Main Logo

Wednesday 11 December 2019

අපට විරුද්ධ බටහිර රාජ්‍ය පරාජය කරමු

     
                                                              සිංහල ලිත් ඉලක්කම්



අපට විරුද්ධ බටහිර රාජ්‍ය පරාජය කරමු



අපේ කඳවුරේ එක් පඬියකු  කියා තිබුණා අල්ජසීරා බීබීසි ආදී ජනමාධ්‍ය ඒ ඒ රටවල ආණ්ඩුවල මතය සකස් කරනවා කියා. එහෙම නැත්නම් සකස් කිරීමේ දී යම්  බලපෑමක් ඇති කරනවා කියා. මොහු මෙරට විදේශ ප්‍රතිපත්තිය සකස් කිරීමේ දී යම් බලපෑමක් ඇති කරපු අයෙක්. ඔහුගේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා උසස් වෙනවා විය හැකියි. රාජ්‍ය සමග ගනුදෙනු කිරීමේ දී පොල්ලෙන් ගැහුවාක් මෙන්  වැඩ කිරීමට නොහැකි වනවා විය හැකියි. මගේ නම් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තබා පුද්ගල පුද්ගල සබඳතාත් ඇත්තේ පහළ මට්ටමක.  මා ඒ ගැන තැවෙන්නේ නැහැ.




එහෙත් අපට බටහිර රටවල ප්‍රතිපත්තිය ගැන තව කෙතෙක් කල් ඇහැ කණ පියාගෙන ඉන්න පුළුවන් ද? බීබීසි අල්ජසීරා වැනි ජනමාධ්‍ය සිංහලයාට සතුරු ප්‍රතිපත්තියක් අනුගමන කරන බව දැන් වසර කිහිපයක සිට අප දන්නවා. එහෙත් බටහිර රාජ්‍යවල මතය ඒ ජනමාධ්‍යයේ බලපෑමට හසු වෙනවා කීම නම් බටහිර රාජ්‍ය ඉදිරියෙහි දණ ගැසීමක් පමණක්. අප හිතනවා නම් බටහිර රාජ්‍ය තම ප්‍රතිපත්ති සකස් කරන්නේ ජනමාධ්‍ය ඇසුරු කිරීමෙන්  කියා අපට දෙවියන්ගේ ම පිහිටයි.



මෙහි භයානකකම ඇත්තේ මෙවැනි පඬියන් මෙරට විදේශ සම්බන්ධතා සකස් කිරීමේ දී කරන බලපෑමයි. විදේශ සම්බන්ධතා සකස් කිරීමේ දී අප දක්වන අදහස් ගැන කිසි දිනෙක සැලකිල්ලක් දැක්වූයේ නැහැ. මා කී විට එංගලන්තය හා ඉන්දියාව අපේ ප්‍රධාන ම සතුරන් කියා කිසිම පඬියකු ඒ අහන්නවත් සූදානම් වුනේ  නැහැ. බටහිර රාජ්‍යවල ලංකාව හා සම්බන්ධ ප්‍රතිපත්තිය ජනමාධ්‍යවලින් පෝෂණය වෙනවා, සකස් වෙනවා කී විට අපට ජනමාධ්‍ය විවේචනය කිරීමේ අවස්ථාව එළඹෙනවා. ඒ අතර බටහිර රාජ්‍ය සමග රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ඊනියා ඉහළ මට්ටමකින් පවත්වා ගෙන යන්න පුළුවන්.



එහෙත් එයින් රටටවන යහපතක් නැහැ. මෙරට දෙමළ ජාතිවාදී ව්‍යාපාරය ආරම්භ කෙළේ කවුද? (අ) දෙමළ කතා කරන ජනයා (ආ) දෙමළ වෙල්ලාලයන්, (ඇ) සිංහල ජනයා, (ඈ) සිංහල බෞද්ධයන්, (ඉ) භික්‍ෂූන් වහන්සේ, (ඊ) ඉංගිරිසි යටත්විජිතවාදීන් (උ) ඉන්දියානුවන් (ඌ) ලන්දේසීන්, (එ) වෙනත් අය. මේ ප්‍රශ්නයට දෙන පිළිතුර මත බොහෝ දේ රැඳී සිටිනවා.



1796ට පෙර මෙරට දෙමළ ජාතිවාදයක් තිබුණා ද? ලන්දේසීන් දුම්කොළ වගාව සඳහා වෙල්ලාලයන් මෙරටට ගෙනා බව සැබෑවක්. එහෙත් ලන්දේසීන් මෙරට දෙමළ ජාතිවාදයක් ඇති කෙරුවා ද? මා ද කලක් සිතා සිටියේ යාල්පානම් වෛපව මාලෙයි කවි කතාව ලිව්වේ ලන්දේසි ආණ්ඩුකාරයකුගේ වුවමනාවට දෙමළ වෙල්ලාල මුදලිවරයකු බවත් දෙමළ ජාතිවාදය 1833 පමණ ඉංගිරිසින් නිර්මාණය කළ බවත්. එහෙත් පියසිරි අමරකෝන් හා ටික්කම මහින්ද කුමාර ආදීන් නිසා අප දැන් දන්නවා නෝත් ආණ්ඩුකාරයාගේ කාලයේ සිට ම දෙමළ ජාතිවාදය ඇති කිරීමට කටයුතු කර ඇති බව. ඉංගිරිසින්ට එහි දී කාසිචේට්ටි නමැත්තකුගේ ලිපි ආධාර වෙලා තියෙනවා. අමරකෝන් හා ටික්කම ලියූ පොත්පත්වල මේ කරුණු සඳහන් වෙනවා.



එමෙන් ම යාල්පානම් වයිපව මාලෙයි ලියා ඇත්තේ ලන්දේසි කාලයේ නොව ඉංගිරිසින්ගෙ කාලයේ බව පියසිරි අමරකෝන් පෙන්නනවා. මේ අය ඊනියා පුහුණු ඉතිහාසඥයන් නො වෙයි. ඒ නිසා ම ඔවුන්ට බටහිර නොවන ඇසකින් ඉතිහාසය ලිවීීමේ (නිර්මාණය කිරීමේ) හැකියාව තියෙනවා. ඉතිහාසයත් අනෙක් සෑම දෙයක් වගේ ම නිර්මාණයක්. ඉතිහාස රාශියක් තියෙනවා. ඒ එ ඉතිහාසඥයාගේ චින්තනය මත ලියන ඉතිහාසය වෙනස් වෙනවා. අපට බලන්න තියෙන්නෙ වඩා සංගත ඉතිහාසය කුමක් ද කියා. බටහිර චින්තනය මත පදනම් ව ලියන ඉතිහාස සංගත නැහැ. ඔවුන්ට ප්‍රශ්නවලට උත්තරත් නැහැ. ඔවුන්ට අනුව දෙමළ ජාතිවාදය සිංහලයන්ගේ ජාතිවාදී ප්‍රතිපත්ති නිසා ඇති වූවක්. එහෙත් දෙමළ කතාකරන ජනයාට දෙමළ වීම නිසා ම ඇති වී තිබෙන ප්‍රශ්නය මොකක් ද කියන එකට උත්තරයක් නැහැ. ප්‍රශ්නයක් නැත්නම් නැති ප්‍රශ්නයක් ඇති කෙළේ කවුද යන ප්‍රශ්නය අසන්න වෙනවා.



එහෙත් අපට අනුව ප්‍රශ්නයක් තියෙනවා. ඒ සිංහලයන්ට, විශේෂයෙන් ම සිංහල බෞද්ධයනට එරෙහි ව දෙමළ වෙල්ලාලයන් මෙහෙයවීම. ප්‍රභාකරන් ඔහුගේ සියලා බාප්පලා හා මස්සිනාලා කෘතියෙනුත් වෙනත් ලිපිවලිනුත් මා දෙමළ ජාතිවාදය විකාශය වූ හැටි විස්තර කර තිබෙනවා. සමහරවිට ජාතික ව්‍යාපාරයට ඒ ලිපි ලේඛන වැදගත් නොවනවා වෙන්න පුළුවන්. ඔවුන් තවමත් දන්නේ සිද්ධියෙන් සිද්ධියට යෑම පමණයි. ඔවුන්ට සිද්ධි මාලාව දකින්න බැහැ. ජනමාධ්‍යටත් සිද්ධි මාලාව දකින්න බැහැ.



දෙමළ ජාතිවාදය විකාශය වී එය ප්‍රභාකරන්ගේ නායකත්වය යටතට පත් වුනා. අපේ රණවිරුවන් නන්දිකඩාල් කලපුවේ පැරදුවේ මේ ජාතිවාදී ත්‍රස්තවාදයයි. ඒ සමග දෙමළ ජාතිවාදීන් සමග තවත් සාකච්ඡා අවශ්‍ය නැහැ. ප්‍රශ්නයක් නැති තැනක නැති ප්‍රශ්නයකට, ඊනියා අසාධාරණයකට දුන් දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයටත් ඉන් පසු වලංගු බවක් තිබෙන්නේ නැහැ. අප දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය කවදා නමුත් අහෝසි කළ යුතුව කියන්නේ මූලික ව එබැවිනුයි. ඉන් රට බෙදීමට පාර කැපීමක් ද වෙනවා.



අද ප්‍රශ්නය නැති ප්‍රශ්නයයි. එය ඉංගිරිසින් ඇති කළ එකක්. ඒ සිංහලයන්ට විරුද්ධව දෙමළ ජාතිවාදයක් ඇති කර එය මුලින් වෙල්ලලාල නායකත්වයක් යටතට පත් කිරීමයි. පසුව ඉන්දියාව ද දෙමළ ජාතිවාදය පෝෂණය කළා. රජිව් ගාන්ධි ඝාතනයෙන් පසු ඉන්දියාව කොටින්ට  විරුද්ධ වුනා. එහෙත් දෙමළ ජාතිවාදය අත්හැරියේ නැහැ. නැති දෙමළ ප්‍රශ්නයකට  ඊනියා විසඳුම් දුන්නා. මෝදි පහුගිය දා දිල්ලියේ දී ඊනියා සංහිඳියාවක් ගැන කතා කර අභව්‍ය විසඳුමක් වූ දහතුන ක්‍රියාත්මක කරන ලෙස කිවුවේ ඒ පදනමින්.



කලකට පෙර විදුලි පුටු හා අරාබි වසන්ත ගැන කතා කෙළේ කොටි පැරද වූ අයට දඬුවම් කිරීමට. බටහිරයන් තම උත්සාහය අත්හැර නැහැ. 1833 දී හා ඊට පෙර අල්ජසීරා චැනල් 4 තිබුණේ නැහැ. එහෙත් ඉංගිරිසින් ඇති කළ දෙමළ ජාතිවාදය තිබුණා. බටහිර රාජ්‍යවලට බය පඬියන් අපේ කඳවුරේ ම ඉඳගෙන මොනවා කිවුවත් බටහිර රාජ්‍ය ලංකාවට විරුද්ධ තම ප්‍රතිපත්ති සකස් කරන්නේත් ක්‍රියාත්මක කරන්නේත් ජනමාධ්‍යයෙන් ආභාසය ලබා ගෙන නො වෙයි. එංගලන්තය තමයි එහි සිටින දෙමළ විසුරුණු ජනයා මෙහෙයවන්නේ. ඒ දෙමළ කතාකරන්නන්ගේ ඡන්දය ගැනීමට නො වෙයි. දෙමළ කතාකරන ඡන්ද ගැනීම යනු අප මුළා කිරීමට ඉංගිරිසින් කරන මගඩියක් පමණයි. ඉංගිරිසින්, කොන්සර්වෙටිව් මෙන් ම කම්කරු පක්‍ෂ, එංගලන්තයේ සිටින සිංහලයන්ගේ ඡන්ද ගැන උනන්දුවක් දක්වන්නේ නැද්ද? බටහිර රටවල් හා බටහිර ජනමාධ්‍ය සිංහලයන්ට විරුද්ධ ව එකට වැඩ කරනවා. ඒ ත්‍රිකුණාමල වරාය තමන් යටතට පත්කර ගන්න නම් නො වෙයි. මෙරට දෙමළ ජාතිවාදී පක්‍ෂ මෙහෙයවනු ලබන්නේ බටහිර රටවල් හා ඉන්දියාව විසින්.



අද මෙරට රඟ දැක්වෙන ස්විස් නාඩගම මේ බටහිර සිංහල විරෝධී ව්‍යාපෘතියේ තවත් අංගයක් පමණයි. ඒඩ්‍රියන් කන්දප්පලා මෙන් ම ගානියා ෆ්‍රාන්සිස්ලාත් බටහිරයන් යොදා ගන්නා නළු නිළියන් පමණයි. මෙරට සිටින සිවල් සාමාජිකයන් මානව අයිතිවාසිකම් අයිතිකරුවන් අයිිතිකාරියන් ද බටහිරයන් යොදා ගන්නා පිරිස්. සමහරවිට ළඟ දී නම හා ආගම වෙනස් කර ගත්තේ යැයි කියන ගානියා ෆ්‍රාන්සිස් තමාට හා පවුලට ස්විට්සර්ලන්තයට යෑමට කතාවක් හැදුවා වෙන්න පුළුවන්. එහෙත් එසේ වුනත් ඒ කතාවට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ පූර්ණ සහාය ලැබී තිබෙනවා.  ඔවුන් බලන් ඉන්නෙ ආණ්ඩුවට විරුද්ව ජාත්‍යන්තර මතයක් ඇති කරන්න. ගානියා ඒ සඳහා අවස්ථාව ලබා දුන්න. තානාපති ඒක ගත්තා. අඬන්න හිටපු මිනිහට ඇඟිල්ලෙන් ඇන්න වගේ. ඔවුන් එසේ කෙළේ තම සිංහල විරෝධය, විශේෂයෙන් සිංහල බෞද්ධ විරෝධය, සිංහල ථෙරවාද බෞද්ධ විරෝධය නිසයි. බටහිරයන්ට ඉන්දියාවට හා සෞදි අරාබියට ඇති ප්‍රධාන ම ප්‍රශ්නය ථෙරවාදයයි. ඔවුන් ථෙරවාදයට විරුද්ධ ව එකතු වෙනවා.



මේ තත්වය අවබෝධ නොකර බටහිර රාජ්‍ය විවේචනය අත්හැර බටහිර ජනමාධ්‍ය පමණක් විවේචනය කිරීමෙන් අපට දෙමළ ජාතිවාදය පරාජය කරන්න බැහැ. අප දෙමළ ත්‍රස්තවාදය පරාජය කළත් දෙමළ ජාතිවාදය තවමත් පවතින්නේ බටහිර රටවල්, විශේෂයෙන් ම එංගලන්තය නිසා. ඔවුන්ට ඉන්දියාවේ සහාය ද ලැබෙනවා. බටහිර රාජ්‍ය විවේචනය කිරීමට අප බිය විය යුතු නැහැ. ඔවුන් අපට තහංචි පනවන්න ඉඩ තියෙනවා. අප ඒවාට නොබිය ව මුහුණ දෙන්න ඕන. රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමයට බටහිර රාජ්‍ය විවේචනය කරන්න ඕන. බටහිර රාජ්‍යවලට බයේ ජනමාධ්‍යවලට පමණක් තැලීම මුව හමට තැළීමක්. විදේශීය සම්බන්ධතා අමාත්‍යාංශයට සම්බන්ධ අපේ කඳවුරේ මුව හම් තළන්නන්ගෙන් අප ප්‍රවේසම් විය යුතුයි. ජෙනීවා ගිහින් මුහුණ දෙන්න ඕන බටහිර රාජ්‍යවලට මිස ජනමාධ්‍යයට නො වෙයි. එසේ මුහුණ දීමට පළමු බටහිර නොවන රටවල් සමග අපේ සම්බන්ධතා වර්ධනය කර ගත යුතුයි. ලෝකය යනු බටහිර රටවල් පමණක් නො වෙයි.