Main Logo

Tuesday 13 October 2020

අනාථ නාථ

 

අනාථ නාථ


මුළු ලෝකය ම අනාථ වෙලා. මා අර්බුද කියන වචනය යෙදා ගන්නෙ නැහැ. කොවිඩ් 19ට පුළුවන් වෙලා ටික ටික අනාථ වෙමින් තිබුණු ලෝකය අනාථ කරන්න. ලෝකය කියන එකෙන් අදහස් වන්නෙ වත්මන් ලෝකය. ඒ කියන්නෙ පහළොස්වැනි සියවසෙන් පස්සෙ ඇති වුණු ලෝකය. ඒක එක දවසකින් ඇති වුණ එකක් නොවෙයි. වසර තුන්සීයකට වැඩි කාලයක් තිස්සෙ විකාශය වෙච්ච ලෝකයක්. මේ අනාථ වෙලා තියෙන්නෙ ඉතාලියෙ පහළොස්වැනි සියවසේ කතෝලික චින්තනයට එරෙහි ව ඇති වුණු ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය. 


මේ අර මාක්ස් කියපු අර්බුදය නම් නොවෙයි. ඒක නියතිවාදයක් ලෙස තමයි ප්‍රකාශ වුණෙ. නියතිවාදය කියන්නෙ බටහිර දර්ශනයෙ කියැවෙන දෙයක්. මා බටහිර දර්ශනය ඉගෙන ගෙන නැහැ. ඒත් මා දන්නවා අහවල් දාර්ශනිකයා නියත වශයෙන් ම මරණයට පත්වෙනවා කියන එක නම් නියතිවාදයෙ කතාවක් නොවන බව. මාක්ස් මාස්ක් දාගෙන කිවුවත් නැතත් සියළු මාක්ස්වාදීන් අනිත්‍ය කියන එකත් නියතිවාදයට අයත් නැහැ. නිරීක්‍ෂණ ප්‍රවාද පුරෝකථන කියන්නෙ එක ම දේට නොවෙයි. බටහිර දර්ශනයෙ ඒක කියල දෙන්නෙ නැද්ද? 


ධනවාදය, බටහිර විද්‍යාව, මාක්ස්වාදය ආදිය ඇති වුණෙ අර ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙ. මගේ ලෝකය ලියපු කාලෙ මා එයට කිවුවෙ යුදෙවු චින්තනය කියල. පස්සෙ තමයි ඇරිස්ටෝටල් වැනි ග්‍රීකයන් මාටින් ලූතර් වැනි ක්‍රිස්තියානින් ඒ චින්තනය සඳහා කර ඇති එකතු කිරීම් තේරුම් ගියේ. ඇරිස්ටොටල් ලෝකෙට කරල තියෙන විනාශය අති මහත්.  1521 ඩයට් ඔෆ් වර්ම්ස් මගින් තමයි ලූතර්ට තම ප්‍රතිසංස්කරණවාද අත්හරින්න කිවුවෙ. ඩයට් ඔෆ් වර්ම්ස් කියන්නෙ පණු කෑමක් නො වෙයි. එය එකල ජර්මනියෙ වර්ම්ස් රාජකීය රැස්වීමකට කියපු නම. අපොයි මා දර්ශනය වගේ ම ජර්මන් දන්නෙත් නැහැ. ඉංගිරිසි දන්නෙත් නැහැ. ඔය ඩයට් කියන එක ජර්මන් භාෂාවෙ උච්චාරණය වන්නෙ කොහොමද කියාත් මා දන්නෙ නැහැ. මා දන්න සිංහලෙන් ඉංගිරිසි අකුරු (ඒව ඉංගිරිසි කිවුවට ඉංගිරිසි නොවෙයි. රෝම නැත්නම් ලතින්) ටික ගැට ගහල තමයි ඒක කිවුවෙ. මට පණු කෑම මතක් වුණෙ පණුවන් කන සාම පරෙවියන් නිසා. 


ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙ තමයි ප්‍රංශ විප්ලවය ඇති වුණෙත්. ඒ චින්තනයෙ තියෙන වෙන් කිරීම (සමාජ දුරස්ථභාවය නො වෙයි), පෞද්ගලිකත්වය, රජයට විරුද්ධ ව පෞද්ගලික නිදහස ආදී සංකල්ප අද වර්ධනය වෙලා. එංගලන්තය යුරෝපා සංගමයෙන් වෙන්වන්නෙත් ට්‍රම්ප් බටහිර කුට්ටියෙන් වෙන් වෙලා වෙන ම විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නෙත් මුව ආවරණ නොපලදින්නේත් ඇතැම් බටහිරයන් පෞද්ගලික නිදහස වෙනුවෙන් ට්‍රම්ප් අනුගමනය කරමින් හරි නැතිව හරි මාස්ක් නොපලඳින්නෙත් මාක්ස් එක්ක තියෙන විරෝධය නිසා ම නො වෙයි. ඔවුන්ට වෙන් වීම පෞද්ගලිකත්වය වැදගත්. ඊනියා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂ තවමත් තනි යායක ලෝකයක් ගැන හිතනවා. ඇතැම් රටවල් යුරෝපා සංගමයට එකතු වෙලා ඉන්නෙ ඒ නිසාමත් නොවෙයි. වෙළෙඳ ගණුදෙනු නිසා.


ඇතැමුන් ලංකාවෙ වම නැතිවීම ගැන කතා කරනවා. ඔවුන්ට මතක් වෙන්නෙ නැහැ මුළු ලෝකයේමත් වම නැති වෙලා කියල. දැන් ඉන්නෙ වමාරන වමාලා පමණයි. ලෝකයේ ම වම නැති වුණෙ ජ වි පෙරමුණේ වරදක් නිසා නො වෙයි. මාක්ස්ගෙ ම වරද නිසා. මාක්ස්ගෙ ප්‍රවාදයෙ ම වරද නිසා. අද කිසිම රටක සමාජවාදයක් තියා සමාජවාදයක පුළුටක්වත් නැහැ. මාක්ස් සාමූහිකත්වය ගැන කතා කෙරුවෙ පෞද්ගලිකත්වය ඉහ වහා ගිය සමාජයක සිදු වූ වර්ධන තවත් වර්ධනය කරන්න. ඔහු ප්‍රංශ විප්ලවය නිරීක්‍ෂණය කරල ඒ තනි සිද්ධියෙන් මුළු ලෝකෙට ම හැම කාලෙකට ම සමාජ විකාශය (හා විප්ලව) ගැන ප්‍රවාදයක් හැදුව. ඒක වැඩ නොකරන හිතළුවක් වුණා. ඒකට අනුර කුමාරට පමණක් බැණල වැඩක් නැහැ. මාක්ස් ගිය පාරෙ ගියා ම ධනවාදය සමග එකතු වෙනවා හැරෙන්න වෙන කරන්න පුළුවන් දෙයක් නැහැ. ඒ පාරෙ යන අයට සමාජ ක්‍රමය නම් වෙනස් කරන්න බැහැ.  ඒක පුටින්, ජින් පින්, වික්‍රමබාහු, අනුර මේ සියල්ලන් ම පෙන්නල දීල තියෙනවා. අද වමාලා හැටියට ඉන්න දෙඩුම් ශිල්පීන් (ඔවුන් දන්නෙ කියවන්න පමණයි. ඔවුන් බටහිර සංකල්ප සිංහලට පරිවර්තනය කරල සිනමාවත් කියවනවා. වමාලට බැරි ද වමාලා කියවන්න) කරන්නෙත් ඒකමයි. අපි යන්නේ කොයි පාරෙ අනුර කුමාර යන පාරෙ අනුර යන්නෙ මොන පාරේ සජිතාණන් යන පාරෙ. 


ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය අනාථ වෙලා. ඇංග්ලො සැක්සන් ලෝකයේ (ඉංගිරිසි කතා කරන එංගලන්ත සම්භවයක් ඇති රටවල) තමයි එය වැඩියෙන් ම පේන්න තියෙන්නෙ. අපිත් නමට ඒ ලෝකයෙ. අපි කතා කරන්නෙ ඔක්ස්බ්‍රිජ් උච්චාරණයෙන් කියල හිතනවා. අනෙ මගේ කට කියන්න හිතෙන්නෙ ඒ වෙලාවට. 


ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය විසින් කෙරුණු නරක ම දේ තමයි අනෙක් චින්තන නැති කිරීමට කටයුතු කිරීම. ඔවුන් ඊනියා විවිධත්වයක් ගැන කතා කළත් එය කතාවට පමණක් සීමා වුණා. අනෙක් චින්තන නැති කිරීම කෙරුණෙ ඔවුන්ගෙ අධ්‍යාපනය මගින්. පාසල් හා විශ්වවිද්‍යාල මගින්. ඊනියා පර්යේෂණ ආයතන මගීින්. වෘත්තීන් මගින්. පෙරදිගට පැමිණි බටහිරයන් අපේ සංස්කෘති හැදෑරුවෙ අපට ඇති ආදරේකට නො වෙයි කියන එක දැන් වැටහෙනවා. අපේ රටෙත් සමහරු බුදුදහම හැදෑරුවෙ බුදුදහම ඉගෙන ගන්න නොවන බව අප දැන සිටියා.


මා කලිනුත් පෙන්නා දී තියෙනවා අනෙක් චින්තන (සංස්කෘතීන්) නැති කිරීමේ භයානක කම. මා කියා සිටියේ ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයට (හා සංස්කෘතියට) ප්‍රශ්නවලට පිළිතුරු නැති වුවහොත්, අනෙක් චින්තන නැති කිරීමෙන් ඒ චින්තනවලින්වත් විසඳුමක් සකසා ගන්න බැරි වෙන තත්වයකට පත් වෙනවා කියල. අද අප ඒ තත්වයට සේන්දු වේගෙන යනවා. අප අනාථ වෙලා. අර ඇතැම් ත්‍රිරෝද රථවල ලියල තියෙනව වගේ අපි අසරණ වෙලා බුදුහාමුදුරුවනේ. ඒත් අපි බිංදුවට ම ගිහින් නැහැ. 


අපට පොඩි වාසනාවක් තිබුණා. අපේ රටෙන් සිංහල බෞද්ධ සංස්කෘතිය නැති කරන්න එහි හර පද්ධතිය නැති කරන්න ඉදිරිපත් කෙරුණෙ අන්තිම අදක්‍ෂයන් පිරිසක්. මංගල හා වමාලා සලකන්න. ඔවුන් හා දහසය වැනි සියවසේ මාටින් ලූතරලා අතර වෙනස්කම් රාශියක් තියෙනවා.  පළමුවෙන් ම බුද්ධිය සම්බන්ධයෙන්. සියළු සංස්කාරයන් අනිත්‍යය කියන එක නියතිවාදයක් කියන ලූතර්ලා තමයි අපේ වාසනාවට අපට ඉන්නෙ. දෙවනුව ලූතර්ලා බිහිවුණෙ පහළොස්වැනි සියවස වන තෙක් පැවති යුරෝපීය සමාජයේ අභ්‍යන්තර ප්‍රශ්න නිසා. ලූතර්ලාට කතෝලික චින්තනය, පාප් වහන්සේ සමග ප්‍රශ්න තිබුණා. ලූතර්ලා අගහරු ලෝකයෙන් මෙහෙයවනු ලැබුවන් නොවෙයි. 


ඒහෙත් මෙරට පඬියන් පඬි පෝතකයන් හා පඬි නැට්ටන්ට ඊනියා අභ්‍යන්තර ප්‍රශ්නයක් ඇති කරල දෙනු ලැබුවෙ  බටහිරයන් විසින්. පඬි නැට්ටන් බෞද්ධ සංස්කෘතියට පහර දෙන්නෙ බටහිරයන්ගෙන් ලැබුණු වරමට. ඒ වරමට උඩින් හතර වරම් දෙයියන් ඉන්න බව ඔවුන්ට මතක් කරන්න ඕන. අර දෙමළ ජනයාට දෙමළ වීම නිසා ම පමණක් ඇති ප්‍රශ්නය කුමක් ද කියන එකට තවමත් පිළිතුරක් නැහැ. නාථ දෙවියන් සම්බන්ධයෙන් ඇති අවුල මොකක් ද කියන ප්‍රශ්නයටත් පඬි නැට්ටන්ට පිළිතුරක් නැහැ. අපේ දැනුමට හිනාවෙන්න එය විකාරයක් බව කියන්නෙ බටහිරයන්ගෙ අවශ්‍යතාවකට වරමකට මිසක් තේරුමක් ඇතිව නො වෙයි. තේරුමක් තියෙනව නම් නියත වශයෙන් ම  මැරෙනව කියන එකත් නියතිවාදයක් කියාවිය. පඬි නැට්ටන්ට උගන්නල තියෙන්නෙ ඊනියා විද්‍යාත්මක දැනුම විතරක් දැනුම හැටියට සලකන්න. තර්කය කියන්නෙ මොන බොරුවක් ද කියල දැනගන්න බෞද්ධ ඇහැකින් ගණිතය ටිකක් හැදෑරුව නම් හොඳයි.  ගුරුත්වාකර්ෂණය ගැන පමණක් නොවෙයි අයින්ස්ටයින්ගෙ සාපේක්‍ෂතාවාදයෙ ඇති අවුලුත් අප පෙන්නා දී තියෙනවා. 


බටහිර ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයේ ප්‍රධාන ඵලය හැටියට පෙන්නනු ලැබුයෙ බටහිර විද්‍යාව. එය අද ලෝකයේ ම ආධිපත්‍යයක් දරණවා. එහෙත් බටහිර වෛද්‍ය විද්‍යාව කියන තාක්‍ෂණයට අද මොකක් ද වෙලා තියෙන්නෙ. ලංකාවෙ අපට පුළුවන්කම තිබුණ යම් පමණකට හරි මේ ආධිපත්‍යයට පහර දෙන්න. එය වැටුණා කියා මා කියන්නෙ නැහැ. එහෙත් මෙරට ගණිතය හදාරපු යම් පිරිසක් තේරුම් ගනිමින් ඉන්නවා බටහිර විද්‍යාවෙ තරම. ගණිතය තරම් පට්ටපල් බොරුවක් තවත් නැහැ. එහෙත් පට්ටපල් බොරු ඉගෙන ගන්නවාට වඩා හොඳයි පට්ටමපල් බොරුව ඉගෙන ගන්න එක. එය තුන්වැනි පංතියේ අනුකාරක පාසලකට යනවට වඩා පළමුවැනි පංතියේ අනුකාරක පාසලකට යන එක වගේ. මට ඒ අවස්ථා දෙක ම හිමි වුණා. 


හතරවැනුව මෙරට සිංහල බෞද්ධ සංස්කෘතිය මංගලලා හා වමාලා (පැරණි කණ්ඩායම ඇතුළු) හිතනවාට වඩා ශක්තිමත්. අප අවුරුදු හාරසිය පනහක සෘජු යටත්විජිතවාදයකටත් ඉන් පසු වරම් (ෆ්‍රැන්චයිස්) යටත්විජිතවාදයකටත් ගොදුරු වුණත් සිංහල බෞද්ධ සංස්කෘතිය තවමත් ශක්තිමත්. මහින්ද රාජපක්‍ෂ හා ගෝඨාභය රාජපක්‍ෂ බලයට පත් කෙරුණේ ඒ සංස්කෘතිය විසින් මිසක් අහවල් අහවල් පුද්ගලයන් විසින් නො වෙයි. ඇතැමුන් එහෙම හිතන් හිටියට ප්‍රශ්නයක් නැහැ. මහාවිහාරයේ මොන ප්‍රශ්න තිබුණත් මේ ශක්තිය අපට ලබා දෙන්නෙ මහාවිහාරයෙන්, මහාවංශයෙන්.


සිංහල බෞද්ධ සංස්කෘතියට ලෝකයේ ප්‍රශ්න විසඳන්න බැරි වේවි. එහෙත් මේ අසරණ වූ ලෝකයට එක ම සරණ ථෙරවාද බෞද්ධ සංස්කෘතියයි. අර ත්‍රිරෝද රියැදුරන්ට ඒක දැනෙන්න පටන් අරන් ටිකක් කල්. අපට අපේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් වෙන්න ඕන. අපි දුම් හට්ටිය අල්ලල පටන් ගනිමු. අප අනෙක් ථෙරවාද රටවල් සමග සංස්කෘතික සම්බන්ධතා ඇති කර ගන්න ඕන. වෙළඳාම එහි ප්‍රධාන කටයුත්ත වෙන්න ඕන නැහැ. අප ඉස්සරත් කරල තියෙන්නෙ දැනුම බෙදා හදා ගන්න එක. මේ සම්බන්ධයෙන් මා කිහිප දෙනකුට ම කියල තිබුණත් වැඩක් වෙන පාටක් නැහැ. අඩු තරමෙන් කොවිඩ් 19 සම්බන්ධයෙන් ආශ්‍රිතයන් හඹා යෑමවත් අපි කියා දෙමු ද?