Main Logo

Wednesday 25 December 2019

හාල් මිල පාලනය කරන්න බැරි ඇයි?

    සිංහල ලිත් ඉලක්කම්



හාල් මිල පාලනය කරන්න බැරි ඇයි?


අද හාල් ප්‍රශ්නය උග්‍ර වෙලා. මඩ සෝදා ගත් කල ගොවියා රජකමට සුදුසු යැයි කීවත් රජවරු මෝල් හිමියන් පමණයි. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ඒ මෝල් හිමියන් කවුදැයි නොදන්නවා වෙන්න බැහැ. එහෙත් ජනාධිපතිට එක් දුරකතන ඇමතුමකින් ප්‍රශ්නය විසඳන්න බැහැ. එයට හේතුව ප්‍රජාතන්ත්‍රවාදයයි. ප්‍රජාතන්ත්‍රවාදයට අනුව දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය තියෙනවා. ඉන් ජනාධිපති බලතල එතරම් කැපී නැති වුවත් අද තිබෙන දේශපාලන පක්‍ෂ ක්‍රමය යටතේ අගමැතිට නෛතික බලයකට වඩා පාක්‍ෂික බලයක් තියෙනවා. ගෝඨාභය රාජපක්‍ෂ ජාතික ජනාධිපති වුවත් ඔහු බලයට පත් වුනේ පොහොට්ටුවක් නිසා නොවුනත් කොටි පරාජය කිරීමේ දී ස්ථිර අධිෂ්ඨානයකින් ක්‍රියා කෙළේ එකල ආරක්‍ෂක ලේකම් වුවත් ජනමතයක් ගොඩ නගා ඇත්තේ වෙනත් ආකාරයකට සිතවන ලෙසයි. අප සිතන්නේ නැහැ. අප සිතවනවා පමණයි. පස්වැනි සියවසෙන් පසු තත්වය ඒකයි.


එමෙන් ම ප්‍රජාතන්ත්‍රවාදය මොන රටේත් ක්‍රියාත්මක වන්නේ මුදල් මත. මුදල් නැතිව මැතිවරණයක් ජනාධිපතිවරණයක් දිනන්න බැහැ. පොහොට්ටුවටත් මුදල් ලැබුණා. ඒ මුදල් ලැබුණේ කාට ද කියන එක මට හරියට ම කියන්න බැහැ. එහෙත් මුදල් දෙන්නන් එසේ දෙන්නේ නම ලකුණු කර ගෙන. නම් ලකුණු කරන්නේ කවුද යන ප්‍රශ්නය තිබෙනවා. ඒ නම් ලකුණු කරන්නන් මුදල් දෙන්නන්ට විරුද්ධ ව ක්‍රියා කරාවි දමෝල් හිමියන් මෝලුන් නො වෙයි. ඔවුන් පොහොට්ටුවට මුදල් නොදුන්නේ යැයි මා විශ්වාස කරන්නේ නැහැ. මුදල් ලබා ගත්තවුන් මුදල් ලබා දුන්නන්ට විරුද්ධ ව ක්‍රියා කරන්නට ඉඩ දේ ද? ඔය හාල් ගබඩා විවෘත කර හාල් අත්අඩංගුවට ගන්න පුළුවන් ද?

හාල් මාෆියාවක් තියෙන බව දැන් නොදන්න කෙනෙක් නැහැ. එහෙත් අකිල විරාජ් නම් දැන ගෙන තිබෙන්නෙ ඊයෙ පෙරේදා. ඔවුන්ගෙ ආණ්ඩුව තියෙන කාලෙ මෝල් හිමියන් පොළොන්නරුවෙ ගල් විහාරෙ භාවනා කරන්න ඇති. මාෆියා තියෙන්නෙ හාල් සම්බන්ධයෙන් පමණක් නො වෙයි. ජනමාධ්‍යයෙහිත් මාෆියා තිබෙනවා. ජාතික ව්‍යාපාරයේත් මාෆියා තිබෙනවා. තමන් අකමැති මතවලට ඉඩක් නොදෙන මාෆියා තිබෙනවා. ඒ ඒ ව්‍යාපාරවල මාෆියා තිබෙනවා.

මීළඟ මැතිවරණයෙන් එ ජා පෙරමුණු ආණ්ඩුවක් තනා ගෝඨාභය දුර්වල කිරීමේ වෑයමක් තිබෙනවා. ඒ පිටුපස බටහිරයන් ද ඉන්දියාව ද ඉන්නවා. චම්පක අත්අඩංගුවට ගැනීම උපයෝගි කරගෙන ව්‍යාපාරයක් හදන්න උත්සාහ ගන්නවා. එයට කතානායකත් සම්බන්ධයි. කතානායක තබා ශක්‍රයාවත් අපක්‍ෂපාත නැහැ. කතානායකගෙන් බලාපොරොත්තු වන්නේ අපක්‍ෂපාත වීම නොව අපක්‍ෂපාත බව පෙන්වන ආකාරයෙන් වැඩ කිරීම පමණයි. මේ කතානායක ඒ වැඩේ කරන්නෙත් නැහැ.

දෙමළ ජාතික සංධනය, මුස්ලිම් කොංග්‍රසය, ගානියා පැහැර ගත් බව ස්ථිරව ම දන්න ජ වි පෙ, ජාතික හෙළ උරුමය ආදී සියළු පක්‍ෂ එක පෙරමුණකින් කෙසේ වෙතත් අන්‍යොන්‍ය අවබෝධයෙන් මැතිවරණයට ඉදිරිපත් වේවි. එසේ වුනත් ජාතිකත්ව කඳවුරට දිනන්න පුළුවන්. එහෙත් එක කොන්දේසියකට යටත් ව. ඒ ශ්‍රී ල නි පක්‍ෂයට හිමි තැන ලබා දීමෙන්. එසේ නොකර පොහොට්ටුව උද්ධච්ඡ ආකාරයකින් ක්‍රියා කළොත් තත්වය අමාරු වෙන්න පුළුවන්. සමහර විට පොහොට්ටුවේ ඇතැමුන්ට අවශ්‍ය ඇති ගෝඨාභය රාජපක්‍ෂ තනි කරන්න. තවත් සමහරුන්ට අවශ්‍ය ඇති ගෝඨාභය පාලනය කරන්න. ජාතික ව්‍යාපාරයේත් ඇතැමුන් ඇතැම් පොහොට්ටු නායකයන්ගේ ආශිර්වාදයෙන් හා අධාරයෙන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න දැඟලුවා. එහෙත් අපට ඔවුන් පරාජය කරන්න පුළුවන් වුනා.

ලංකාවේ ඊනියා ධනවාදය ක්‍රියාත්මක වීම ඇරඹුණේ ම ආණ්ඩුවේ පිහිටෙන්. එය නිසගයෙන් මෙරට ඇති වුවක් නො වෙයි. ලන්දේසි කාලයේ සිට රේන්දය ලබා ගනීම මෙරට ක්‍රියාත්මක වුනා. ඉංගිරිසින් තමයි මෙරට කිහිප දෙනකුට තම ආර්ථික ක්‍රමය යටතේ රේන්ද, පතල්, වෙළෙඳ භෝග වැවිලි හා වරප්‍රසාද දී  ධනපතියන්ට වඩා ධනහිමියන් ඇති කෙළේ. මෙරට බටහිර මෙන් ධනවාදයක් නැහැ. ඇත්තේ රාජ්‍ය අනුග්‍රහය ලබන ධනහිමියන් පමණයි. ඔවුන් ඊනියා කොම්ප්‍රදෝරු ධනපති පංතියක් කියන්න බැහැ. දේශපාලනඥයන් ධනහිමියන් පාතාලයන් එකට ක්‍රියාත්මක වෙනවා. දේශපාලනය විසින් පොලීසියත් නීතියත් මෙහෙයවෙනවා. මේ අපට ඉංගිරිසින්ගෙන් ලැබුණු දායාද. ඉඳහිට තම උත්සාහයෙන් උඩට එන ධනහිමියන් පවා ටික කලක දී දේශපාලනඥයන් විසින් මිලට ගැනෙනවා. ඒ ධන හිමියන් දේශපාලනඥයන් මිලට ගන්නවා. මෙය චක්‍රයක්.

මේ සියල්ල වෙනස් කරන්න පුළුවන්. ගෝඨාභයට ඒ කරන්න පුළුවන්. එහෙත් ඔහුට ඒ කරන්න ඉඩ දෙන්න ඕන. ඔහුට ආරක්‍ෂක ලේකම් කාලයේ තිබූ බලතල අද නැති බවක් පේන්න තියෙනවා. එදා ඔහු පක්‍ෂයකින් නොමෙහයවුනු රාජ්‍ය නිලධාරියෙක්. අද පොහොට්ටුව ඔහු මෙහෙයවන්න උත්සාහ කරනවා. පොහොට්ටුච හිතන්නේ ගෝඨාභය බලයට පත් කරනු ලැබුයේ තමන් විසින් පමණක් බවයි. එහෙත් එය වැරදියි. ශ්‍රී ල නි පක්‍ෂයත් වෙනත් ජාතිකවාදීනුත් එහි දී ක්‍රියාත්මක වුනා. අද ජාතිකත්වයේ ප්‍රධාන පක්‍ෂය ශ්‍රී ල නි පක්‍ෂයයි. පොහොට්ටුවේ ජාතිකත්වයක් නැහැ.

මා දන්නා තරමින් ගෝඨාභය රාජපක්‍ෂ පොහොට්ටුවේ සාමාජිකයකු නො වෙයි. ඔහු මෙරට ජාතික ජනාධිපති. ඔහු ඉදිරිපත් වූයේ ජාතික අපේක්‍ෂක ලෙස මිස පොහොට්ටුවේ අපේක්‍ෂක ලෙස නො වෙයි. ඔහු පොහොට්ටුව ලකුණෙන් ඉදිරිපත් වූයේ ගිවිසුමක එක් කොටසක් ලෙස. අනෙක් කොටසෙන් කියැවුනේ මැතිවරණයේ දී පක්‍ෂ දහහතක් ශ්‍රී ලංකා නිදහස් පොදුජන සංධානය නමින් පුටුවෙන් ඉදිරිපත් වන බවයි. දැන් එය වෙනස් කරන්න බැහැ. ගෝඨාභයට එදා අකමැති වූ පිරිස් අද ඔහු පාලනය කිරීමට උත්සාහ ගන්නවා. එයට ඉඩ නොදිය යුතුයි.

හාල් මිල පාලනය මේ සමස්ත ප්‍රශ්නයේ එක් කොටසක් පමණයි. දේශපාලනඥයන්ගෙන් හා ධනහිමියන්ගෙන් ගෝඨාභය ආරක්‍ෂා කර ගත යුතුයි. මෝල් හිමියන් ධනපතියන් නොව ධනහිමියන්  පමණයි. ඔවුන් විකිණෙන්නන් හා විකුණන්නන්. ඔවුන් කරන නිෂ්පාදනයක් නැහැ. ගොවීන් අසරණ කර වී මිලට ගෙන හාල් කර අපට විකුණා ධනය රැස්කිරීමෙන් රටට සත පහක වැඩක් නැහැ. මෝල් මාෆියාවේ බැංකු ගිණුම් නම් තර වේවි. මෙරට බැංකුත් අර දේශපාලනඥ ධනහිමි හවුලේ තවත් ආයුධයක් පමණයි. දේශපාලනඥයන් අයින් වී ගෝඨාභයට ඉඩ දෙන්නේ නම් හාල් ප්‍රශ්නය පැය කිහිපයකින් විසඳන්න පුළුවන්.