Main Logo

Monday 28 August 2017

බොරු ප්‍රතික්‍ෂෙප කිරීම


බොරු ප්‍රතික්‍ෂෙප කිරීම



බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් ය කියන එක බොහෝ දෙනා තේරුම් ගන්නේ නැහැ. ඇතැමුන් හිතන්නේ මා බටහිර විද්‍යාව ප්‍රතික්‍ෂෙප කරන බවයි. තවත් පඬියන් කියන්නේ බටහිර විද්‍යාව පට්ටපල් බොරු ය කිය කියා ඉන්නේ නැතිව අපේ විද්‍යාවක් ගොඩනැගිය යුතු බව. දරුවන්ට යමක් ලියන්නේ නැත්තේ මොකද කියලාත් අහන පඬියන් ඉන්නවා. ඕල්කට්තුමා කෙළේ බටහිර බුද්ධාගමක් ගොඩනැගීම. එතුමාට වෙන දෙයක් කිරීමේ හැකියාවක් හෝ අවශ්‍යතාවක් හෝ තිබුණේ නැහැ. එතුමාට පරම විඥානවාදී අදහස් තිබුණා. එතුමා බ්ලැවට්ස්කි මැතිණිය සමග සහයෝගයෙන් කටයුතු කළා. ඕල්කට්තුමා ලංකාවේ පිහිටෙව්වෙ ඇමරිකාවෙ පරම විඥානාර්ථවාදී සංගමයේ ශාඛාවක්. ථෙරවාදී රටේ ඇමෙරිකන් සංගමයක ශාඛාවක් පිහිටුවීමෙන් ම එතුමාගේ ආකල්ප තේරුම් ගන්න පුළුවන්.




බටහිර දැනුම, විශේෂයෙන් ම බටහිර විද්‍යාව හා තාක්‍ෂණය (බටහිර ඉංජිනේරු විද්‍යාව හා වෛද්‍ය විද්‍යාව බටහිර තාක්‍ෂණ මිස බටහිර විද්‍යා නො වෙයි) ගොඩනැගෙන්නේ ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි. නීල මහා යෝධයා වැනි ඉංජිනේරුවන්ට, රුසියාවේ පුහුණුව ලැබුවත් ලැබෙන්නේ බටහිර තාක්‍ෂණ පුහුණුවක්. පැරණි සෝවියට් දේශය කෙළේ බටහිර දැනුම මත බටහිර තවත් දැනුමක් වූ කතෝලික චින්තනයෙහි මාක්ස්වාදී අපෝහක ද්‍රව්‍යවාදය (ද්වන්දාත්මක භෞතිකවාදය) ආරෝපණය කිරීම පමණයි. නීල මහා යෝධයාට ද එහි ආභාසය තිබෙන බව ඔහු ලියන දෙයින් පැහැදිලියි. ඔහුගේ බුදුදහම පිළිබඳ විවරණය ද්‍රව්‍යවාදී. ඔහුට දැනුම, ඥානය, විඥානය ආදිය අතර වෙනස තේැරන්නේ නැහැ. කාහටත් කල්පනා කිරීමට, ප්‍රතිචාර දැක්වීමට නොව, මා ප්‍රශ්නයක් දෙකක් අසන්නම්. නිවන ගැන ඇත්තේ ඉංජිනේරු ශිල්පය ගැන වැනි දැනුමක් ද? විඥානය යනු ඥානයේ සුපිරි තත්වයක් ද එහි විරුද්ධයක් ද? මෙහි වි යෙදී ඇත්තේ කිනම් අර්ථයකින් ද? අභිධර්මය වනපොත් කිරීමෙන් නිවන් අවබෝධ කර ගත හැකි ද?



පඬියන් කෙසේ කීවත් මා අපේ ප්‍රවාද නිර්මාණය කිරීම ගැන දරුවන්ට කියා දී තිබෙනවා. අවුරුදු ගණනක් තිස්සේ අපේ ප්‍රවාද නමින් විදුසරට ලිපි ලිව්වේ කිනම් අරමුණකින් දැයි පඬියන් හිතනවා ද? මා අසාර්ථක අසමත් පුද්ගලයකු වෙන්න ඇති. එහෙත් විදුසර කතෘ අත්තනෝමතික ව මගේ ලිපි නවතා දමන තෙක් මා අපේ ප්‍රවාද ගැන ලිව්වා, අපේ ප්‍රවාද නිර්මාණය කළා. පඬියන් ඒ සියල්ල අමතක කරනවා. ඒ මා කළ කිසි දෙයක් නැතැයි ලෝකයට කීමට.  අපේ ප්‍රවාද නිර්මාණය කෙරුණේ සිංහල බෞද්ධ සංස්කෘතියෙහි. ක්වොන්ටම් භෞතිකය පිළිබඳ නව අර්ථකථන, විශ්වයේ විකාශය පිළිබඳ නව ප්‍රවාද, ආකාස ද ආපෝ තේජෝ වායෝ පඨවි මෙන් ද්‍රව්‍යයෙහි තවත් අවස්ථාවක් ලෙස සැලකීම ආදිය ගැන දන්නා කිහිප දෙනකු ඉන්නවා. පඬියන් ඒ නොදැනීම ගැන මට කරන්න දෙයක් නැහැ. ආකාස ශක්තිය වෙනත් ශක්තීන් බවට පරිවර්තනය කිරීම ගැන ද වෙනත් ශක්තීන් ආකාස ශක්තිය බවට පරිවර්තනය කිරීම ගැන ද අප කියා තිබෙනවා.



නීල මහා යෝධයන්ට, චීන ගැත්තන්ට නොතේරුණත් දේශපාලනයෙහි දී අප ගොඩනගා ගත් ප්‍රවාද, දැනුම් රාශියක් තිබෙනවා. දෙමළ ජාතිවාදයෙහි සම්භවය හා විකාශය පිළිබඳ දැනුම එහි ප්‍රධාන කොටසක්. එහෙත් දේශපාලනඥයන් ඒ කිසිවක් තුට්ටුවකට ගණන් ගන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් මට කරන්න දෙයක් නැහැ. ජාතික ව්‍යාපාරයෙහි අයවත් ඒ පිළිගන්නේ නැහැ. දෙමළ ජාතිවාදය දේශපාලනික ව පරාජය කිරීම හා නෛතික ව පරාජය කිරීම යන අංශ දෙක ගැන අවබෝධයක් බොහෝ අයට නැහැ. ඔවුන් සිතන්නේ ඒ දෙක ම එකක් කියා.



බටහිර විද්‍යාව පට්ටපල් බොරුය යන්නත් බටහිර විද්‍යාව පිළිබඳ අප ගොඩනගා ගත් දැනුමක්. ඒ පට්ටපල් බොරු පමණක් නොව අප දන්නා සියල්ල ම බොරු. පංචෙන්ද්‍රිය ගෝචර වන්නේ බොරු. පංචෙන්ද්‍රිය ගෝචර නොවන්නේ පට්ටපල් බොරු. බොරු වුවත් පට්ටපල් බොරු වුවත් ඒ සියල්ල මිනිසුන්ගේ නිර්මාණ. අප සියලු බොරු නිර්මාණය කරන්නේ අනිත්‍ය, දුඃඛ අනාත්ම පිළිබඳ අපේ අනවබෝධය නිසා. මෙහි දුඃඛ කියන්නේ නම් දුකක් නොව අයහපත් හිස් බව යන්නයි. අනිත්‍ය නිසා දුක ඇති වන්නේ යැයි කීම සසුනට එකතු වූ බමුණන්ගේ වැඩක්. බුදුන් වහන්සේ හේතුවාදයක් දේශනා කර නැහැ. උන්වහන්සේ දේශනා කෙළේ හේතුපල ධර්මයක්.



අප යොදා ගන්නේ ම කියන්නේ ම බොරු. එහෙත් ඒ බොරුය කියා අප ඒ ප්‍රතික්‍ෂෙප කරන්නේ නැහැ. මේසය, පුටුව, පැන්සල, ආදිය පමණක් නොව බත් යන්න ද බොරු. ඒ සියල්ල බොරු සංකල්ප. එහෙත් එපමණකින් අප ඒ කිසිවක් ප්‍රතික්‍ෂෙප කරන්නේ නැහැ. ආහාර යනු බොරු සංකල්පයක් ආහාර යනුවෙන් දෙයක් නැතැයි කියා අප ආහාර ප්‍රතික්‍ෂෙප කරන්නේ නැහැ. පට්ටපල් බොරු ගැනත් කිව යුත්තේ එපමණයි. මා යන සංකල්පය කෙතරම් බොරුවක් ද? එහෙත් අප කිසිවකු අප ප්‍රතික්‍ෂෙප කර ගන්නේ නැහැ. බටහිර විද්‍යාව යනු සාධාරණීය කළ නිරීක්‍ෂණ, වියුක්ත නිරීක්‍ෂණ, තේරුම් කර දීම සඳහා යැයි කියමින් ගොතන ලද වියුක්ත හේතු පමණයි. අර කැනඩාවේ ඉන්න පාසල් ගුරුවරයාට මේ කිසිවක් තේරෙන්නේ නැහැ. පිටි මුට්ට කරගැසූ පමණින් ඊනියා ගුරුත්වාකර්ෂණයක් දැනෙන්නේ නැහැ. පිටට තද බවක් නම් දැනෙනවා. කැනඩාවේ පාසල් ගුරුවරයාට නීල මහා යෝධයා යගදාවකින් පිටට පහරක් දුන්නත්  පීඩනයක් (සංතතික නොවූවත්) දැනෙනවා. පීඩනය කියන එකත් තවත් සංකල්පයක් පමණයි.



බටහිර විද්‍යාව වෙනුවට අපේ විද්‍යාවක් තනා ගන්න එක බැරි වැඩක් නො වෙයි. එහෙත් එය අමාරු වැඩක්. එයට හේතුවක් අප නිර්මාණය කර ගෙන තියෙනවා. ඒ හේතුව තමයි බටහිර දැනුම් ආධිපත්‍යය. ඒ දැනුම් ආධිපත්‍යය පිටුපස ඇත්තේ දේශපාලනයක්. අප අපේ දැනුම් නිර්මාණය කිරීමට අපේ සංස්කෘතිය මත පදනම් විය යුතුයි. ඒ සිංහල බෞද්ධ සංස්කෘතිය හෙවත් සිංහල බුද්ධාගම. සිංහල බුද්ධාගම අශෝක බුද්ධාගමෙන් වෙනස්. ඕල්කට් බුද්ධාගමෙන් බෙහෙවින් වෙනස්. ඕල්කට් බෞද්ධයනට තමන් ආණ්ඩුවේ පාසල්වල ඉගෙන ගත්තත් ඊනියා බෞද්ධ පාසල්වල ඉගෙන ගත්තත් අපේ ප්‍රවාද නිර්මාණය කරන්න බැහැ. ඕන නම් අභිධර්ම කතා පුනරුච්චාරණය කරමින් ඉන්න පුළුවන්. අපේ සියලු පෘථග්ජන හේතු අපේ නිර්මාණ පමණයි.





මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.


නලින් ද සිල්වා

2017 අගෝස්තු 28