Main Logo

Thursday 31 August 2017

ජගත් ජයසූරිය සිද්ධිය


ජගත් ජයසූරිය සිද්ධිය



බ්‍රසීලයේ තානාපති ව සිටි ජෙනරල් ජගත් ජයසූරියට විරුද්ධව එරට හා කොලොම්බියාවේ නඩු පවරලා. තවත් දකුණු ඇමෙරිකානු රටවල නඩු පැවරීමට යනවා. ඒ දෙමළ කොටි ත්‍රස්තවාදීන්ට එරෙහිව කළ මෙහෙයුම්වල අවසාන කාලයේ දී ඊනියා මානව අයිතිවාසිකම් කැඩීමට විරුද්ධව. නඩු පැවරීමට දකුණු ඇමරිකානු රටවල් කිහිපයක් ම එකතු ව ඇතැයි වාර්තා වෙනවා. නඩු පිටුපස ඊනියා ජාත්‍යන්තර සත්‍ය හා යුක්ති ව්‍යාපෘතියේ විධායක අධ්‍යක්‍ෂ යැස්මින් සූකා ක්‍රියාත්මක වෙනවා. ඇය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු නිලධරිනියක්. ඇගේ සිංහල බෞද්ධ විරෝධී දෙමළ ජාතිවාදී අදහස් ප්‍රසිද්ධයි.




ජගත් ජයසූරිය මේ අතර ලංකාවට පැමිණිලා. ඔහු කියන්නේ ඔහුගේ සේවා කාලය අවසන් වූ නිසා පැමිණි බවයි. තානාපතිවරුන්ට එහෙම නඩු පවරන්න බැහැ. තානාපති කෙනකු නියෝජනය කරන්නේ රටක්. එහෙත් මෙරට රණවිරුවන්ට එරෙහිව බටහිරයන්ගේ දඩයමක් තියෙනවා. එහි දී තානාපති ද නැද්ද යන්න  බලපාන්නෙ නැහැ. එයට හේතුව රණවිරුවන් පරාජය කෙළේ බටහිරයන්ගේ ආධාරය හා අනුග්‍රහය ලැබූ ත්‍රස්තවාදයක් වීමයි.  මේ ආණ්ඩුව ජාත්‍යන්තරය දිනා ගත් බවට පුරසාරම් දෙඩුවත් ඔවුන් කර ඇති ඉටිගෙඩියක් නැහැ. ආණ්ඩුව ජාත්‍යන්තරයේ දීන සේවකයකු පමණයි.



මේ අතර එංගලන්තයේ දෙමළ ජනයා සඳහා වූ සර්වපාක්‍ෂික පාර්ලිමේන්තු කණ්ඩායමේ සභාපති පෝල් ස්කලි නම් මන්ත්‍රීවරයා ජගත් ජයසූරියට එරෙහි ව ඉන්ටර්පෝල් නම් ජාත්‍යන්තර පොලීසිය රතු නිවේදනයක් නිකුත් කළ යුතු යැයි පවසා තිබෙනවා. එය කෙරෙයි ද නැද්ද කියා අප දන්නේ නැහැ. එහෙත් ස්කලි එංගලන්තයේ හිටපු අගමැති බ්ලෙයාර්ට එරෙහිව කිසියම් වූ ක්‍රියාමාර්ගයක් ගත යුතු යැයි යෝජනා කර නැහැ. ජගත් ජයසූරියට එරෙහි ව නඩු පවරන්නන් එකල හමුදාපති වූ සරත් ෆොන්සේකාට එරෙහිව  කිසිම දෙයක් ප්‍රසිද්ධියේ කියන්නේ නැහැ. සරත් ෆොන්සේකා මේ නඩු ගැන තවමත් කිසිවක් කියා නැහැ. සිංහලයන්ගේ ප්‍රධාන ප්‍රශ්නය වෛරය හා ජාතියට වඩා පෞද්ගලිකත්වය ලොකු වීම.



අද මෙරට දේශපාලනය ක්‍රියාත්මක වන්නේ පෞද්ගලික වෛරය මත. මෛත්‍රිපාලගේ මහින්ද වෛරය නිසා රට අගාධයට යනවා. මෛත්‍රිපාල ළඟ දී එ ජා ප මන්ත්‍රීවරුන් අමතා ප්‍රකාශ කර ඇත්තේ තමන් ශ්‍රී ල නි ප හා සංධාන ලේකම්වරුන් ලෙස දුමින්ද දිසානායක හා මහින්ද අමරවීර පත් නොකරන්න සංධානය මැතිවරණය දිනන්න තිබූ බව. එය සත්‍යයක්. මේ පත්කරන ලද ලේකම්වරු මහින්ද විරෝධීන්. අද මෛත්‍රිපාල කල්ලියට මහින්ද සමග එකතු වීමට බාධා කරන ප්‍රධාන දෙදෙනා ඔවුන්. මෛත්‍රිපාල කල්ලියේ මහින්ද විරෝධීන් නොවන අය කිනම් මගක් ගනීවි ද? ඔවුන් අතර කී දෙනකුට ජාතිකත්වයක් තිබේ ද?



ජගත් ජයසූරියට විරුද්ධ සරත් ෆොන්සේකා ද වෙනත් අයකු ද? වෛරය නිසා නැති වූ ජාතියක් ලෙස සිංහලයන්ට ඉතිහාසගත වීමට අවශ්‍යද? මා එතරම් වැදගත් පුද්ගලයකු නොවුණත් මට වෛර කරන්නන් කොපමණ සිටිනවා ද?



ජගත් ජයසූරිය සිද්ධිය අපට කරුණු කිහිපයක් කියා දෙනවා. පළමුව බටහිරයන්, ජාත්‍යන්තර සුපිරිව්‍යුහයේ සංස්ථාපනය කෙතරම් සිංහල බෞද්ධ විරෝධී ද යන්න. අදත් එදත් දෙමළ ජාතිවාදය පවතින්නේත් පැවතුණේත් බටහිරයන් නිසා. ජාත්‍යන්තර සංස්ථාපනයේ ප්‍රධාන ම අභියෝගය චීන සංස්කෘතියවත් වෙනත් සංස්කෘතියක්්වත් නොව සිංහල බුද්ධාගමයි. අද මුළු බටහිර ම හා ඉන්දියාව සිංහල බුද්ධාගමට එරෙහි ව එක්වෙලා. මේ විරුද්ධත්වය ඩොයිලි කරා දිව යනවා. ඔහු තමයි සිංහල බුද්ධාගමට එරෙහි ව ක්‍රමානුකූල ව ක්‍රියා කිරීමට පටන් ගත් තැනැත්තා. ඉන් පෙරත් සිංහල බෞද්ධ විරෝධය තිබුණත් ඩොයිලි එය සැලැස්මක් ඇති ව කළා. සුකලා ස්කලිලා පමණක් නොව රනිලුත් අද ඒ ව්‍යාපාරයේ ඉන්නවා.



ජගත් ජයසූරිය කියා තිබුණා එක්සත් ජාතීන්ගේ සංවිධානය රණවිරුවන් යම් ආකාරයකට නිදහස් කරමින් ප්‍රකාශයක් ලිඛිත ව නිකුත් කළ යුතු ය කියා. එය හොඳ අදහසක් වුවත් නො කෙරෙන්නක්. අද සිංහල බෞද්ධ විරෝධය ක්‍රියාත්මක වන්නේ ප්‍රධාන වශයෙන් ම එක්සත් ජාතීන්ගේ සංවිධානය මාර්ගයෙන්. එමෙන් ම මාධ්‍ය සාකච්ඡාවක දී හමුදා ප්‍රකාශකයකු කියා තිබුණා දෙමළ ත්‍රස්තවාදය පරාජය කළත් අදාල අඩියොලොජිය තවමත් තිබෙන බව. රණවිරුවන් නන්දිකඩාල් හි දෙමළ ජාතිවාදය දේශපාලනික ව පරාජය කළත් අපට එය නෛතික ව පරාජය කිරීමට බැරි වුණා. එහෙත් දෙමළ ජාතිවාදී මතවාදය (අඩියොලොජි) පරාජය වෙලා බොහෝ කල්. හමුදා නිලධාරීන් ඒ බව නොදන්නවා ඇති. අද දෙමළ ජාතිවාදය පවත්වාගෙන යනු ලබන්නේ බටහිර දේශපාලන ආධිපත්‍යය (සංස්ථාපනය) විසින්. ඔවුන් බටහිර රටවල සිටින විසිරුණු දෙමළ ජනයාත් ඒ සඳහා යොදා ගන්නවා. මෙරට සම්බන්ධන්, විග්නේස්වරන්, සුමන්තිරන්, ශිවාජිලිංගම් වැනි දෙමළ ජාතිවාදී නායකයන්ට බටහිරයන් නැත්නම් පැවැත්මක් නැහැ. සිංහලයන් මේ කරුණ තවමත් තේරුම් ගන්නේ නැහැ. බටහිර දේශපාලන (මූල්‍ය) ආධිපත්‍යයට පරාජය වූ මතවාදයක් වුවත් පවත්වා ගෙන යා හැකියි.



අප කැමති වුවත් නැතත් මේ ආණ්ඩුව රණවිරුවන්ට එරෙහිව කටයුතු කළ යුතුයි. ඔවුන් පත් කෙරුණේ ඒ කරුණත් සඳහායි. අතුරුදහන් වූවන්ට පිටරට නඩු පැවරීමට හැකි වන පරිදි අණපනත් ගේන්නේ බටහිරයන්ගේ අවශ්‍යතාවට.  මේ පනත් සම්මත වීමටත් පෙර ම දකුණු ඇමරිකානු රටවල ඒ අත්හදා බැලීමට සූකාලා ක්‍රියාත්මක වෙනවා. සමහර විට ජාත්‍යන්තර පොලීසිය (ඉන්ටර්පෝල්) මේ රණවිරුවන් මෙරටින් ගෙන යෑමටත් කටයුතු කරාවි. මේ ආණ්ඩුවට ඒ ක්‍රියාවලට විරුද්ධව කිසිවක් කරන්න බැහැ. අද බටහිරයන් හා දෙමළ ජාතිවාදීන් මෛත්‍රිපාලගේ හා චන්ද්‍රිකාගේ මහින්ද වෛරය (ඇගේ හා ඔහුගේ වෛරය) උපයෝගි කර ගෙන සිංහල බෞද්ධයන්ට විරුද්ධ ව ක්‍රියා කරනවා. අවාසනාවකට මහින්දට එයට විරුද්ධව දැක්මක් නැහැ. ඔහු වටාත් සිටින්නන්ගෙන් බහුතරය සිංහල බෞද්ධ විරෝධී බොරු සමාජවාදීන්.  





මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.






නලින් ද සිල්වා



2017 අගෝස්තු 31