සිංහල ලිත් ඉලක්කම්
ගානියා හා ජාත්‍යන්තරය
ස්විට්සර්ලන්ත සිද්ධිය යනු විශාල ක්‍රියාදාමයක මතු වූ කොණක් පමණයි. ගානියා යනු කවුදැයි සොයා ගන්න ඕන. ඇය මුලින් ශ්‍රියාලතා පෙරේරා කියා කියනවා. ඇයට එ ජා ප සම්බන්ධකම් තියෙන්න ඇති. රාජිත සේනාරත්න කියන කතාවලින් ඒ බව පැහැදිලි වෙනවා. අකිල විරාජ් කියනවා ආණ්ඩුව මේ සිද්ධිය එ ජා පක්‍ෂයට සම්බන්ධ කිරීමට දරණ උත්සාහයෙන් පේන්නෙ ආණ්ඩුවෙ බංකොළොත්කම කියා. එහෙත් දැනට දින කිහිපයකට උඩදි අකිලල මේ සිද්ධිය ආණ්ඩුවට බැර කරලා සුදු වෑන් මවල දේශපාලන වාසියක් ගන්න බැලුවා.
මේ පාර්ලිමේන්තු දේශපාලනයෙ, එහෙමත් නැත්නම් බටහිර ප්‍රජාතන්ත්‍රවාදයෙ හැටි. ඊනියා දියුණුය කියන රටවලත් මේ දේශපාලන චෝදනා එල්ල වෙනවා. ඡන්දයෙන් ඊනියා මහජන නියෝජිතයන් පත් කර ගැනීම තිබෙන තුරු මේ චෝදනා ප්‍රතිචෝදනා තියේවි. අද එංගලන්තෙ (එක්සත් රාජධානියෙ) මහා මැතිවරණය. එහි දීත් මඩ විසි වෙනවා. ලංකාවට විරුද්ධවත් මඩ ගහනවා.
එහෙත් මේ ගානියා සිද්ධිය ගැන පුළුල් පරීක්‍ෂණයක් ඉක්මණින් කරන්න ඕන. රටට අපකීර්තියක් ගෙන ඒමට කටයුතු කළ ඇයට පුළුල් පරික්‍ෂණයකින් තොරව රටින් පිටව යෑමට අවසර දිය යුතු නැහැ. ඒඩ්‍රියන් කන්දප්පා හෙවත් නිශාන්ත ද සිල්වා නිවාඩුත් නැතිව ස්විට්සර්ලන්තයට පැන ගැනීම මගින් ලොකු කතාවක් කියැවෙනවා. ස්විට්සර්ලන්තය කියන්නෙ ඊනියා මධ්‍යස්ථ රටක් හැටියටයි බටහිරයන් අපේ උගතුන්ට කියල තියෙන්නෙ. ඒකෙ ඇති මධ්‍යස්ථකමක් නැහැ. එක්සත් ජාතීන්ගෙ විවිධ ආයතන එරට ඇත්තේත් ඒ මධ්‍යස්ථභාවය නිසා කියල කියනවා. අපි දන්නවා මානව අයිතිවාසිකම් සමුළුවෙ මධ්‍යස්ථභාවය.
ගානියා එ ජා පක්‍ෂය විසින් මෙහෙයවනු ලැබීය කියා මා විශ්වාස කරන්නේ නැහැ. එ ජා පක්‍ෂයට එවැනි දෙයක් කරන්න තරම් හැකියාවක් නැහැ. එහෙත් ගානියාට එ ජා ප සමග සම්බන්ධකම් තිබිල තියෙන බව පැහැදිලියි. බෙවන් පෙරේරාගෙ පුතා අර මාධ්‍ය සාකච්ඡාවක් ගැන කිවුවෙ කොහොම ද? ඔහු දැන් කියනවා තමා සමාජ ක්‍රියාකාරකයකු පමණක් බවත් පුවත්වලින් අන්ද මන්ද වී ඇති බවත්. ඒ අර මනමේ කුමාරිගෙ කතාව ඇහුව වැදි රජු වගේ ද?
අපට දැනගන්න ඕන ගානියා ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය විසින් මෙහෙයවනු ලැබුවා ද නැත්නම් තානාපති ගානියා විසින් අන්දනු ලැබුවා ද යන්නයි. ගානියා සමහරවිට තමාට හා පවුලට ස්විට්සර්ලන්තයට පැන ගන්නට කතාවක් හැදුව වෙන්න පුළුවන්. තානාපති ඒ කතාව ගිල්ල වෙන්න පුළුවන්. එහෙම නම් ඒ කියන්නෙ තානාපති එවැනි කතාවක් බලාපොරෙත්තුවෙන් සිටි බවයි. කිසි වග විභාගයක් නැතිව ඔහු කතාව පිළිගෙන. අඬන්න හිටපු මිනිහට ඇඟිල්ලෙන් ඇන්න වගේ වැඩක් ගානියා කර තියෙන්නෙ.
එහෙම නැත්නම් තානාපති කාර්යාලය ඒඩ්‍රියන් කන්දප්පා සිද්ධිය වහා ගන්න ගානියා යොදා ගත්ත වෙන්න පුළුවන්. ස්විට්සර්ලන්තය රණවිරුවන්ට එරෙහිව ඊනියා ජාත්‍යන්තර අධිකරණයට නඩ පැවරීමට කන්දප්පා එරටට ගෙන යන්න ඇතැයි යන මතයක් තියෙනවා. අර යස්මින් සූකා කමල් ගුණරත්නට විරුද්ධ ව නඩු පවරන්න යනවා. ගානියා ඊයේ අපරාධ විමර්ෂණ කොට්ඨාසයට ඇවිත් නැහැ. ඇගේ නීතිඥයන් ඊයේ සිල් ගත්ත ද දන්නෙ නැහැ. ගානියා පිටුපස නිමල්කා ප්‍රනාන්දුගෙ පුතා ඉන්නවා කියනවා. ගානියා බෝන් අගේන් කියලත් කියනවා.
යමකුගෙ ආගමික විශ්වාස හරි අවිශ්වාස හරි පෞද්ගලික කාරණා පමණක් නො වෙයි. ඒ සියල්ල සමාජයීය ද කරුණු. ඒ සියල්ල දේශපාලනයට ද සම්බන්ධයි. අද බටහිර විද්‍යාව තමයි ලෝකයෙ බලවත්ම ආගම. ඒ ආගම අදහන්නන්ට වෙනත් ආගමක් ද අදහන්න පුළුවන්. අද ලංකාවෙ විද්‍යාත්මක බෞද්ධයන් ඉන්නෙ ඒ නිසා.
ඊනියා අනාගමිකයන් ද කරන්නෙ දේශපාලනයක්. ඒ දේශපාලනය ලංකාවෙ දි නම් සිංහල බෞද්ධකමට, පොදුවෙ සිංහලත්වයට විරුද්ධ ව. ඊනියා බෝන් අගේන් ක්‍රියත්මක වන්නෙ සිංහල කතෝලිකයන්ට ද විරුද්ධ ව. සිංහල කතෝලිකයන්ට ද අනෙක් අයට ද ආරක්‍ෂාවක් තියෙන්නෙ සිංහල බෞද්ධ රාජ්‍යයක. කාට හරි අහන්න පුළුවන් කාගෙන් ආරක්‍ෂාව ද කියල. එයට ඇත්තේ එක ම එක පිළිතුරයි. ඒ බටහිර රටවලින්.
අද ලෝකයෙ වැඩියෙන් ම පීඩාවට පත් වෙන්නෙ ථෙරවාද බෞද්ධ රටවල්. ගැම්බියාව කියන මුස්ලිම් රට මියන්මාරයට එරෙහිව ඊනියා ජාත්‍යන්තර ජූරිය ඉදිරියට ගිහින්. ඒ අර රොහින්ග්‍යා මුස්ලිමුන්ට විරුද්ධ ව මියන්මාරය ක්‍රියා කරනවා කියමින්. මේ ක්‍රියාව පිටුපස එ ජා පක්‍ෂය හරි නිමල්කා හරි මෙරට සිවල් සාමාජිකයන් හරි ඉන්නවා කියල කිසිවකු කියන එකක් නැහැ. ඔවුන් සියල්ල ම සිංහල බෞද්ධ විරෝධීන්. එ ජා පක්‍ෂය ද පක්‍ෂයක් ලෙස සිංහල බෞද්ධ විරෝධීයි. එහෙත් ගැම්බියාව පිටුපස ඉන්නෙ බටහිර රටවල් බව පැහැදිලියි. මියන්මාරය ලංකාවට ද වඩා බටහිරයන්ගෙ පීඩාවට ලක් වන ථෙරවාද රටක් බව අමුතුවෙන් කියන්න ඕන නැහැ. ගැමීබියාව ඇෆ්ගනිස්ථානයෙ මුස්ලිමුන් ඝාතනය කිරීමට විරුද්ධ ව බටහිර රටවලට නඩු දාන්නෙ නැහැ.
මේ අතර ඊයේ ඉන්දියාව ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය හා පකිස්ථානය යන මුස්ලිම් රටවලින් එරටට පැමිණ සිටින මුස්ලිම් නොවන සරණාගතයන්ට රටවැසිකම දීමට හැකි වන පනතක් සම්මත කර ගෙන. එත් ලංකාවෙන් ඉන්දියාවට ගිහින් ඇති සරණාගතයන්ට රටවැසිකම් දීමට තීරණය කරලා නැහැ. ඉන්දියාව තම ව්‍යවස්ථාවෙන් ඊනියා අනාගමික රටක් කීවත් එය මුස්ලිම් විරෝධී හින්දු රටක්. එය හින්දු රාජ්‍යයක්. ලංකාවෙන් ගිය සරණාගතයන් කවදා නමුත් ආපසු එවීමට ඉන්දියාව බලාපොරොත්තු වෙනවා. ඉන්දියාව අපට බලපෑම් කරන්නෙ මෙරට ජීවත්වන දෙමළ කතා කරන මුස්ලිම් නොවන ජනයා මගින්. එවැන්නන් මෙරට හැකිතාක් ජීවත්වීම ඉන්දියාව අපේක්‍ෂා කරනවා.
මුස්ලිම්, ක්‍රිස්තියානි (අද කතෝලික රටවල් ඇත්තේ නමින් පමණයි), හින්දු රාජ්‍ය ඒ ඒ අය අතර මොන ප්‍රශ්න තිබුණත් ථෙරවාදයට විරුද්ධ ව එකතු වෙනවා. මෙය බටහිර ක්‍රිස්තියානි සංස්ථාපනය විසින් කෙරෙන්නක්. අප මෙය අවබෝධ කර ගත යුතුයි. ඉන් කියන්නෙ අප බටහිර රටවලට විරුද්ධ ව යුද්ධ ප්‍රකාශ කරන්න කියන එක නො වෙයි. ඊනියා රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමයට එයට විරුද්ධ ව කටයුතු කරන්න ඕන. ඒත් මොනව කරන්නත් ප්‍රශ්නය තේරුම් ගන්න ඕන.
ගානියා සිද්ධිය ගැන පරීක්‍ෂණය ඉක්මන් කරල ඒක ඉවරයක් කරන්න ඕන. ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය අද ඒ සම්බන්ධයෙන් මෙරට ජනමාධ්‍යට චෝදනා කරනවා. ජනමාධ්‍ය හොඳයි කියල මා කියන්නෙ නැහැ. ඒහෙත් ගානියා සිද්ධිය ගෝඨාභය ආණ්ඩුවට විරුද්ධ ව යොදා ගෙන එය ජනමාධ්‍යයට කාන්දු කෙරෙව්වෙ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලමයි. ආණ්ඩුව ගානියා සිද්ධිය තනි සිද්ධියක් ලෙස නොගත යුතුයි. මෙරට ජනමාධ්‍යවේදීන් ද ඇතුළු ඊනියා උගතුන් කරන්නෙ සිද්ධියෙන් සිද්ධියට පැන යෑමයි. අප සිද්ධි මාලාව දකින්න ඕන.