Main Logo

Wednesday 9 August 2017

සිංහල බෞද්ධ දෙමළ හින්දු සබඳතා  


සිංහල බෞද්ධ දෙමළ හින්දු සබඳතා




අද ලිපිය ලෙස පළවන්නේ ඊයේ රිවිර පත්‍රයෙහි පළ වූ සාකච්ඡාවක්. එය පහත සඳහන් වෙබ් පිටුවෙන් ලබා ගන්න පුළුවන්. එහි ඇතැම් කරුණක්  පිළිබඳ පැහැදිලි කිරීමක් පහත පළවෙනවා.






මෙහි මා හඳුන්වා දී තිබෙන්නේ ජාතික ව්‍යාපාරයේ ප්‍රමුඛතම චින්තකයා ලෙස. නීල මහා යෝධයා නමින් තම වෙබ් අඩවියට ම ලියන එංගලන්තයේ පළ වන ලංකා වෙබ් අඩවියේ සංස්කාරක විශ්‍රාමික ඉංජිනේරුවරයා ඇතුළු ජාතික ව්‍යාපාරයේ බොහෝ දෙනකුට එය වහකදුරු මෙන් වන බව මා දන්නවා. සංස්කාරකවරයා මට විරුද්ධව ඔහුගේ වෙබ් අඩවියට ලිපියක් ලියා තිබෙනවා. එයට පිළිතුරක් ළඟදී ම පළවේවි. ඇතැමුන් රිවිර ලිපිය මගේ සෙල්ෆියක් (ඔවුන්ගේ අර්ථදැක්වීම අනුව මා ඉහළින් තබා ගෙන අනෙක් අය පහත් කිරීමක්) ලෙස සලකන්න පුළුවන්. මා මේ සාකච්ඡාව ලියා ඇති ලේඛකයා  දැක ඇත්තේ එක දිනක් පමණයි. ඔහු සමග කතා කර ඇත්තේ දුරකතනයෙන් ද ඇතුළුව අවස්ථා තුනක දී පමණයි. ඔහුගේ හැඳින්වීම ගැන මට කරන්න දෙයක් නැහැ. 



මාක්ස්වාදය මතවාදී තලයේ පරාජය වී ඇතත් ඇතැමුන්ගේ සිත්වල එහි නෂ්ටාවශේෂ තියෙනවා. ඊනියා විද්‍යාත්මක සමාජවාදය සාධාරණ ක්‍රමයක් යැයි සිතන්නන් ද ඉන්නවා. ඇතැමුන් බුදුහාමුදූරුවන් සමාජවාදියකු කිරීමට උත්සාහ ගන්නේ එබැවිනුයි. මේ බොරු සමාජවාදය ගැන ඇතැමුන් විශ්වාස කරනවා. ඒත් ඔවුන් සමසමාජ පක්‍ෂයටවත් කොමියුනිස්ට් පක්‍ෂයටවත් ඡන්දය දෙන්නේ නැහැ. ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයන් බොහෝ දෙනා බොරු සමාජවාදීන්. ඔවුන් මාක්ස්වාදයවත් බුදුහමවත් දන්නේ නැහැ. ඔවුන්ට ඇති ජාතිකත්වයකුත් නැහැ. මේ පිරිස ඒකාබද්ධ විපක්‍ෂයේ ඉන්න එක දෙමළ ජාතිවාදය නෛතික ව පරාජය කිරීමට බාධාවක්. ඔවුන්ට දෙමළ ජාතිවාදය ගැන කතාවක්, ප්‍රවාදයක් නැති නිසා  ඔවුන් මාක්ස්වාදීන් අනුගමනය කරමින් දෙමළ ජනයාගේ ඊනියා ප්‍රශ්නයක් ගැන කියවනවා. එහෙත් මේ ඊනියා ප්‍රශ්නය කුමක් දැයි ඔවුන් කියන්නේ නැහැ. එයට හේතුව එවැනි ප්‍රශ්නයක් නොමැති වීමයි. දෙමළ ජාතිවාදය පරාජය වී නැත්තේ නෛතික ව. දේශපාලනික ව එය නන්දිකඩාල් කලපුවේ දී පරාජය වුණා. එහෙත් ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයන්ට දෙමළ ජාතිවාදය ගැන කිසිම අවබෝධයක් නැති නිසා දෙමළ ජාතිවාදය දේශපාලනික ව නන්දිකඩාල් කලපුවේ දී පරාජය වූ බව තේරෙන්නේ නැහැ. මේ නායකයන් දෙමළ ජනයාගේ ඊනියා ප්‍රශ්නයට විසඳුම් දීම සඳහා චන්ද්‍රිකාගේ පැකේජයට පක්‍ෂ වූ බවත් සුදු නෙළුම් ගෙන මංගල සමරවීර සමග අවලම් තවලම් ගිය බවත් අමතක කරන්න බැහැ. ඔවුන් සහ ඔවුන්ට ඡන්දය දෙන්නන් අතර ඇත්තේ විශාල පරතරයක්. 



දෙමළ ජාතිවාදය යනු බටහිරයන්ගේ නිර්මාණයක්. එය පසුපස ඇත්තේ ඇංග්ලිකන් ක්‍රිස්තියානීන්. ඔවුන්ට මැතෝදිස්ත ක්‍රිස්තියානින්ගේ ආධාරය ලැබෙනවා. ඉංගිරිසින් මෙරට ඇති කළ අධ්‍යාපනය දිගින් දිගට ම සිංහල බෞද්ධයන්ට වින කරනවා. ඕල්කට්තුමා ඇති කළ පාසල් කළේ ජාත්‍යන්තර බුද්ධාගමක් ආලේප කර ඉංගිරිසින් ඇති කළ පාසල් අනුකරණය කිරීම පමණයි. නීල මහා යෝධයා කැලණිය විශ්වවිද්‍යාලයට පිරිවෙන් විශ්වවිද්‍යාලයක් යැයි කියන්නේ තමා ඕල්කට් බෞද්ධයකු බව අපට පෙන්වමින්. ඕල්කට් බෞද්ධයන් බිහි වී ඇත්තේ ඕල්කට්තුමා ඇති කළ පාසල්වලින් පමණක් නො වෙයි. ඕල්කට්තුමා ඇති කළ පාසල්වලිනුත් අනෙක් පාසල්වලිනුත් සිංහල බෞද්ධයන් ද බිහි වී තිබෙනවා. ඒ තමන් ලැබූ අධ්‍යාපනයට පිටින් ගිහින්. ඊනියා ගැමි උගතුන් ද ඉංගිරිසි අධ්‍යාපනයේ ප්‍රතිඵලයක්. අප අලුතෙන් ම හිතන්නේ නැත්නම් අපට දෙමළ ජාතිවාදය පරාජය කිරීමට නොහැකි වේවි. හිතන්නට චින්තකයකු වීම අනිවාර්ය නැහැ. 





මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.

http://www1.kalaya.org

නලින් ද සිල්වා

2017 අගෝස්තු 09