Main Logo

Friday 2 October 2020

පොපර් මාක්ස්වාදය දැක්ක හැටි

 පොපර් මාක්ස්වාදය දැක්ක හැටි   


වමාලා මගේ දැනුම ගැන මට කරන්න පුළුවන් දේ ගැන කරදර වෙනවා. මා කියල තියෙනව මම විද්‍යාඥයකු වෙන්න ගිහින් බැරුව ආපු අයෙකු කියල. ඒ වගේම මා උගතකුවත් බුද්ධිමතකුවත් වියතකුවත් නො වෙයි කියල. මා විශ්වවිද්‍යාලයක ආචාර්ය කමකට  සුදුසු නැති නිසා වෙන්න ඕන දෙවැනි වර මා පේරාදෙණියට නොගත්තෙ. ජේ ආර් ජයවර්ධනට පින් සිද්ද වෙන්න පසුව කොළඹ විශ්වවිද්‍යාලෙ රස්සාවක් හම්බ වුණා. පසුව ජී එල්, ලක්‍ෂමන්, ඈපාසිංහ, සමරනායක දැන ගත්තා මා සුදුසු නැහැ කියල. ඊට පස්සෙ නඩු කීයල නීතිය ආධාර කරගෙන කැලණියේ රස්සාවක් ගත්තා. ඒකෙන් අස් කරන්න ඔන්න මෙන්න තියෙද්දි විශ්‍රාම ගියා. මට වෙන රස්සාවක් කරන්නත් බැහැ. ඒ නිසා රස්සාවක් නැතිව ගෙදර ඉන්න එක ඇරෙන්න මට කරන්න දෙයක් තිබුණෙත් නැහැ.

වතාවක් අර කාටත් කරන්න පුළුවන් කියන මන්ත්‍රී තනතුරක් සඳහා තරග කළා. කළුතර ඡන්දදායකයන් මගේ නොහැකියාව දැන ගෙන ඇපත් නැතිවෙන්න මා පරාජය කළා. විශ්‍රාම අරගෙන ඉන්න කොට ජනාධිපති ගෝඨාභය මගෙන් ඇහුව තානාපතිකමක් කරන්න පුළුවන් ද කියල. මට තානාපති කමක් කරන්න සුදසුකම් හරි හැකියාව හරි නැති වෙන්න පුළුවන්. ඒත් මා කිවුව මියන්මාරය හරි තායිලන්තය හරි දෙනව නම් යන්නම් කියල. දැන් මා මියන්මාරයෙ සාම පරෙයියන් බල බල ඉන්නවා. මියන්මාරයෙ ලංකා තානාපති කාර්යාලය ඇති කරල දැන් අවුරුදු හැත්තෑ දෙකක් පමණ වෙනවා. කලින් හිටපු තානාපතිවරුන් පරෙයියන් බැලුව ද කියල මා දන්නෙ නැහැ. 

පරෙයියන් පණුවන් කන්නෙ නැහැ කියල පඬියන් පඬි පෝතකයන් පඬි නැට්ටන් කියනවා. මා හිතුව පුරුදු පරිදි මා වැරදි වන්න ඇති කියල. මගේ දැනුම දුර්වලයි. මගේ මතකය ඉතා දුර්වලයි. කොයි එකටත් මා අන්තර්ජාලයෙ පොඩ්ඩක් හෙවුව. මෙහෙම කතාවක් තිබුණ. අන්තර් ජාලයෙ මේ සටහන වැරදි වෙන්න පුළුවන්. පඬි නැට්ටන්ට වරදින්න විධියක් නැහැ.

"In addition to fruit and seeds, a number of other food items are taken by many species. Some, particularly the ground doves and quail-doves, eat a large number of prey items such as insects and worms. One species, the atoll fruit dove, is specialised in taking insect and reptile prey. Snails, moths, and other insects are taken by white-crowned pigeons, orange fruit doves, and ruddy ground doves. "

සාම පරෙවියන් ඇති කෙරෙන්නෙ බටහිර උකුස්සන් විසින්. මාක්ස්වාදී පඬි නැට්ටන්ට උකුස්සන් ගැනත් කතන්දර තියෙනවා. නැහැ පොළොන්නරුවෙ උකුස්සන් ගැන නො වෙයි. පඬි නැට්ටන්ට අනුව බර්ලින් තාප්පය කඩන් වැටුනට පස්සෙ තමයි උකුස්සන් මුස්ලිම් අන්තවාදය ඇති කරලා තියෙන්නෙ. ජාතිවාදය නිර්මාණය කරල මුස්ලිමුන්ට ගහන්න. ලංකාවෙ දෙමළ ජනකොටස්වලට ගහන්න ජාතිවාදය ඇති කෙළෙ බර්ලින් තාප්පය හෙළවෙන්න පටන් ගත්තම ද? තාප්පෙත් නිකම් දත වගේ වෙන්න ඇති. 

මුස්ලිම් අන්තවාදය ඇති කෙළෙ උකුස්සන් තමයි. ඒත් බරලින් තාප්පෙ හදන්නත් ඉස්සර. මුස්ලිමුන් අතර වහාබ්වාදයක් තිබුණ. ඉංගිරීිසි උකුස්සන් තමයි ඔටොමාන් අධිරාජ්‍යයට විරුද්ධව සටන් කරන්න වහාබ්වාදය යොදා ගත්තෙ. සෞදි අරාබිය ඇති කෙළෙත් උකුස්සන් ම තමයි. ඒකෙදි ලංකාවෙ උපන් ෆිල්බිගෙ දායකත්වය ගැන මා කියල ඇති. ඔය ජාතිවාදී කියන ධර්මපාලතුමා බිහි වුණෙ කොහොම ද? ඒ කාලෙ තිබුණෙ මොන තාප්පෙ ද? ඒ කාලෙ සෝවියට් දේශයක් තිබුණෙවත් නැහැ. 

මාක්ස්වාදී පඬි නැට්ටන්ට සංගත කතාවක් හදාගන්න බැහැ. කාල් මාක්ස්ට බැරි වෙච්ච එකේ අරික්කාල් මාක්ස්ල මොනව කරන්න ද? කාල් පොපර් තමයි කිවුවෙ මාක්ස්වාදයත් මනෝ විශ්ලේෂණයත් විද්‍යා නො වෙයි කියල. සමාජ විද්‍යාව ගැන මොකුත් කියල තියෙනවා ද කියන එක ගැන මට නිච්චියක් නැහැ. පොපර් කිව්ව තව දෙයක්. මාක්ස්වාදයයි ජ්‍යෙතිෂයයි දෙක ම එක වගේ කියල. ඒවා අසත්‍යකරණයට ලක්කරන්න බැහැ කියල.  පඬි නැට්ටන් අගය කරන රිචඩ් ඩෝකින්ස්, ස්ටීවන් ජේ ගුල්ඩ් වැනි අයගේත් ගෞරවයට පාත්‍ර වුණු නොබෙල් ත්‍යාගලාභී පීටර් මෙඩෝවර් වැනි ඇතැම් බටහිර වි්‍යාඥයන්ට අනුව කාල් පොපර් විද්‍යාවේ් දර්ශනය ගැන කියන්න ඕන දේ කියල ඉවරයි. 



පොපර් තරමක් හිතට ගත්ත අයෙක්. දවසක් එක් ජනමාධ්‍යවේදියකුට ඕන වෙලා තියෙනවා පොපර් සමග සාකච්ඡාවක් කරන්න. ඔහු දුරථනයෙන් පොපර්ගෙන් අහල ලිපිනය හා එන විධිය. පොපර් කියල කුලී රියකට නැගල කාල් පොපර්ගෙ ගෙදරට කිවුවම රියැදුරා නියම තැනට ගෙන ඒවි කියල. ජනමාධ්‍යවේදියා කුලී රියකට නැගල කාල් පොපර්ගෙ ගෙදරට කියල. රියැදුරා අහල ඒ කවුද කියල. ජනමාධ්‍යවේදියා ලිපිනයත් හොයා ගෙන ගිහින් තිබුණෙ.

මට ඒ සමග මතක් වෙනවා ප්‍රසිද්ධ හාමුදුරු නමක් ඩෝල්ටන් අල්විස් ගැන කියපු දෙයක්. ඩෝල්ටන් අල්විස් රෑ වෙලා සුරාමතින් කුලී රියකට නැගල රියැදුරාට කියනවලු ඩෝල්ටන් අල්විස්ගෙ ගෙදරට කියල. රීයැදුරා නියම තැනට යනවලු. කාල් පොපර් එහෙමයි, ඩෝල්ටන් අල්විස් මෙහෙමයි. 

පොපර් කියල තියෙන්නෙ ජ්‍යෙතිෂයෙ වගේ ම මාක්ස්වාදියොත් තමන්ගෙ අනාවැකියක් වැරදුණොත් ඒකට මොකක් හරි හේතුවක් කියන නිසා ඔවුන්ගෙ කතන්දර අසත්‍යකරණයට ලක් කරන්න බැහැ කියල. බර්ලින් තාප්පෙ කැඩෙන්න ඉස්සර එකක් කැඩුණට පස්සෙ තව එකක්. වමාලාට දැන් විකල්පයක් නැති වුණත් ජාතිවාද ගැන පල්හෑලි කිය කිය ඉන්නවා. ඒ පල්හෑල්ල මාක්ස්වාදියකුගෙන් ම වෙන්න ඕනෙත් නැහැ. ගණනාථගෙන් වුණත් කමක් නැහැ. ගණනාථ මාක්ස්වාදියකු වෙන්නත් බැරි නැහැ. 

පොපර්ගෙ අසත්‍යකරණ කතන්දරේ අසත්‍යකරණයට ලක්කරන්න පුළුවන් ද කියල කවුරුන්වත් ඇහුවත් නැතත් අසත්‍යකරණය ගැන ප්‍රශ්න තියෙනවා. අසත්‍යකරණය වන්නෙ කතන්දරේ කොයි හරියෙ ද වගේ ප්‍රශ්න. ඒ කොහොම වුණත් මාක්ස්වාදයෙ අනාවැකි නම් සම්මජාතියෙ ඉටු වෙන්නෙ නැහැ. ජ්‍යොතිෂය එහෙම පද්ධතියක් නො වෙයි. එහි කියන්නෙ පුද්ගලයන් ගැන මිසක් සමාජයක් ගැන නොවෙයි. අනෙක් කරුණු බලපාන්නෙ නැත්නම් (දේශපාලනය, කාල ගුණය ආදිය) මෙන්න මේ දේ වෙන්න පුළුවන් කියනවා. 

මාක්ස්වාදයෙ සියලු සමාජ එක පොදියට ගෙන සාධාරණය කරල සමාජ විකාශය ගැන කතන්දර කියනවා. හැම සමාජයක් ම එක විධියට විකාශය වෙන්න ඕන නැහැ. සමාජ කියන්නෙ ඉලෙක්ට්‍රෝන වගේ සිත් පිත් නැති දේ නොවෙයි. දැන් අහන්න එපා සමාජයෙ හිත මොකක් ද කියල. සමාජ විකාශය වන එක ඇත්ත. ඒත් එක ම විධියට නොවෙයි. මාක්ස් කියන විධියට විප්ලව වෙන්නෙත් නැහැ. මාක්ස් ප්‍රංශ විප්ලවය වගේ නිරීක්‍ෂණ එකකින් දෙකකින් සාධාරණ නිගමනවලට ආපු, විද්‍යාව අනුගමනය කරනවා කියපු අයෙක්. එංගලන්තෙ ධනපති විප්ලවය සාර්ථක ද? ඔය එලිසබෙත් නෝනා තාම ඉන්නෙ. සාමි මන්ත්‍රී මණ්ඩලයත් තියෙනවා. මාක්ස්වාදය කියන්නෙ ධනවාදයෙ නිර්මාණයක් ද? කතන්දරයක් හදමු ද? එංගල්ස් මාක්ස්ගෙ පවුල නඩත්තු කෙළෙ ධනවාදය වෙනුවෙන් ද? එංගල්ස් ධනපතියෙක් ද? මාක්ස්වාදයෙන් අන්තිමට වෙලා තියෙන්නෙ ධනවාදය තහවුරු වීම ද? ජ වි පෙ ලංකාවෙ කරල තියෙන්නෙ මොකක් ද? අනුර රනිල්දාස අද ඉන්න තැන ගැන පුදුම වෙන්න ඕන ද? මා ප්‍රශ්න අහනවා විතරයි. 

නූතන ජ්‍යෙතිෂවේදීන් තමන්ගෙ ශාස්ත්‍රය විද්‍යාත්මකයි කිවුවට එහි ආදිකතෘවරුන්ට විද්‍යාඥයන් වෙන්න ඕන වුණෙ නැහැ. බුදුදහමත් විද්‍යාත්මක තාර්කික පද්ධතියක් කරන්න හදන එකේ ජ්‍යෙතිෂය විද්‍යාත්මක කරන්න හදන එක මොකක් ද? කවුරු හරි පොපර්වාදියකු විද්‍යාත්මක බෞද්ධයකුගෙන් ඇහුවොත් බුදුදහම අසත්‍යකරණයට ලක් කරන්න පුළුවන් ද කියල මොකද කියන්නෙ. නාරද හාමුුරුවන්ගෙ හරි වල්පොල රාහුල හාමුදුරුවන්ගෙ හරි පොත් කියවන්න කියල හරියන්නෙ නැහැ. මා කියන්නෙ පොපර් හරි කියන එක නොවන බව අවධාරණය කරන්න ඕන. 

ඒත් මා නූගතෙක්. විද්‍යාඥයකු වෙන්න ගිහින බැරුව  ආ අයෙක්. බැරි තානාපති කමක් කරන්න ගිහින් මහජන මුදල් කාබාසීනියා කරමින් පරෙයියන් බලන්නෙක්.  මෙවැනි ලිපි ලියන්නෙක්.