Main Logo

Sunday 27 August 2017

දෙමළ ජාතිවාදයේ ඉතිහාසය උගනිමු  


දෙමළ ජාතිවාදයේ ඉතිහාසය උගනිමු


අද රටේ ප්‍රධාන ම ප්‍රශ්නය දෙමළ ජාතිවාදයයි. නව ව්‍යවස්ථාවක් ගෙන එන්නේත් දෙමළ ජාතිවාදය වෙනුවෙන්. ව්‍යවස්ථාව පරාජය කිරීමෙහිලා අප දෙමළ ජාතිවාදය යනු කුමක් ද යන්න නිවැරදිව හා නිරවුල් ව දැන ගැනීම ප්‍රයෝජනවත්. එහෙත් මේ සම්බන්ධයෙන් ජාතිකවාදීන් අතර පොදු මතයක් නැහැ. සෑම දෙනාම හිතන්නේ තමන් දෙමළ ජාතිවාදය යනු කුමක් ද එහි ඉතිහාසය කුමක් ද ආදිය තමන් දන්නා බවයි. ඒ ගැන කෙටියෙන් නමුත් කතා කරනවාට බොහෝ දෙනා විරුද්ධයි. පසුගිය දා පැවති ජාතිකවාදීන්ගේ රැස්වීමක දී ද ඒ බව පැහැදිලි වුනා. එක් කථිකයකු නැගිට ප්‍රකාශ කෙළේ සියලු දෙනා ම ප්‍රශ්නය දන්නා බැවින් ඒ ගැන කතා කිරීම අනවශ්‍ය බව. එහෙත් සියලු දෙනා දන්නේ එකම කතාවක් නො වෙයි.




කලකට පෙර චන්ද්‍රිකාගේ පැකේජය ඉදිරිපත් වූ අවස්ථාවේ දී එක් සිත්ව වැඩ කළ අප හතර දෙනකු සම්මන්ත්‍රණ පවත්වමින් පා ගමන් රිය ගමන් පමණක් නොව බෝට්ටු ගමන් ද සංවිධානය කරමින් රට වටේ ගියා. ඒ පූජ්‍ය බෙංගමුවේ නාලක හිමිපාණන්, පූජ්‍ය ඕමාරේ කස්සප හිමිපාණන්, වෛද්‍ය කමලදාස මහතා හා මා. අපට සුමේධ වීරවර්ධන, මාතර වෛද්‍ය කුලරත්න මහතුන් සහ වෙනත් අයගේ ද ආධාරය ලැබුණා. අප ජාතික ඒකාබද්ධ කමිටුවේ ද ක්‍රියාකාරී වුණා. සිංහල කොමිසම අපේ අදහසක්. එහෙත් අවසානයේ දී සිංහල කොමිසමේ වාර්තාවෙන් ෆෙඩරල් රාජ්‍යයක් ගැන කියැවුණා. අප වාර්තාවට විරුද්ධ වුණා. රතන හිමියන් සෝභිත හිමියන් ඉත්තෑපාන හිමියන් ඇතුළු පිරිස අප කමිටුවෙන් පන්නා දැම්මා. අද ජාතික ව්‍යාපාරයෙහි සිටින අය බොහෝ දෙනෙක් එදා ක්‍රියාත්මක වුණේ නැහැ. ගුණදාස අමරසේකර මහතා අද වගේ ම එදත් සමහර රැස්වීම්වලට සහභාගි වුණා. ඔහු කිසි දිනෙක සංවිධානාත්මක කටයුත්තක් කර නැහැ.



අවසානයේ දී අප ජාතික ඒකාබද්ධ කමිටුවෙන් පන්නා දැමුණත් අපේ උත්සාහය සාර්ථක වුණා. පැකේජය පරාජය වුණා. අප පන්නා දැමුණත් ජාතික ඒකාබද්ධ කමිටුව පිහිටෙව්වේ නාලක හිමියන් හා මා රාජා වනසුන්දර මහතා සමග කළ සකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන්. කලින් කී අප හතර දෙනා අතර කිසිම මතභේදයක් තිබුණේ නැහැ. අප කිසිවකු ළඟවත් පුස් කෑ මාක්ස්වාදී අදහස් අබ ඇටයක ප්‍රමාණයටවත් තිබුණේ නැහැ. ධනවාදී අදහස් ගැනත් කිව හැක්කේ එපමණයි. අප සිංහල බෞද්ධයන් වූවා. සිහිනයකින්වත් ඕල්කට් බෞද්ධයන් වුණේ නැහැ. නූතන නීල මහා යෝධයන් එදා සිටියේ නැහැ. ඔවුන් දැන් කියන අන්දමට නම් රුසියාවේ ඉංජිනේරු විද්‍යාව හදාරා එංගලන්තයට ගොස් සිටියා.



අද ජාතික ව්‍යාපාරයෙහි වුවමනාවටත් වඩා සංවිධාන තිබෙනවා. එහෙත් එක සිත් ඇති කිහිප දෙනකු සොයා ගැනීමට බැහැ. ජාතික ව්‍යාපාරය මුළුමනින් ම මෙන් දේශපාලනීකරණය වෙලා. දෙමළ දේශපාලනඥයන් අතර සිංහලයන්ට විරුද්ධව එක් මතයක් තියෙනවා. ඒ සිංහලයන්ගෙන් දෙමළ ජනයාට අසාධාරණයක්  වී ඇති බවයි. මෙය දේශපාලනඥයන් හා ඊනියා උගතුන් අතර ඇති මතයක් මිස සාමාන්‍ය ජනයා අතර ඇති මතයක් නො වෙයි. සිංහලයන් තමන්ට අසාධාරණයක් කර ඇතැයි යන මතය දෙමළ දේශපාලනඥයන් අතර ඇති කෙළේ ඉංගිරිසින්. දෙමළ ජාතිවාදය ඉංගිරිසින්ගේ නිර්මාණයක්. සිංහල දේශපාලනඥයන් අතර ද මතවාද ඇති කරන්නේ බටහිරයන්.



එහෙත් සිංහල ජනතාව අතර ඇත්තේ වෙනත් මතවාද. ප්‍රභාකරන් පරාජය කරන්න බැහැ කියන මතවාදය සිංහල දේශපාලනඥයන්ට හා ඊනියා උගතුන්ට දුන්නේ ද බටහිරයන්. බලය විමධ්‍යගත කළ යුතු ය යන මතවාදය පැතිරෙව්වේ ද බටහිරයන් හා ඉන්දියානුවන්. ප්‍රභාකරන් පරාජය කළ හැකි ය යන්න සාමාන්‍ය ජනයා අතර තිබුණා. එමෙන් ම බලය විමධ්‍යගත නොකළ යුතු ය යන අදහස ද සාමාන්‍ය ජනයා අතර තිබුණා. අදත් තිබෙනවා. සාමාන්‍යයෙන් දේශපාලනඥයන්ට සාමාන්‍ය ජනතාව ප්‍රශ්නයක්. ශ්‍රි ල නි ප තරමක් ජනමතයට කන් දුන්නා. එහෙත් රනිල් ජනමතය සතපහකට ගණන් ගන්නේ නැහැ. ඔහු කිසියම් උපක්‍රමයකින් අනෙක් දෑ මෙන් ම ව්‍යවස්ථාවත් සම්මත කර ගන්න උත්සාහ කරනවා.



දෙමළ ජනයාට දෙමළ වීම නිසා ම වී ඇති අසාධාරණයක් නැහැ. එවැනි අසාධාරණයක් ඇතැයි පෙන්වන්නට කිසිවකුට වසර විසිපහකට අධික කාලයක් බැරි වෙලා. දෙමළ ජාතිවාදය බෞතීස්ම කෙරුණේ ඉංගිරිසින් විසින් 1831 දී. 1931, 1956, 1983 ආදී වශයෙන් ඊනියා ප්‍රශ්නය ඇති වුණු බව කියන අය අවසාන වශයෙන් නවතින්නේ දෙමළ ජාතිවාදීන්ගේ     ඔඩොක්කුවේ. 1831 දී ඇති කරන ලදූ ප්‍රශ්නයේ විකාශයේ ප්‍රතිඵලයක් ලෙස ප්‍රභාකරන් ඇති වූ බව පෙන්වීමෙන් නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසුව ඉංගිරිසින් විසින් ඇති කරන ලද දෙමළ ජාතිවාදය දෙශපාලනික ව පරාජය කළ බව තහවුරු කරන්න පුළුවන්. නන්දිකඩාල් ජයග්‍රහණය සමග 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයත් දේශපාලනික ව පරාජය වුණා. දහතුන නෛතික ව අහෝසි කිරීම පමණක් අදට ඉතිරි වී තියෙනවා.



අදත් ඇත්තේ සංධීය හෙවත් ෆෙඩරල් රාජ්‍යයක්. විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය හොඳ වුවත් නරක වුවත් එය පළාත් සභාවලට යොමු කර තිබෙනවා. පාර්ලිමේන්තුවට ව්‍යවස්ථා සම්පාදනයේ දී තනි බලයක් නැහැ. පළාත් සභා නැති ප්‍රශ්නයකට ඉන්දියාව දුන් ඊනියා විසඳුමක්. ප්‍රශ්නයක් නැත්නම් විසඳුමක් අවශ්‍ය වන්නේ කෙසේ ද? කොහොමටත් පළාත් සභාත් නන්දිකඩාල් කලපුවේ දී දේශපාලනික ව අහෝසි වුණා. අපට ඒ බව පෙන්වා දිය හැක්කේ දෙමළ ජාතිවාදයේ සම්භවය හා විකාශය තේරුම් ගැනීමෙන් පමණයි. දෙමළ ජාතිවාදයේ ඉතිහාසය දන්නා බව පාරම්බෑමෙන් ව්‍යාජ වීරයන් වෙන්න පුළුවන්. එහෙත් දෙමළ ජාතිවාදය නෛතික ව පරාජය කරන්න බැහැ.   





මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.


නලින් ද සිල්වා

2017 අගෝස්තු 27