Main Logo

Friday 23 October 2020

විස්ස සීල් තිබ්බෙ ඩීල්වලින් නොවෙයි

 විස්ස සීල් තිබ්බෙ ඩීල්වලින් නොවෙයි 


විස්සෙන්  ආණ්ඩුව දිනලා. ඒ ඩීල් හින්ද නිසා නොවෙයි. මෛත්‍රිපාල නැවතත් ආණ්ඩුවට ද්‍රෝහි වෙලා. ඔහු විස්සට ඡන්දය දෙන්න ඇවිත් නැහැ. ඔහු අර කොමිසමේ සාක්කි දුන් බවට සාක්කියක් නැහැ. මා වැරදි වෙන්න පුළුවන්. මෛත්‍රිපාලට මොකද කරන්නෙ. ඔහු සජිත් ළඟට යවමු ද? හකීම්ගෙ පක්‍ෂයෙ මුස්ලිම් මන්ත්‍රීවරුන් හතරදෙනකුත් බද්‍යුද්දීන්ගෙ පක්‍ෂෙ මුස්ලිම් මන්ත්‍රීවරයකුත් සජිත්ගෙ මුස්ලිම් මන්ත්‍රීවරයකුත් කඳුරට ජනතා පෙරමුණේ දෙමළ මන්ත්‍රීවරයකුත් සජිත්ගෙ පක්‍ෂෙ ලේකම්වරියත්  ආණ්ඩුවේ සහායට ඇවිල්ල. ඒ කිසිම ඩීල් එකකින් නොවෙයි. ස්වඡන්දයෙන්  කැමැත්තට විස්සේ ගුණ දැකල ආණ්ඩුවට පක්‍ෂව ඡන්දෙ දීල. මට පොඩි බයක් ඇති වුණා. සජිත්ගෙ පක්‍ෂෙ ලේකම්වරිය ආණ්ඩුවට ඡන්දෙ දුන්නෙ නැති සජිත්ල පක්‍ෂෙන් නෙරපයි ද කියලා? එහෙම කළොත් සජිත් කොහෙ යන්න ද? ආපහු සිරිකොතට ද? 


ඔය මොනව කළත් බද්‍යුද්දීන්වත් හකිම්වත් විස්සට ඡන්දෙ දීල නැහැ. ඒකෙන් කියන්නෙ මේව පක්‍ෂවල තීරණ නෙවෙයි කියන එක. කොහොමත් මේ ඩීල් කියල මා කියන්නෙ නැහැ. එහෙම ඩීල් තියෙන්න පුළුවන් කියල මා ජනාධිපතිවරණෙටත් ඉස්සර නම් කිව්ව. ඒ වගේ ම මා කිව්ව 113 ට වැඩිය ලැබිල 150ට අඩු වුණොත් ඩීල් තියෙන්න පුළුවන් කියල තුනෙන් දෙක ගැනීමට. මා මගේ හිතවතුන්ට කිව්වා විස්ස ගැන කියන කොට ම ඒ ලිපි දේශන පුළුවන් නම් හොයා ගෙන නැවත පළ කරන්න ප්‍රචාරය කරන්න කියා. මගේ හිතවතුන් මට හරි හිතවත්. ඒවා නැවත ප්‍රචාරය කළොත් මට අවැඩක් වෙයි කියල හිතා ගෙන ද කොහෙ ද මා කී දේ සතපහකට මායිම් කෙළේ නැහැ. හිතවතුන් කියන්නෙ එවැනි අයට. මා එදා කියා තියෙන්න වැරැදි කතාවක් කියල ඒ අය හිතන්න ඇති. 


කොහොම නමුත් විපක්‍ෂ ඡන්ද නැතිව ආණ්ඩුවට තිබිල තියෙන්නෙ ඡන්ද 148යි. කතානායකට ඡන්දයක් නැහැ. මෛත්‍රිපාල ආවෙ නැහැ. ආණ්ඩුවෙ ජාතිකවාදීන් ඉන්නවා. මා නවකයන් ගැන කියන්නෙ නැහැ. නිෂ්ශබ්ද ව හිටි අය ගැන කියන්නෙත් නැහැ. අර උගුර ලේ රහ වන තුරු විස්සට, විශේෂයෙන් ම ද්විත්ව රටවැසි බාධකය ඉවත් කිරීමට විරුද්ධ ව  කෑ ගැහුව ජාතිකවාදීන් ද ආණ්ඩුවට පක්‍ෂව ඡන්දය දීල. එ අයගෙ ඡන්ද හතක්වත් තිබුණ. ඒ ඡන්ද හත  විස්සට විරුද්ධ ව දුන්න නම් මුස්ලිම් දෙමළ ඡන්දත් එක්ක වුණත් ආණ්ඩුවට ලැබෙන්නෙ ඡන්ද 149යි. එවිට විස්සට තුනෙන් දෙක නැහැ. වාසුත් විරුද්ධ වුණා නම් ඡන්ද 148යි. විජේදාසත් විරුද්ධ වුණා නම් 147යි. ඒ අය ඔක්කො ම ආණ්ඩුව වෙනුවෙන් ඡන්දය දීල. ඒ අය විරුද්ධ වුණා නම් ආණ්ඩුව පරදින්නෙ නැහැ. පරදින්නෙ විස්ස විතරයි.  ඒ සමහර අය ජාතිකවාදී දේශපාලන නායකයන් කියල කියනවා. කොහොම වුණත් ආණ්ඩුව වෙනුවෙන් ඡන්දය දුන් එක හොඳයි. මෛත්‍රිපාල විතරයි ඡන්දය නොදී තියෙන්නෙ. ඔහුට මොනව හරි කරන්න ඕන. බය වෙන්න දෙයක් නැහැ. මොනව කළත් ශ්‍රී ල නි පක්‍ෂය නිහඬ ව ඉඳීවි. 


මා අහන්නෙ නැහැ 2014 දි තරම මෛත්‍රිපාල  ආණ්ඩුවෙන් යවන්න කටයුතු කළෙ කවුද කියල. 2015 දි මහින්ද පරදවන්න වැඩ කෙළෙ කවුද කියලත් මා අහන්නෙ නැහැ. එවා ඇහුව ම අදත් මගේ හිතවතුනුත් කියන්නෙ මා සිරිජාතිකවාදියා කියල. ඒත් සිරිසේන ජනාධිපති ලෙස දුිවුරුම් දුන් දවසෙම මා ඔහු වැන්නකු යටතෙ සේවය කරන්න බැරි බව දන්වල විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වුණා. මෛත්‍රිපාල යටතෙ විශ්වවිද්‍යාලවල  විවිධ නිලවල හිටි අය මේ ආණ්ඩුව යටතෙත් නිලතල දරනවා. 


මා 2015 මුල ඉඳල ම වගේ මහින්ද අගමැති කරන්න ඕන කියල කිවුවා. ටික කලක් යන විට එයට තවත් කතාවක් එකතු කරල ඒ සඳහා සිරිසේනට ශක්තිය දෙන්න ඕන කිවුවා. අදටත් ජාතිකවාදීන් බොහෝ දෙනෙක් මා එහෙම කිවුව එක ගැන මට කියන්නෙ සිරිජාතිකවාදියා කියල. සමහරු ශක්තිය දෙන්න මයිලො ඕන ද කියල ඇහුවා. කොහොම හරි 2018 ඔක්තෝම්බරයෙ මහින්ද අගමැති කෙරුවා. ඒ කෙළේ සිරිසේන. ඒ ගැම්ම පසුව පවත්තපු ජනාධිපතිවරණයටත් මැතිවරණයටත් යම් පමණකින් හරි බලපෑවෙ. ඒත් මහින්දගෙ ආණ්ඩුව රැක ගන්න කටයුතු කරන්න මුස්ලිම් මන්ත්‍රීවරුන්ගෙ ඡන්ද ලැබුණෙ නැහැ. ඒ වෙලාවෙ මුස්ලිම් මන්ත්‍රීවරුන් ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වුණෙ නැහැ. මෙතන ඩීල් කතාවක් නැහැ. මේ රටේ දේශපාලනයෙ ඩීල් නැහැ. මුස්ලිම් මන්ත්‍රීවරු මහින්දට කැමති නැති වුණ එක විතරයි. 


එදා මහින්දට කැමති නැති වුණු මුස්ලිම් මන්ත්‍රීවරු අද විස්සට පක්‍ෂ වෙලා. ඒ ගෝඨාභයට පක්‍ෂව ද? මට තේරෙන්නෙ නැති නිසයි අහන්නෙ. ලෝක ඒ ඒ අය නිරීක්‍ෂණය කරන්නෙ, සංස්කරණය කරන්නෙ  ඒ ඒ අයට සාපේක්‍ෂව. ඒ නිරීක්‍ෂණය කරන්නෙ නිරීක්‍ෂකයො. නැතුව අවස්ථිති සමුද්දේශ රාමු නො වෙයි. රාමුවත් නිරීක්‍ෂකයකුගෙ. රාමු හදන්නෙත් නිරීක්‍ෂකයො. නිරීක්‍ෂකයා තමයි ඔක්කො ම කරන්නෙ. ලෝකය මවන්නෙත් නිරීක්‍ෂකයා. ක්වොන්ටම් භෞතිකයෙ රාමු ගැන කියන්නෙවත් නැහැ. ඒකෙ නිරීක්‍ෂකයො විතරයි ඉන්නෙ. දුම්රිය රාමුවක් කියන්නෙ ඒකෙ ගමන් කරනනකුගෙ රාමුවක් මිසක් දුම්රියේ රාමුවක් නොවෙයි. දුම්රියට සාපේක්‍ෂ කියන්නෙ එහි ගමන් කරන අයකුට සාපේක්‍ෂ කියන එක. 


මගේ ලෝකයෙ තමයි මට මුස්ලිම් මන්ත්‍රීවරු පමණක් නොවෙයි ජාතිකවාදී කියන මන්ත්‍රීවරුත් පේන්නෙ. මුස්ලිම් මන්ත්‍රීවරු 2018 දි නැති විධියට 2020 දි ඒකීය රාජ්‍යයකට පක්‍ෂ වෙලා ද?  අර කේයස් ඇහුව වගේ මටත් අහන්න වෙන්නෙ මට තේරුම් ගන්න දෙයියනි බැරි මොක ද? මෙතන දෙයියන් කියන්නෙ නාථ දෙවියන් නොවෙයි. සිරිසේන ශ්‍රී ල නි පක්‍ෂයෙන් යෑම, 2015 මහින්ද පැරදීම, 2018 දි මහින්දගෙ අගමැති කම රැක ගැනීමට නොහැකි වීම, 2020 දි විස්ස දිනීම තේරුම් ගන්න බැහැ කියන එක පමණයි මා කියන්නෙ. ඒව ආප්ප කෑම්වලට ලඝු කරන්න බැහැ. 


පඬියකු කියල තිබුණ විස්සට විරුද්ධ අය විකල්පයක් ඉදිරිපත් කෙළෙ නැත. ඔහු විතරය විකල්පයක් ඉදිරිපත් කෙළෙ කියල. ඒක එහෙම වෙන්න ඇති. මගෙත් පොඩි යෝජනාවක් තිබුණ. ඒක විකල්පයක් නම් නෙවෙයි. විකල්ප ඉදිරිපත් කරන්න මා කවුද? මගේ යෝජනාවට ලැබුණු ප්‍රතිචාර කිහිපයක් පහත පළවෙනවා. ඔවුන් කියන්නෙ මට තේරෙන්නෙ නැති බව හා මා දියාරු පුද්ගලයෙක් බව. ඔවුන් විස්ස පරාද කළා ද, අර මගේ යෝජනාව ප්‍රතික්‍ෂෙප කරපු හාමුදුරුවරු විස්ස පරාද කළා ද කියල මා අහන්නෙ නැහැ. ශ්‍රී ල නි පක්‍ෂයෙ මන්ත්‍රීවරුන් උන්වහන්සේලාගෙ අනුශාසනාවට ඇහුම්කන් දුන්නෙ නැද්ද? සිරිසේන එදා එතැනට ආවෙ නැද්ද? 


“ඔය දෙන දිවුරුමකින් කිසිම ප්‍රයෝජනයක් තියේවිද ණඅලඉන ඩඑ ූඉලවඅ මහාචාර්යතුමා ???

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, ඇමතිවරයෙකු හෝ ජනාධිපති වරයෙකු සතු සියලු සෘජු හා වක්‍ර වරප්‍රසාද වරදානත් ලබා, කල හැකි අමන වැඩ සියල්ලත් සිදුකර (වෙනත් රටකට විශේෂ පක්ෂපාතී වීමක් ඇතුව හෝ නැතුව) ධූරය දරන කාලසීමාවේ රටේ ජනතාවගේ උන්නතියට නොව විනාශයට පාර කපා වසර පහකින් පසු පවුල් පිටින් මෙරටින් පලා ගොස් වෙනත් රටක ජීවත්වීමට අවස්ථාව ලබාදීමයි මේ වගන්තියෙන් කරන්නෙ. කිසිම පුද්ගලයෙකුට නොලැබෙන සෘජු හා වක්‍ර වරප්‍රසාද වරදාන සියල්ල ජනතාව විසින් ජනතා නියෝජිතයෙකුට ලබා දී ඔහු/ඇය බලයට පත් කරන්නෙ පවතිනවාට වඩා යහපත් රටක් නිර්මාණය කරදීමට දිවිහිමියෙන් කැපවේවි යැයි අපේක්ෂාවෙනි. ජීවිතයම රටේ ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් කැප කර ජනතාවට යහපත් රටක් ලබා දෙනවා යැයි කියා බලය ලබාගන්නන්ට කුමටද වෙනත් රටක පුරවැසිකමක්.? තමන් බලයේ සිටි කාල සීමාවෙන් පසු මේ රට පත්වී ඇති තත්ත්වයට වගකිවයුත්තේ දහසක් පොරොන්දු දුන් ඒ දේශපාලකයා නම් ඔහු හෝ ඇයත් පොදු මහජනයා සමගම ඔවුන් විසින් නිර්මාණය කල රටේ ජීවත්විය යුතුවා මිසක රට සූරාගෙන කා ජනතාව වලට දමා තමන් ගොඩයෑමට අවස්ථාව ලබා ගැනීමේ අමන ද්විත්ව පුරවැසි කම් කුමකටද ?

මම දකිනා විදිහට කල යුතුම දේ ද්විත්ව පුරවැසියන්ට මේ රටේ කිසිදු දේශපාලන ධූරයක් වෙනුවෙන් (අඩු ගානෙ නාගරික මන්ත්‍රී කමකට වත්) ඉදිරිපත් වීමට තහනම් කිරීම හා මෙරට ඕනෑම දේශපාලන ධූරයක් දැරූවෙකුට ධූර කාලය තුල හෝ ඉන් පසුව කිසිදා වෙනත් රටක පුරවැසිකමක් ලබාගැනීමටද තහනම් කිරීමයි..!!!

එසේ නොමැතිව ඊනියා දිවුරුම් දීම් මත විශ්වාස කිරීම නම් නිශ්ඵල බවයි පේන්නෙ.”



“ඇමෙරිකානු පුරවැසි බව ගනිද්දී දිවුරන්න ඕන ඇමෙරිකාව වෙනුවෙන් පක්ෂපාති වෙන බවත් අවශ්‍ය උනොත් ඇමෙරිකාව වෙනුවෙන් අවිගන්න උනත් සුදානම් බව.එහෙම කලින් දිවුරපු කෙනෙක් ඔය කියන විදියට අපේ ව්‍යවස්ථාවේ තියෙන හතරවැනි උපලේඛනය ශ්‍රීලංකාවට පමණක් ප්‍රධාන වශයෙන් පක්ෂපාති වෙනවා යයි වෙනස් කල පමණින් වලංගු වේද?මහාචාර්යතුමාට වැටහෙන්නේ නැද්ද?නිත්‍යානුකුලව වලංගු වන්නේ පළමුව කරපු ක්‍රියාව බව.”


“මෑත කාලයේ මහාචාර්යතුමාගෙන් දැකපු ඉතා ම දියාරු අදහස... මම මුලින් හිතුවෙ විහිළුවක් කියලා. ස' ගෙන් තර්ජනයක්වත් ආව ද?”


“ඔබතුමන්ලාගේ විරෝධයත් දියාරු වෙලා . බොරු ඕන නැ 20 ඔහොමම සම්මත වුනාදෙන්. මොනවා උනත් ආණ්ඩුව ආරක්ෂා වෙන්නත් ඕන.”


මේ ස’ කියන්නෙ කාටද කියල නම් මා දන්නෙ නැහැ. මට කිසිවකු තර්ජනය කරල නම් නැහැ. මේ කතාවලට විරුද්ධව තර්ක කරන්න යන්නෙ නැහැ. මට වැටහෙන්නෙ නැහැ කියන අයත් එක්ක මොන තර්ක ද? ඒත් මා මහාචාර්යවරයකු නොවන බව නම් කියන්න ඕන. 


මේ ආණ්ඩුව හැදුවෙ අපි කියල මා කියන්නෙ නැහැ. අපට ඒ වගේ ශක්තියක් නැහැ. ඒත් අපි ආණ්ඩුවට විරුද්ධව සජිත්ට හා අනුරට එකතු වෙන්නෙ නැහැ. 


කොහොමටත් ජාතිකත්වය පැරදිල නැහැ. ලෝකය පුරා ම ජාත්‍යන්තරවාදය පරදින විට ජාතිකත්වය ටිකෙන් ටික හරි ඉදිරියට යමින් ඉන්නෙ. විස්සෙන් වුණෙත් රටේ ජාතිකත්වය තවත් තහවුරු වීමයි. ජාතිකත්වය තියෙන්නෙ මාධ්‍ය සංදර්ශනවල නම් නොවන බව විස්සෙනුත් පැහැදිලි වෙනවා.