාජවාදීන්ටත් එවැනි ව්‍යවස්ථාවක් අවශ්‍යයි. ඔවුන් සියල්ල එකතු වී බලු වලිගය බල්ලා නටවන ආකාරයට ඒකාබද්ධ විපක්‍ෂය නටවනවා. ඇතැම් ජාතිකවාදීන් යැයි කියාගන්නා අයත් ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියෙහි රැඳී සිටිනවා. මේ ඇතැමුන් පිටුපස විවිධ විදේශීය ඔත්තු සේවාවන් ක්‍රියාත්මක වෙනවා. මහින්ද මේ ගැන හරි තීරණයක් ගන්නේ නැහැ. මහින්දට හැරෙන්න වාසුලාට රෝස පාට සමාජවාදීන්ට ඊනියා ජාතිකවාදීන්ට ඇති ජනබලය කුමක් ද? මහින්ද මේ ප්‍රශ්නයේ දී ඉන්නේ කොතැන ද?



ජ වි පෙ මෙරට භික්‍ෂු දේශපාලනයට ව්‍යාජ සමාජවාදී ප්‍රචණ්ඩත්වය ඇතුල් කළා. ඊනියා විවෘත ආර්ථිකයත් සමග හඳුන්වා දුන් විවෘත සංස්කෘතිය ගැන බොහෝ දෙනාට අමතකයි. ජ වි පෙ භික්‍ෂූන් වහන්සේ අතට ආයුධ දුන්නේ විවෘත සංස්කෘතියේ පිහිටෙන් නො වෙයි. කසිකබල් මාක්ස්වාදයේ බංකොළොත් ඊනියා ඓතිහාසික ද්‍රව්‍යවාදය උපයෝගී කරගනිමින්. එහෙත් පොඩි හාමුදුරුවන් ලොකු හාමුදුරුවන්ට අවනත නොවන තැනකට ජ වි පෙ රට ගෙනාවෙ විවෘත සංස්කෘතිය ආධාරයෙන්. එය ගෙවල්වල ද ප්‍රශ්න ඇති කළා. දෙමව්පියන් දරුවන්ට අවනත වුණා. සිරසක් නැති සිරසේ සිට දෙරණක් නැති දෙරණ දක්වා විද්‍යුත් මාධ්‍ය ද එයට වග කිව යුතුයි.



භික්‍ෂු දේශපාලනය චම්පකගේ අතින් පාර්ලිමේන්තු ජාවාරමක් බවට පත් කෙරුණා. ජාතික හෙළ උරුමයත් ජනතා විමුක්ති පෙරමුණත් භික්‍ෂු දේශපාලනය නොමග යවා ඒ ගිහි නායකත්වයක් යටතට පත් කිරීම ගැන වග කිව යුතුයි. අද පෙරටුගාමීන් හාමුදුරුවරුන් තාප්ප උඩින් සෘද්ධි කරවන්නේ ගිහි නායකත්වයක් යටතේ. ජාතික හෙළ උරුමයේ සිටියවුන් නැවතත් තම දේශපාලන අරමුණු සඳහා තරුණ හාමුදුරුවරුන් නොව වැඩිහිටි හාමුදුරුවරුන් යොදා ගැනීමට උත්සාහ කරනවා.  



මේ බොහෝ දෙනාට සිංහල බෞද්ධ සංස්කෘතියක නිර්මාණය වූ වියුක්ත කතන්දර නැහැ. වියුක්ත කතන්දර සෑදීම බටහිරයන්ගෙ වැඩක්. ඒත් අපට ප්‍රබල ආධ්‍යාත්මික ශක්තියක් නැති විට වියුක්ත කතන්දර හදන්න වෙනවා. අප කතන්දර හදන්න ඕන අපේ සංස්කෘතියෙහි. බොහෝ නීතිඥයන්ට තබා බොහෝ හාමුදුරුවරුන්ටවත් මේ ගැන වැටහීමක් නැහැ. ජනමාධ්‍ය පඬියන්ට නම් කොහොමටවත් වැටහීමක් නැහැ. ඔවුන් දන්නේ වාචාල කතා කියමින් පුහු වීරයන් බවට පත්වීමට පමණයි. අපට අපේ කතන්දර නැතිව දැනට බටහිරයන් පරාජය කරන්න බැහැ. අද ව්‍යාජ සමාජවාදීන්, ඇතැම් ජාතිකවාදීන් හා පුහු ජනමාධ්‍යවේදීන් සයිටම් හා වෙනත් අයිටම් මත ඉතා වේගයෙන් ආණ්ඩුව අටවා තිබෙන භීෂණ උගුලට ඇදී යනවා.  



මේ ආණ්ඩුව ඇති කෙළේ ම ඉන්දියාවේ සහාය ඇතිව බටහිරයන්ට අවශ්‍ය ආකාරයකට සිංහල බෞද්ධ විරෝධී සහසන්ධීය (කොන්ෆෙඩරේෂන්) ව්‍යවස්ථාවක් ඇති කර රාජපක්‍ෂලාටත් රණවිරුවන්ටත් දඬුවම් දීමට. ඒ අපේ කතන්දරයක් තමයි. මෛත්‍රිපාල අද කියන්නේ මෙයින් රාජපක්‍ෂලාට දඬුවම් දීම අයින් කෙරී ඇති බවයි. ඔහු හා මහින්ද අතර ඇති පෞද්ගලික වෛරය නිසා රනිල්ට රට භීෂණයක් මගින් අගාධයට ඇදගෙන යෑමට අවස්ථාව ලැබිලා තියෙනවා.  රාජපක්‍ෂලාට දඬුවම් නොදුන්නත් නව ව්‍යවස්ථාව සම්පාදනය කර ගන්නවා. රනිල්ට අවශ්‍ය එයට රාජපක්‍ෂලාගේ සහාය ලබා ගැනීමට. මේ ඩීල් දේශය බව අමතක කරන්න එපා. අද එක්සත් ජාතීන්ගේ සංවිධානය ව්‍යවස්ථාව ගැන කතා කරන විට ඇතැමුන් කලබල වෙනවා. ප්‍රකාශ නිකුත් කරනවා. මේ එදිනෙදා කරුණු සිදුවන්නේ මූලික කතන්දරයට අනුව බව ඔවුන් වටහා ගන්නේ නැහැ. එමර්සන්ලා ෆෙල්ට්මන්ලා ලංකාවට එන්නේ මූලික සැලසුමකට අනුව. අපට එහි විශේෂත්වයක් නැහැ. හෙට තවත් අය ඒවි. අප අපේ කතන්දරය මත පදනම් වෙනවා. කතන්දර නැති අය එදිනෙදා ප්‍රකාශ නිකුත් කර වීරයන් වෙන්න හදනවා.



නව ව්‍යවස්ථාවකට ජනවරමක් නැහැ. ඒකාද්ධ විපක්‍ෂය ව්‍යවස්ථා මණ්ඩලයක් පිහිටුවීමට ඡන්දය දීම ම වැරදියි. එහි සිටීමෙන් මනෝහර කියන කිසිවක් කර ගන්න බැහැ. ඒකාබද්ධ විපක්‍ෂය ඒ ද්‍රෝහි මණ්ඩලයේ සිටියත් නැතත් ව්‍යවස්ථාව සම්පාදනය වන්නේ බටහිරයන්ට අවශ්‍ය විධියට. ඒකාබද්ධ විපක්‍ෂය අනුකමිටු හයේ ඉඳලා ලබා ගත්තෙ මොනවා ද? ව්‍යවස්ථාව දැනටමත් සකස් වී අවසානයි. භීෂණයත් සමග එය එළියට ඒවි. ජයම්පතිලා, ලාල් විජයනායකලා බටහිරයන්ගේ සුවච කීකරු නව ට්‍රොට්ස්කිවාදීන් පමණයි. අවාසනාවකට අද රටේ වැදගතුන් බවට පත් වී ඇත්තේ බටහිර නීතිඥයන්, දොස්තරවරුන්, ඊනියා විද්වතුන්, ජනමාධ්‍යකරුවන් හා අයිතිකරුවන් ආදීන්. නීතිඥයන් මොන පැත්තේ හිටියත් ක්‍රියා කරන්නේ බටහිර නීතිය අනුව පුරුදු කෙරී ඇති අන්දමට ඔවුන්ගේ නීති රීති සම්ප්‍රදාය අනුව.



ඒකාබද්ධ විපක්‍ෂය මේ ද්‍රෝහි මණ්ඩලයේ සිටීමෙන් සිද්ධවන්නේ එයට යම් වැදගත්කමක් ලබා දීම පමණය. සාමාන්‍ය භාෂාවෙන් කියනවා නම් නව ව්‍යවස්ථාව ඒකාබද්ධ විපක්‍ෂයේත් ඇඟේ ගෑමක් පමණයි.  දෙපැත්තේ ම දේශපාලනඥයන් අද හාමුදුරුවරුන් වෙනස් කිරීමේ වෑයමක යෙදී ඉන්නවා. මේ දේශපාලනඥයන්ට අවශ්‍ය වචන හරඹයකින් හාමුදුරුවන් ද නව ව්‍යවස්ථාවකට එකඟ කර ගැනීමට. උදාහරණයක් ලෙස කියන්න පුළුවන් ඒකීයබව රකිනවා නම් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙනවා නම් පොලිස් බලතල නොදෙනවා නම් නව ව්‍යවස්ථාවකට භික්‍ෂූන් වහන්සේ විරුද්ධ නැහැ කියා. සුමන්තිරන්ලාටත් අවශ්‍ය වචන හරඹයක් පමණයි. ඩොයිලිත් බුද්ධාගම හා දේවාගම ආරක්‍ෂා කිරීමට පොරොන්දු වුණා. රනිල්ටත් එවැනි පොරොන්දුවක් දී ඩොයිලි මෙන් ම ක්‍රිස්තියානිය රජ කරවන්න පුළුවන්.



අද කළ යුත්තේ ව්‍යවස්ථා සංශෝධනයකින්  දහතුන්වැනි සංශෝධනය ඉවත් කිරීමයි. නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසු  එය දේශපාලනික ව වලංගු නැහැ. ඒ බව අප කිහිප වතාවක් ම කියා ඇති නමුත් දේශපාලනඥයන් හා ජනමාධ්‍යකරුවන් ඒ තුට්ටුවකටවත් ගණන් ගන්නේ නැහැ. අප විධායක ජනාධිපති ක්‍රමයට ප්‍රතිපත්තියක් ලෙස විරුද්ධ නමුත් දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය තිබෙනතාක් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකළ යුතු බව කියා හිටිනවා.



ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයන්ගේ අවශ්‍යතාව මත භික්‍ෂූන් වහන්සේ ගත් තීරණය වෙනස් කිරීමට තැත් කිරීමට රනිල්ගේ සහාය ලැබෙන බව පැහැදිලියි. මේ නායකයන් ද මෙත්‍රිපාල ද එකිනෙකාට විරුද්ධ වෙමින් රනිල්ට අවශ්‍ය ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට භීෂණයකට මග පෑදීමට කටයුතු කරනවා. ජනමාධ්‍ය අයිතිකරුවන් අනාගත බලාපොරොත්තු ඇතිව එයට සහාය දෙනවා. ඔවුන් අප ගේම් කාරයන් කියා ඇඟ බේරා ගන්නවා.







මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.

http://www1.kalaya.org

නලින් ද සිල්වා

2017 ජූලි 24