Main Logo

Monday 5 October 2020

වමාලා ගැන කතාවක්

වමාලා ගැන කතාවක්



ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ නිවේදනයක් නිකුත් කරල තිබුණ තමා බද්‍යුද්දීන් සමග ඩීල් දේශපාලනයක නොයෙදෙන බව කියා. එය ඉතා වැදගත්. ඒ ගැන අප එතුමාට කෘතඥ වනවා පමණක් නොවෙයි. ඒ නිවේදනයෙන් කියැවෙන්න මුසාවක් නොවන බවත් අප දන්නවා.

ඊයේ මගේ ලිපියේ සඳහන් වුණේ වෙනත් කාරණයක්. වෙනත් අය ගැන. ඒ පිළිබඳ විවිධ පුද්ගලයන් විවිධ මත පළ කරල තිබුණ. මගේ බය ගැන, මා තානාපති වැඩේ හරියට නොකිරීම ගැන, මා ජනතා මුදල් කාබාසීනියා කිරීම ආදිය ගැන ඇතැමුන් කතා කර තිබුණා. ඒ ලිපිය කියවූ බොහෝ අය දන්නවා මා නමක් ගමක් සඳහන් නොකළේ නීති ප්‍රශ්න උඩ. මා තානාපති වැඩේ හරියට කරනවා ද නැද්ද කියා මෙරට විදේශ අමාත්‍යංශයෙන් දැන ගන්න පුළුවන්. මා අර පණුවන් කන සාම පරෙවියන් ගැන නම් උනන්දු වෙනවා. වැඩියෙන් ම උකුස්සන් විසින් රැකෙන ලංකාවේ සාම පරෙවියන් ගැන. ඔවුන් මූලික වශයෙන් සිංහල බෞද්ධ විරෝධීන්.

මේ ආණ්ඩුව සිංහල බෞද්ධ විරෝධී නොවෙයි. ආණ්ඩුවේ අද ඉන්නා මාක්ස්වාදී තිස්ස විතාරණවත් සිංහල බෞද්ධ විරෝධී නො වෙයි. මාක්ස්වාදය නොව බටහිර විද්‍යාව හිස් මුදුණින් ගත් සිංහල බෞද්ධයන් ඉන්නවා. ඔවුන් සිංහල බෞද්ධ විරෝධීන් වන්නේ නැහැ. සමහරු සිංහල බෞද්ධයන් ලෙස ජීවත් වෙනවා. මගේ සිංහල බෞද්ධකම හා සිංහල බෞද්ධයන් අතිවිශාල බහුතරයකගේ සිංහල බෞද්ධකම් අතර වෙනස්කම් තියෙනවා. ඒ වෙනස්කම් නිසා ලංඩනයේ වෙබ් අඩවියක් සංස්කරණය කරන සිංහල බෞද්ධ ජාතිකවාදියකු මා එම වෙබ් අඩවියෙන් ඉවත් කර තිබෙනවා. පට්ටපල් බොරු ගැන මා කියන දේ සිංහල බෞද්ධයන් අති විශාල පිරිසක් විශ්වාස කරන්නේ නැහැ. මා අවිජ්ජා පච්චයා සංඛාරා තේරුම් ගන්න විධියට ඔවුන් ඒ තේරුම් ගන්නේ නැහැ. මා වෙනුවෙන් මා නැහැ.

අද ඉන්නා වමාලා මෙන් නොව වමක් තිබුණු කල සිටි වමාලා සිංහල බෞද්ධ විරෝධීන් වුණේ නැහැ. අද වමාලාට ඇත්තේ සිංහල බෞද්ධ විරෝධයක් පමණයි. ඔවුන් වෙන කිසි දේකට විරුද්ධ නැහැ. ඔවුන් ඇති වූයේ කෙසේ ද යන්න වෙන ම විග්‍රහ කරන්න ඕන. පැරණි වමාලා ඇති වුණේ යම් සමාජ අසාධාරණයකට විරුද්ධ ව. ඔවුන් කිසි දිනෙක සිංහල බෞද්ධ විරෝධීන් වුණේ නැහැ. බොහෝ දෙනා ගුරුත්වාකර්ෂණය පිළිගන්නා ආකාරයට ඔවුන් කම්කරු පංති විප්ලවය ද පිළිගත්තා. ඒ ගැන එතරම් විචාරාත්මක ව හිතුවෙ නැහැ. ගුරුත්වාකර්ෂණය කියල එකක් විතරක් නොවෙයි මා කියල කෙනකුත් ඉන්නවා කියල හිතන සිංහල බෞද්ධයන් කී දෙනෙක් ඉන්නවා ද? 

මට මේ කරුණු මතක් වෙන්නෙ මා මිත්‍ර ලාල් විජේනායක බැටී වීරකෝන් ගැන දි අයිලන්ඩ් පත්තරේට ලියා ඇති ලිපියක් නිසා. ඒ බැටී වීරකෝන්ගේ අභාවයට වසරක් පිරීම නිමිත්තෙන්. ඒ ලිපියේ ලාල් කියනවා බැටී හොඳ බෞද්ධයෙක් කියල. ඒ විතරක් නොවෙයි ලාල් බැටීට නිවන් සුව පතනවා. ලාල්ටත් සංස්කෘතික උරුමයක් තියෙනවා. ලාල් වැන්නන් යම් ප්‍රවාද සංකල්ප උඩ දෙමළ ජාතිවාදයට පක්‍ෂ වෙනවා. ඔවුන් ඒ දෙමළ ජාතිවාදයක් ලෙස දකින්නෙ නැහැ. මාත් මගේ සංක්‍රමණ අවධියේත් ඊළමට පක්‍ෂව ලියල තියෙනවා. ඒ දේශපාලන දර්ශනයක් මත පිහිටලා. අල්තූසර් මොකක් කිවුවත් අප සියළු දෙනා ම දෘෂ්ඨිවාදීන්. බටහිර විද්‍යාවත් දෘෂ්ථිවාදයක්. වාස්තවිකත්වයක් ගැන කීමත් දෘෂ්ඨිවාදයක්. දර්ශනය කියන එකේ සිංහල තේරුම ම දෘෂ්ඨිය කියන එක. දෘෂ්ඨියකින් වියෝ වූ දැනුමක් නැහැ. දෘෂ්ඨි නැති කළාම නිවන සම්මාබෝධ වෙනවා. ඒ සඳහාත් දෘෂ්ඨීියක් තියෙනවා. ඒක නිවැරදි දෘෂ්ඨියක් කියල කියන්නෙ නැහැ. ඒකට සම්‍යක් දෘෂ්ඨිය කියල කියනවා. නිවන සම්මාබෝධයේ දී ඒ දෘෂ්ඨියත් විසි කරල දානවා. අපි සිංහල බෞද්ධ සංස්කෘතියෙ සම්‍යක්ප්‍රයෝග ගැනත් කියනවා. ඒ නිවන සඳහා ම නූණත් ඒක අර සම්‍යක් කතාවෙන් බිඳුණු එකක් වෙන්න ඕන.





මා ගණිතය හැදෑරීමට දෙවැනි වසරෙදි කොළඹ විශ්වවිද්‍යාලයට එන විටත් සමසමාජ තරුණ සමිති සාමාජිකයෙක්. අපි බෞද්ධ සංගමයෙත් වැඩ කළා. රංජිත් කබ්රාල් තමයි බෞද්ධ සංගමයෙ ප්‍රධානියා. මා බෞද්ධ ශිෂ්‍ය සමිති සම්මේලනයෙ කටයුතුවලටත් සහභාගි වුණා. එහි පුවත්පතෙත් කටයුතු කළා. රචනා තරඟයකටත් සහභාගි වුණා. ඒ අතර බුද්ධදාස ප්‍රේමරත්න වැනි සමසමාජ මිතුරන් සමග පක්‍ෂ කාර්යාලයෙ පැවති පංතිවලටත් සහභාගි වුණා. බැටී වීරකෝන් තමයි අපට ඉගැන්නුවෙ. ඒ කාලෙ සමසමාජ පක්‍ෂ කාර්යාලෙ තිබුණෙ ජයන්ත වීරසේකර මාවතේ මරදාන දුම්රියපොළ අසළ. සමසමාජ පක්‍ෂයට ඒ වසරෙම මා බන්ද ගනු ලැබුවා. සමසමාජය හා බෞද්ධකම අතර ගැටුමක් තිබුණෙ නැහැ. සමහර විට පඬියකුට කියන්න පුළුවන් ඒ නිසා තමයි සමසමාජය අසාර්ථක වුණෙ කියල. එතකොට මට අහන්න තියෙන්නෙ කාලොගෙ ප්‍රශ්නය. පඬියන් සාර්ථක වෙලා නැත්තෙ මොක ද?

කොල්වින් ආර් ද සිල්වා රුවන්වැලි සෑය ගඩොල් ගොඩක් පමණක් ය යනුවෙන් කියා ඇතැයි මා විශ්වාස කරන්නෙ නැහැ. ඔහු බෞද්ධයෙක්. අභාවප්‍රාප්ත විජය වික්‍රමරත්න (පොල් වික්කා) මා සමග කියා ඇති දේකට අනුව ඔහු කොල්වින් සමග ගාල්ලට හරි මාතරට හරි යන විට කොල්වින් කළුතර බෝධීය ළඟ බැහැල වැඳලා ගිය බව. සමහර විට වික්කා ලාල් සමගත් ඒ කතාව කියල ඇති. ලාල් පේරාදෙණියෙ මට වඩා අවුරුදු දෙකක් පමණ ජ්‍යෙෂ්ඨයි. වික්ක මා හිතන්නෙ අවුරුදු හතරක් පහක් පමණ ජ්‍යෙෂ්ඨයි. 

ලාල් බැටී ලියපු පොතක් ගැනත් සඳහන් කරනවා. ඔහුගෙ එක පොතක නම ශ්‍රී ලංකා මිථ්‍යාවේදය (Sri Lanka Mythology) බැටීගේ සීය මාතලේ අළුවිහාරෙ පැත්තෙ. බැටී ඉපදිල තියෙන්නෙ මාතලේ තැන්නෙ. පොතේ සීයගෙන් ලබාගත් කතා තියෙනවා. මිථ්‍යාවේදය කියන නමට මා එකඟ වෙන්නෙ නැහැ. මා ඒ පොත කියවල නැහැ. එහෙත් ඒ පොත බර්නාඩ් සොයිසට පෙන්නපු වෙලාවෙ ඔහු කියල බැටී යක්‍ෂයන් ගැන ලියල කියල. මෙහි දී බැටී හොඳ කතාවක් කියනවා. මා හිතන්නෙ මෙතෙක් හරි එතෙක් හරි කිසිවකු එවැන්නක් කියල නැහැ කියන එකයි. ඔහු සඳහන් කරනව වෛදිකයන් භාරතයේ දී කළාක් මෙන් ථෙරවාදීන් (යක්‍ෂ) මිථ්‍යාවන් අන්තර්ග්‍රහණය කරල නැහැ කියල. ඒ නිසා එකී මිථ්‍යා අපේ භාෂාවෙ සංස්කෘතියෙ වෙන ම ඉතිරිවෙලා තියෙනවා. ඒ නිසා අපට ඒ මිථ්‍යා හඳුනාගන්න පුළුවන් කියල.

මෙය වැදගත් නිරීක්‍ෂණයක්. එහෙත් එය සම්පූර්ණ නැහැ කියන එකයි මගේ විශ්වාසය. පස්වැනි සියවසේ පමණ ථෙරවාදය යක්‍ෂ කතා අන්තර්ග්‍රහණය කර ගත්තෙ නැතිව විතරක් නොවෙයි එය සම්පූර්ණයෙන් ම වගේ ඉතිහාසයෙන් ඉවත් කරන්න කටයුතු කළා. ඒත් ඒ යක්‍ෂ සංස්කෘතිය අපේ භාෂාවෙත් සංස්කෘතියෙත් ඉතිරි වෙලා තියෙනවා. එපමණක් නොවෙයි මිහිඳු හිමියන් යම් දුරකට යක්‍ෂ සංස්කෘතිය අවශෝෂණය කර ගත් බව පැහැදිලියි. අපේ බෝධි වන්දනාව යක්‍ෂ සංස්කෘතිය සිංහල බුද්ධාගමට අවශෝෂණය කිරීම සඳහා සංඝමිත්තා තෙරණින් වහන්සේ මැදිහත් කර ගැනීමෙන් කළ දෙයක්. මියන්මාරයේ බෝධි වන්දනාවක් නැහැ. පඬියන්ට අනුව ඒ බව නිරීක්‍ෂණය කිරීම තානාපති රාජකාරියට සම්බන්ධ වැඩක් නොවන්න පුළුවන්.

බැටී වැනි පරණ වමාලට තිබුණු සංස්කෘතික බැම්ම අලුත් වමාලට නැහැ. වම අසාර්ථක වුණෙ මාක්ස්ගෙ වැරැද්දකින් මිස අනෙක් අයගෙ වැරදිවලින් නොවෙයි. මාක්ස්වාදය උපතින් ම අසාර්ථකභාවය අරගෙන ආපු එකක්. වමක් නැති වමාලා නම් අසාර්ථක වන්නෙ ඔවුන් සිංහල බෞද්ධ විරෝධී පඬි නැට්ටන් නිසා. ඔවුන්ට මාක්ස්වාදයකුත් නැහැ. සකර්බර්ග් ඉන්නවා තමන්ටත් නොතේරෙන වචන ටිකක් තියෙනවා.