Main Logo

Wednesday 21 October 2020

ද්විත්ව රටවැසි ප්‍රශ්නයට විකල්පයක්.

 

ද්විත්ව රටවැසි ප්‍රශ්නයට විකල්පයක්. 

 

ඊයේ මගේ හැත්තෑහය වැනි උපන් දිනය. බොහෝ දෙනකු මට සුබ පතා තිබුණා. ඇතැමුන් සුපුරුදු පරිදි මට බැණ වැදී තිබුණා. ඒ අතර ජාතික කඳවුරේ අයත් සිටියා. ඒ අය ගැන කතා කරන්න දෙයක් නැහැ. නිර්මාල් දේවසිරි, වංගීස සුමනසේකර වැනි මතවාදී වශයෙන් විරුද්ධවාදීන් ද සුබ පතා තිබුණා. චතුර අල්විස් ප්‍රධාන ජනමාධ්‍යයක් ඔස්සේ මට සුබ පතා තිබුණා.  ඒ සියල්ලන්ට ම බැන්න අයටත් ඇතුළුව මා පින් දෙනවා. ඒත් ඒ සියල්ලට වඩා මට වටින්නේ මගේ චූටි මුණුබුරා මගෙන් ඇසූ ප්‍රශ්න. සීය කිරිබත් කෑව ද සීනි සම්බෝල  තිබුණ ද ලුනුමිරිස් තිබුණ ද? 

 

සීනෝගේ විරුද්ධාභාසය, යොන් මැරිල්ල ආදිය ගැන පමණක් නොව ආකාශ්ගේ කතාව ද (ආකාශ මහා භූතය), සරත් අබේසිංහ මට කළ ආධාරය ද ඇතුළු බොහෝ දේ ගැන ලියන්න තිබුණත් එදිනෙදා දේශපාලනය නිසා ඒ යටයනවා. ඉඩ ලැබෙන පරිදි ඒ කතා කරමු. අද නැවතත් විස්ස ගැන ලියන්න වෙනවා. අද පාර්ලිමේන්තුවට විස්ස ඉදිරිපත් කෙරෙන දවස. මෙහි බොහෝ දේ සංශෝධනය කිරීමට ආණ්ඩුව එකඟ වී තියෙනවා. එය වැදගත් මෙන් ම ප්‍රශංසනීයයි. විශේෂයෙන් ම මහා සංඝ රත්නයේ අවවාද අනුශාසනාවලට එකඟ වෙමින් එසේ කිරීම හොඳ ලකුණක්.

 

අපට ඕනෑ මේ ආණ්ඩුව රැක ගැනීමටයි. ආණ්ඩුව වැරදි පාරක යන බවක් පෙනුණු විගස ආපසු නිසි මගට ගැනීමට වෑයම් කිරීම ජාතිකවාදීන්ගේ යුතුකමක් මෙන් ම වගකීමක්. අප සියල්ල කරන්නේ ඒ අරමුණෙන් මිස සජිත් හා අනුර කල්ලිය බලයට පත් කිරීමට නොවෙයි. මා දිගින් දිගට ම කියා සිටි කරුණක් වූයේ වත්මන් ජනාධිපතිගේ බලය වැඩි කිරීම මට ප්‍රශ්නයක් නොවන බවයි.

 

එහෙත් අද ඉතිරි වී ඇත්තේ ද්විත්ව රටවැසි බව පිළිබඳ ප්‍රශ්නයයි. දහනවයේ ඇති යහපත් අංග තබා ගත යුතු බව ජාතිකවාදීන්ගේ මතයයි. දහනවයෙන් ඉදිරිපත් කෙරුණු වැදගත් කරුණක් වූයේ මන්ත්‍රීවරයකු වීමට ජනාධිපති වීමට ද්විත්ව රටවැසියන්ට  ඇති ඉඩකඩ නැති කිරීමයි. එය හොඳ කරුණක්. රටේ යහපත සඳහා කෙරුණක්. යහපාලනය බොහෝ දේ වගේ ම එය ද කළේ පෞද්ගලික ව යම් යම් අයට බාධා කිරීමටයි. අරමුණ කුමක් වුවත් සිදු වූයේ යහපතක්. අප හිතන්නේ රටේ යහපත සඳහා ඒ රැකගත යුතු බවයි.

 

එයට හේතු රාශියක් තියෙනවා. කලින් හිටි අය ද්විත්ව රටවැසියන් නොවී රටට අයහපතක් සිදු නොකෙළේ ද ආදී කතා සතපහකට වැඩක් නැති තර්ක. අප බොහෝ දෙනෙක් තර්ක කරන්නේ සාදෘශයෙන් නැත්නම් මා නම් කරන විධියට ප්‍රති සාදෘශයෙන්. ද්විත්ව රටවැසියන්ට වෙනත් රටකටත් පක්‍ෂපාති වීමට සිදුවෙනවා. ඒ ඇලුම් පිළිබඳ ගැටුමක්. පඬි නැට්ටකු අහන්න පුළුවන් ඉස්සර එක ගෙයි කෑවෙ නැද්ද කියල. රජවරුන්ට අන්තඃපුර තිබුණෙ නැද්ද කියල. ඒක සංදර්භයෙනුත් බාහිර සාදෘශ තර්කයක්. එක්සත් රාජ්‍ය (ඇමරිකන්) ව්‍යවස්ථාවෙ ඒ සම්බන්ධ කොටස් විවිධ පුද්ගලයන් උපුටා දක්වා තිබෙනවා. ඒ රටේ හා මෙරට ද්විත්ව රටවැසියන්ට එය ලංකාවට අහිතකර අන්දමට බලපානවා.

 

දහනවයෙ ද්විත්ව රටවැසියන් සම්බන්ධයෙන් ඇති කොටස එලෙස ම තබා ගන්න කියා අප කියා සිටින්නෙ එබැවිනුයි. එය කෙරෙන්නේ නැත්නම් තවත් විකල්පයක් තියෙනවා. අප ද්විත්ව රටවැසියන්ට, අඩු තරමෙන් තනතුරුවලට පත්කෙරෙන ද්විත්ව රටවැසියන්ට ද බලපාන පරිදි අපේ ව්‍යවස්ථාවෙ ඇති හතරවැනි උපලේඛනය සංශෝධනය කරන්න ඕන. එය විස්සත් සමග කරන්න පුළුවන්.

 

වත්මන් හතරවැනි උපලේඛනයෙ ප්‍රතිඥාව සඳහන් වන්නෙ මෙහෙමයි. 

    

......................................................................................................................................... ................................ වන මම .......................................................................... ධුරයෙහි කාර්ය සහ කර්තව්‍ය ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට සහ නීතියට අනුකුලව අවංකව ඉටු කරන බවට ද, ශ‍්‍රී ලංකා ජනරජයට පක්ෂපාත වන බවට ද, මගේ උපරිම ශක්ති ප‍්‍රමාණයෙන් ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කරන බවට ද ගෞරව බහුමානයෙන් යුක්තව ප‍්‍ර කාශ කොට ප‍්‍ර තිඥා දෙමි. / දිවුරුම් දෙමි.

 

මෙය ප්‍රමාණවත් නැහැ. මෙහි ශ්‍රී ලංකා ජනරජයට පක්‍ෂපාතිවීමක් ගැන කියනවා. එහෙත් එයින් කියැවෙන්නේ නැහැ වෙනත් රජයකට පක්‍ෂපාත නොවිය හැකිය කියා. අපට අවශ්‍ය ශ්‍රී ලංකා ජනරජයට ප්‍රධාන වශයෙන් පක්‍ෂපාත වන අය. ඔවුන් ලංකාවට ඇති පක්‍ෂපාතීත්වය ඉක්මවා කිසි විටෙකත් වෙනත් රාජ්‍යයකට පක්‍ෂපාත වෙන්න බැහැ. වෙනත් කිසිම රාජ්‍යයකින් ඔවුන් ලංකාවට විරුද්ධ ව මෙහෙයවීමට ඉඩක් නොතැබිය යුතුයි.

 

ඒ සඳහා හතරවැනි උපලේඛනය පහත සඳහන් පරිදි හෝ වෙනත් ආකාරයකට හෝ සංශෝධනය විය යුතු යැයි යෝජනා කරනවා. එමෙන් ම එය 32 ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිට හා 53, 61, 107, ආදී ව්‍යවස්ථාවන්ට අනුව පමණක් නොව මන්ත්‍රීවරුන්ට ද ඇමතිවරුන්ට ද බලපාන පරිදි සංශෝධනය විය යුතුයි.

 

......................................................................................................................................... ................................ වන මම .......................................................................... ධුරයෙහි කාර්ය සහ කර්තව්‍ය ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට සහ නීතියට අනුකුලව අවංකව ඉටු කරන බවට ද, ශ‍්‍රී ලංකා ජනරජයට හා ශ්‍රී ලංකා ජනරජයට පමණක් ප්‍රධාන ව පක්ෂපාත වන බවට ද, වෙනත් කිසිම රජයකට ඒ ඉක්මවා පක්‍ෂපාත නොවන බවට ද, මගේ උපරිම ශක්ති ප‍්‍රමාණයෙන් ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කරන බවට ද ගෞරව බහුමානයෙන් යුක්තව ප‍්‍ර කාශ කොට ප‍්‍ර තිඥා දෙමි. / දිවුරුම් දෙමි.