Main Logo

Monday 26 October 2020

සිංහල බෞද්ධ ඡන්ද හා ජගත්

 

සිංහල බෞද්ධ ඡන්ද හා ජගත්

 

මහාචාර්ය ජගත් වැල්ලවත්ත කියන්නෙ උගතෙක්. අර ඇතැමුන් කියන විධියට ප්‍රාමාණික උගතෙක්. ඔහු කොළඹ විශ්වවිද්‍යාලයෙ සමාජවිිද්‍යා අධ්‍යනංශයේ මහාචාර්යවරයෙක් වෙන්න ඕන. ඔහු කාලයක් තිස්සේ තවත් මහාචාර්යවරු දෙන්නෙක් එක්ක සාමාන්‍යයෙන් එකට වැඩ කරනවා. ඒ මහාචාර්ය චරිත හේරත් හා මහාචාර්ය රංජිත් බණ්ඩාර. ඔවුනුත් ප්‍රාමාණික උගතුන් වෙන්න පුළුවන්. මා නම් ප්‍රාමාණික තබා උගතකුවත් නො වෙයි. ගණිතයේ, ප්‍රවාදාත්මක භෞතික විද්‍යාවේ දැනගත යුතු දෙයින් දාහෙන් එකක්වත් මා දන්නේ නැහැ. ඇතැමුන් මා ප්‍රාමාණික උගතකු යැයි කියන්නේ කෙසේ ද කියා මා දන්නේ නැහැ.

 

මේ මහාචාර්යවරු තම තමන්ගෙ ක්‍ෂෙත්‍රවලට එකතු කරල තියෙන අලුත් දැනුම් ගැන මට දැනුමක් නැහැ. මා ආර්ථික විද්‍යාව, සමාජ විද්‍යාව, දර්ශනය වැනි ක්‍ෂෙත්‍රවල ශාස්ත්‍රීය යැයි කියන අලුත් දැනුම් සහිත පත්‍රිකා පළවෙන සඟරා කියවන්නෙ නැහැ. මට ඒ සඳහා වෙලාවකුත් නැහැ. සාම පරෙවියන් බලන්න තියෙනවා, ලංකාවෙ මහජනයාගෙ මුදල් නාස්ති කරමින් බී එම් ඩබ් රථයෙ යන්නත් තියෙනවා. මා ගෙවල් කුලියක් ගෙවන්නෙත් නැහැ. වතුර බිලක් විදුලි බිලක් ගෙවන්නෙත් නැහැ. 

 

රංජිත් බණ්ඩාර ගැන නම් මා දැන ගත්තේ ඔහු පදනම් ආයතනයේ සභාපති වුණාට පස්සෙ. චරිත හේරත් නම් ශිෂ්‍ය කාලයෙ ඉඳල ම දන්නවා. ඔහු චම්පක සමග හිටියෙ. එහෙත් අපටත් හිතවත් කමක් දැක්වූවා. ඉන්පසු ඇතැමුනට වූ පරිදි ඔහුට පශ්චාත් නූතන රෝගය වැළඳුණා. මන්දන්නෙ නැහැ ඔහු ලකාන් කියෙව්ව ද කියා. පසුව ලකාන් අත්හැරලා රාජපක්‍ෂලා සමග එකතු වුණා. ලකාන්ට ලෝකෙ තේරෙන්නෙ නැහැ. ඔහුට හොඳ කතාවක් නැහැ.  ජගත් කලක් සුවාදීනයෙක්. ඔහු කිසි දා ජාතිකවාදියකු ලෙස නම් ඉඳලා නැහැ. එහෙත් ජාතිකවාදීන් ඇසුරු කළා. මේ තුන් දෙනාට ම අද ආණ්ඩුවේ යම් යම් තනතුරු ලැබිල තියෙනවා. මටත් ලැබිල තියෙනවා. එහෙත් ඔවුන් හා මා අතර ලොකු වෙනසක් තියෙනවා. මා බැසිල්ගේ ප්‍රතිපත්තියට විරුද්ධයි. ඒ ප්‍රතිපත්තිය ජාතිකවාදී නම් නො වෙයි. එය මගේ ම නොවන මගේ ප්‍රතිපත්තියක් කියල කියන්න පුළුවන්.

 

ජගත් වැල්ලවත්ත මහාචාර්යතුමාගේ ප්‍රකාශයක් ඊයේ ඇතැම් වෙබ් අඩවිවල පළ වී තිබුණා. එය එසේ ම පළ කරනවා. වැල්ලවත්ත දේශපාලනවිද්‍යාව ගැනත් උනන්ද්‍රයි කියල කියනවා. ඔහු හා සම්බන්ධ ප්‍රකාශය මෙසේයි.

 

"ඊලඟ ජනාධිපතිවරණයේදී ආණ්ඩුව සිංහල බෞද්ධ ජනතාවගෙන් බහුතරය බලාපොරොත්තු නොවන බවත් ඒ් නිසා සුළු ජාතික ඡන්ද පදනම අවුල් කර නොගත යුතු බවත් මහාචාර්ය ජගත් වැල්ලවත්ත මහතා පවසයි.

 

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති ධූරය හොබවන ඒ් මහතා එසේ පවසා ඇත්තේ අමාත්‍යාංශ මාධ්‍ය ලේකම්වරුන් සඳහා සංවිධානය කරන ලද වැඩමුළුවක දීය."

 

ජගත් වැල්ලවත්ත කියනවා ඊළඟ ජනාධිපතිවරණයේ දී ආණ්ඩුව සිංහල බෞද්ධ ජනතාවගෙන් බහුතරය බලාපොරොත්තු නොවන බව. මෙය එතරම් පැහැදිලි නැහැ. ඔහු කියන්නේ සිංහල බෞද්ධ ජනතාවගේ බහුතරයේ ඡන්දය බලාපොරොත්තු නොවන බව ද? එසේත් නැත්නම් ඔවුන් ලබා ගන්නා බහුතර ඡන්දය සිංහලයන්ගෙන් ලබා නොගන්නා බව ද? සුළු ජාතික ඡන්ද පදනම අවුල් කර නොගත යුතු බවත් මහාචාර්යතුමා කියනවා. මා උගතකු නොවන නිසා මට ඒ එකක්වත් තේරෙන්නේ නැහැ. දැනට පොදු ජන පෙරමුණට සුළු ජාතික ඡන්ද පදනමක් තියෙන බවත් එය අවුල් කර නොගත යුතු බවක් ඒ මහතා කියන්නේ ද? එසේත් නැත්නම් ඇති කර ගැනීමට බලාපොරොත්තුවන සුළු ජාතික ඡන්ද පදනම අවුල් කර නොගත යුතු බවක් මහාචාර්යතුමා කියන්නේ ද?            

 

ඒ කුමක් වුවත් මට කියන්න පුළුවන් දෙයක් තියෙනවා. මේ යන විධියට ගියොත් ආණ්ඩුව දුී 2015 දී පැරදුණු ආකාරයටත් වඩා අන්ත විධියට 2024 දි පරදිනවා. 2015 දීත් ආණ්ඩුව පැරදුණෙ සිංහල බෞද්ධ පදනමෙන් ඉවත් වෙලා ජාතිකවාදී නොවන ප්‍රතිපත්ති අනුගමනය කිරීම නිසා. 2010 ලැබුණු බලයෙන් ඔළුව අවුල් කර ගෙන උද්ධච්ඡව කඩා පනින ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම නිසා. දැනුත් කරන්නේ එයමයි. මා නම් උද්ධච්ඡයන් සතපහකට ගණන් ගන්නෙ නැති බව පමණක් කියන්න ඕන. උද්ධච්ඡයන්  සත පහකටවත් මායිම් නොකරන අප ඈත් නුනත් මිනිසුන් පක්‍ෂයෙන් (සාමාජිකත්වයෙන් ම නොවෙයි, හිතවත් කමින් ආදියෙන්) ඈත් වෙනවා.

 

ජනාධිපති තරඟයෙන් දිනුවෙ සිංහල බෞද්ධයන්ගෙ පමණක් නොව සිංහල කතෝලිකයන්ගෙ ද ඡන්දවලින්. කලකට පසු සිංහලයන් එකතු වුණු වෙලාවක් ලෙස ජනාධිපතිවරණය හඳුන්වන්න පුළුවන්. සිංහල කතෝලික ඡන්ද රඳවා ගන්න පුළුවන් කියල ජගත් වැල්ලවත්ත මහාචාර්යතුමා හිතනවා ද? ඉක්මණින් වැරදි නිවැරදි කර ගත්තෙ නැත්නම් සිංහල බෞද්ධයන් ද ආණ්ඩුවට ඡන්දය නොදෙන බව මට විශ්වාසයි. මට වෙලාවකට හිතෙනවා ආණ්ඩුවේ ඇතැමුන් 2010 සිට වැඩ කරල තියෙන්නෙ මහින්දට හා ගෝඨාභයට විරුද්ධ ව කියල. ආණ්ඩුව ඇතුළෙ ම ආණ්ඩු විරෝධී කණ්ඩායමක් 2010 ඉඳලා ක්‍රියාත්මක වෙනවා. 2015 -2019 කාලයෙදි ආණ්ඩුව නැති දවස්වල ඔවුන් දිනන්න වැඩ කළ බවකුත් පේන්නෙ නැහැ. ඩීල්වලින් මැතිවරණ ජනාධිපතිවරණ දිනන්න බැහැ. ඩීල් වැඩ කරන්නෙ බොහෝ විට ඒ අතර කාලවල. පක්‍ෂ ශාඛාවල ලේකම්වරුන්ගෙ නම් දුරකථන අංක දැනගත් පමණින් ඡන්ද දිනන්න බැහැ.

 

මහාචාර්යවරුන් අවුල් කර ගන්නෙ නැත්තෙ ඊනියා මුස්ලිම් ඡන්ද පදනම ද? අප මුස්ලිම් ජනයා දිනාගන්න ඕන. දෙමළ ජනයාත් දිනාගන්න ඕන. ඒ කියන්නෙ ඩීල් මගින් ඔවුන්ගේ ඊනියා නායකයන් දිනා ගැනීම නො වෙයි. දැනටමත් අප දෙමළ ජනයා සුළු ප්‍රමාණයක් හරි දිනා ගෙන තියෙනවා. යාපනයෙත් මඩකලපුවෙත්  කන්ද උඩරටත් දෙමළ ජනයා තම ඊනියා සාම්ප්‍රදායික නායකයන් අත් හැර අපට එක්වෙනවා. මුස්ලිම් ජනයා ද එසේ එකතු කර ගන්න ඕන. ඒත් ඒ ඔවුන්ගේ ඊනියා නායකයන් සමග ඩීල් දේශපාලනයේ යෙදීමෙන් නොවෙයි. එසේ ඩීල් දේශපාලනයේ යෙදීමෙන් සිදුවන්නේ සිංහල, විශේෂයෙන් ම සිංහල බෞද්ධ ඡන්ද පදනම නැති කර ගන්න එකයි. 2024 දි හා 2025 දි පරදින එකයි. මහාචාර්යතුමන්ලා ට ආපසු විශ්වවිද්‍යාලයට යන්න වේවි. ගිහින් පීඨ මණ්ඩල සනාතන සභා රැස්වීම්වල නිර්දේශපාලනය කරන්න වේවි.